top of page

ආර්ය මහා සංඝරත්නයට මාර්ග ඵල ලැබූ ගිහියාත් අයත් වේද?..

බුද්ධ ශාසනයේ පැවිදි පිළිවෙත් පුරන මහා සංඝරත්නයේ ගුණ වර්ණනා කර ඇති 'සුපටිපන්නො භගවතො සාවක සංඝෝ‍' යන ගාථා පාඨය බුද්ධ දේශනාවකි.


එහි සංඝ යන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සම්පූර්ණ ආඥා චක්‍රය පිළිගෙන පැවිදි බවට පත් වූ භික්ෂුන් වහන්සේලා ම හඳුන්වති.


නමුත් සමාජය මේ පදවල අර්ථ විග්‍රහ කර ගනු නො හැකිව අර්ථ පටලවා විවිධ නිරුක්ති සපයනු දක්නට ලැබේ.


එයින් දැන් ඇති ප්‍රසිද්ධ ම මතයක් වන්නේ 'අට්ඨ පුරිස පුග්ගලා' යන තැන සෝවාන් ආදී සතර මග-ඵලයන් වලට පත් වූ ගිහි පැවිදි දෙපාර්ශවය ම අයත් වන බවයි.


සත්‍යයකි. අට්ඨ පුරිස පුග්ගලා යන තැනට අවශ්‍ය නම් මේ දෙපාර්ශවය ම තැබිය හැකි ය.


නමුත් යම් තැන එය සංඝ කියන වචනයෙන් විශේෂිත කොට ඇත්නම්, එතැනදි මාර්ග ඵල වලට හෝ පත් ශ්‍රාවක හෙවත් භික්ෂු සංඝයා ම ඇතුලත් වන බව දත යුතු ය. එයට ගිහි පින්වතුන් ඇතුළත් කළ නොහැක්කේ සංඝ කියන වචනයෙන් එය විශේෂිත කොට දක්වා ඇති බැවිනි.


මේ ගාථාව ගෙන බලමු.


1. සුපටිපටිපන්නො භගවතො #සාවකසංඝො,

2. උජුපටිපන්නො භගවතො #සාවකසංඝො,

3. ඤායපටිපන්නො භගවතො #සාවකසංඝො,

4. සාමීචිපටිපන්නො භගවතො #සාවකසංඝො,

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො #සාවකසංඝො ආහුණෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලි කරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.


මේ ගාථාව දෙස නුවණින් බැලූ කළ මේ සෑම තැනකම භාග්‍යවතුන් වහන්සේ සංඝ කියන නාමය ඉස්මතු කොට දක්වා ඇති බව ඔබට දැකිය හැකි ය.


සංඝ ශීර්ෂයට ගිහියන් නො වැටෙන්නේ ඇයි දැයි උදාහරණ කීපයකින් දක්වන්නෙමු.


01. මාර්ග ඵල ලාභී ගිහියන් අතර සංඝ භේදයක් සිදු විය හැකි ද ? ඉදින් ඔවුන් මාර්ග ඵල ලාභීන් වී සංඝ ශීර්ෂයට ඇතුළත් වන්නේ නම්, ඔවුන් ගේ බිඳී යෑමක දී සංඝභේදය සිදුවිය හැකි ය.


නමුත් එය සිදුවන්නේ භික්ෂු සංඝයා අතර පමනි. මන්ද යත් එම උපෝසථ කර්මය සිදු කළ හැක්කේ ද භාග්‍යවතුන් වහන්සේ ගේ සම්පූර්ණ ආඥා චක්‍රය පිළිගත් භික්ෂු සංඝයා අතර වීම නිසා ය. එනිසා සංඝ ශිර්ෂයට ගිහියන් අයත් වන්නේ නැත.


මේ බව අට්ඨාන පාලියේ දී ද 'උපාලිය, උවසුවෙක්, උවැසියෙක් සංඝයා නො බිඳියි, සමාන සංවාසක, ප්‍රකෘති එක්සීමාවක සිටින භික්ෂුවම සංඝයා බිඳියි' යන්නෙන් භාග්‍යවතුන් වහන්සේ ම කරුණු දක්වා ඇත.


02. සංඝයා මැද කරන විනය කර්මයකට ගිහි මාර්ගඵල ලාභීන් ඇතුළත් කර ගත හැකි ද ? නො හැක. ඔවුන් මාර්ගඵල ලාභීන් වූ පමණකින් සංඝයා නැමැති ශීර්ෂයට නො එයි. එබැවිනි.


03. ගිහියන්ට සංඝයාගේ අගුණ කීමක දී පටිසාරණීය වැනි විනය කර්ම කළ හැකි ය. ඉතින්, මෙතැන දී ගිහියා සහ සංඝයා වෙන් කොට හඳුනා ගත නො හැකි ද ?


04. සංඝසන්තක දෙයක් ගිහියන්ට දිය හැකි ද ? නො හැක. මහා පරිනිර්වාණ අර්ථ කථාවේ සාධාරණ භෝගී පුද්ගලයා නමින් මේ ගැන විස්තර දක්වා ඇත්තේ ය.


05. මීට අමතරම සංගීති සූත්‍ර වර්ණනාවේ 'දක්ඛිණෙ‍ය්‍යග්ගි' යන වචනය හඳුන්වන තැන දක්ඛිණ යනු සිවුපසය බවත්, භික්ෂු සංඝයාම දක්ඛිණෙ‍ය්‍ය වන බවත් පැහැදිලිව දක්වා තිබේ. (භික්ඛුසංඝො දක්ඛිණෙ‍ය්‍යා)


06. තව ද සත්තම ගාථා වර්ණනාවේ 'චෙතියම්හි ච සංඝෙ වා පුග්ගලේ අතිථීසු වා' යනුවෙන් සංඝයා ද, ගිහියා ද පැහැදිලි වචන දෙකකින් සංඝ සහ පුද්ගල වශයෙන් පෙන්වා බෙදා දක්වා ඇත.


07. තව ද සන්තිකේනිදාන කථාවේ දී 'සාවකසංඝතො' යනුවෙන් ශ්‍රාවක වූ භික්ෂු සංඝයාව ම හඳුන්වා ඇත.


08. තව ද සාංඝික දාන සතක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති අතර, ඒ හතම භික්ෂු සංඝයා හෝ භික්ෂුණි සංඝයා කෙරෙහි දිය යුතු දාන ම වේ. (සත්ත ඛෝ පනිමානන්ද සංඝගතා දක්ඛිණා)


මේ අනුව සංඝයා යනු භික්ෂු සංඝයාම බව මෙය කියවන ඕනෑ ම අයෙක් දැනගනු ඇත.


යමෙක්ට රතන සූත්‍රයේ එන්නේ ද භික්ෂු සංඝයාගේ දක්ඛිණෙ‍ය්‍ය භාවය ගැන ද යනුවෙන් විමතියක් වේ නම්, එයත් ගාථාවේ අවසානයේ ඉදම්පි 'සං​ඝෙ රතනං පනීතං' යනුවෙන් සංඝ කියන වචනයෙන් විශේෂිත කොට ඇති නිසා එය ද භික්ෂු හෝ භික්ෂුණි සංඝයා ගැන ම කීවක් බව දත යුතු ය.


ගිහි ආර්යයන් වහන්සේලා ට ද ආහුණෙ‍ය්‍ය වැනි ගුණ තරමකින් පිහිටන නමුත්, ලෝකයට උතුම් පුණ්‍ය ක්ෂේත්‍රයක් ලෙස සංඝ කියන ගුණය පිහිටන්නේ භික්ෂු සංඝයාට ම බව දත යුතු ය.


ආහුනෙය්‍ය පුද්ගල සූත්‍රයේ දී ආහුණෙය්‍ය වැනි ගුණ සඳහන් කර තිබ්බ ද‍, සංඝ යන වචනය එහි සඳහන් කර නැත්තේ එබැවිනි.

එනිසා මේ සුපටිපන්නෝ යන ගාථාව ආර්ය මහා සංඝරත්නය විෂයෙහි ම පවතින ගාථාවක් බව දත යුතු ව ඇත.


මේ ගැන රේරුකානේ චන්දවිමල නායක හිමිපාණන් වහන්සේ විසින් තබා ඇති සටහනක් පහත දක්වමි.


අෂ්ටපුරුෂ පුද්ගලයන් අතර උපසම්පන්නයෝ ද, අනුසම්පන්නයෝ ද වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ හා එයට සමීප කාලයේ ද මඟපල ලබා ආර්‍ය්‍යශ්‍රාවකත්වයට පැමිණ සිටි ගිහියෝ බොහෝ වූහ.


මිනිස්ලොව කෙසේ වුව ද දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල මඟපල ලබා ඇති බොහෝ දේව බ්‍රහ්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ දැනුදු අත්තාහ. ඔවුහු ආර්‍ය්‍යශ්‍රාවකයින් වුව ද තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් පිළිගත්තාහු නො වෙති.


එබැවින් මඟපල ලබා ඇත්තාවූ ද ඔවුහු සංඝරත්නයට අයත් නො වෙති.


තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් පිළිගන්නෝ උපසම්පන්න භික්ෂූහුය.


එබැවින් ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද, උපසම්පන්නයෝ ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත් වෙති.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 05.05.2024


Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page