top of page

අලින්ට හොරුන්ට පාඩම් උගන්වන්නට ගොස් රිලවුන්ට උත්සව සැපයීම..

පහුගිය දිනවල අලින්ගෙන් සහ සොරුන්ගෙන් මට්ටු වී ඔවුන් ව මට්ටු කරන්නට සිතා පළමු අදියර ලෙස සෙනසුන් භූමියේ ගිහි පින්වතුන් භාවනා කරන කුටි වලට CCTV කැමරා පද්ධතියක් සවි කළෙමු.


දැන් සොරුන්ව නම් හඳුනා ගැනීමට හැකි වනු ඇතැ යි සිතමි. අලින්ට නම් ඕවා ගාණක් නැත. දැක්කත් අඳුරගන්නට අමාරු තරම් උන් එක ව⁣ගේ ය. සාක්ෂි තිබ්බත් පැමිණිලි දමන්නට පුළුවන් පොලීසියක් ද ලංකාවේ නැත.


අලි කෙසේ වෙතත් සෙනසුනේ සිටින හැම රිලවෙක් ම දැන් සතුටින් ය. උන් එන සතියේ උත්සවයක් ගන්නට සැ⁣රසෙන බවත් අපි දුටුවෙමු. උනුත් සතුටින් ඉන්න ඕනෑ ය. ගලවාගෙන නො ගොස් ඕන දෙයක් කළාට අපිට කමකුත් නැත.


දේවල් වල හැටි ඕක ය. ඇතිවෙන සියල්ල නැති වෙයි. එය CCTV වලටත් පොදු ය.


දැන් හරි ලස්සනට කුටි අපිට පෙනෙන්නේ ය. ඔය පහත ඇත්තේ ඒ දර්ශන ය.


ඕවා දවල්ට විතරක් එහෙම නොව, රෑටත් එක වගේ එළිය දීගෙන වැඩ ය. ඒකත් යටින් බලා ගත හැකි ය.


පින් දී නම් හමාර කරන්නට ⁣නො හැකි ය. පළමු ව අලින්ටත් හොරුන්ටත් පින් අනුමෝදන් කළ යුතු ය. මතු ආත්මයක වත් දුප්පත් වී, නූගත් වී, තිරිසන් වී නූපදීවා යි අපි ප්‍රාර්ථනා කරමු.


ඔබටත් එසේ ම ය. අපව තමන් ගේ පුතුන් සේ සලකා රැක බලා ගන්නා හැමට අපමණ පින් ය. සෙනසුන බොහෝ කාලයක් නිරුපද්‍රිත ව පවතිනු ඇත. මේ කුසල් නිවන පිණිස ම වේවා යි මෙත් සිතින් පතන්නෙමු.


පුණ්‍යානුමෝදනා පත්‍ර එවීමට නම් කාලයක් නැත. ඊට වඩා හොරුන්ට සහ අලින්ට ම මේක පවරා පසෙකට වීම මට අනුව නම් පහසු ය. එනිසා දැක බලා ම සතුටු සිතින් පින් අනුමෝදන් විය යුතු ය.


සොරුන් හා අලින් කඩපුවා හදන්නටත් සිදු වන බැවින් තවත් අලුත්වැඩියා කටයුතු ටිකක් ඉතිරි ව ඇත.


පහතින් සිදු වූ විජ්ජුම්බරය දැක බලා ගැනීමට හැකි ය.



ඔය අස්සේ තව එකක් කියන්නට මතක් විය. ඔබටත් සුජාත පුත්‍රයන් ගේ නිත්‍ය උපස්ථායකයෙක් බවට දැන් පත්විය හැකි ය. අනිත් ඔක්කොම අනිත්‍යයි නම්, උපස්ථායකයන් නිත්‍ය වන්නේ කෙසේ දැ යි ඔබට අනිවාර්ය ප්‍රශ්නයක් මතු විය හැකි ය.


අනිත් හැමදේම අනිත්‍යයි නම් උපස්ථායකයන් පමණක් නිත්‍ය වන්⁣නේ නැත. එනිසා උපස්ථායකයන් ගේ හිස්තැන් පිරවීමේ ප්‍රහේලිකාවට උත්තරයක් නම් හාමුදුරුවරුන්ට කවදාවත් ලබා ගත නො හැකි ය.


අලුතින් හාමුදුරුවරුන් මහණ කිරීමට ද අප අදි මදි කරන්⁣නේ, කැලයක් මැද උන්වහන්සේලාව ගතින් අපහසුතාවයට පත් කරන්නට අකමැති නිසා ම ය.


මහණකමේ සිතින් අපහසුවක් නම් කොහි ද ?


වැඩි විස්තර මෙතැනින් දැනගත හැකි ය - MEMBERSHIP


දැනට අප ව නිති රැක බලා ගන්නා සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලයටත්, ඔබටත් අපමණ පින් ය. නිවන් පිණිස ම පවතිනු ඇත.


ශාසන ලැදි,

කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ.



3,084 views
bottom of page