top of page

7.2. දේවදත්තගෙනුත් දකින්න පුළුවන් බුදු ගුණ.

දේවදත්තයන් ගැන බෞද්ධ සමාජයට ඇත්තේ සෘණාත්මක ආකල්පයකි. සැබෑවක් ය. ඔහු විසින් නොයෙක් වර භාග්‍යයවතුන් වහන්සේට උපක්‍රම කොට කරදර කරන්නට තැත් කළේ ය. වරෙක භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණය නො දැන දිවි තොර කිරීමට දුනුවායන් යෙදවී ය. වරෙකෙ තමා ම ගිජුකුළු පව්වට නැග යන්ත්‍රයකින් ගල් පෙරළුවේ ය. වරෙක නාලාගිරි නම් වූ හස්ති රාජයා ව මත් කර භාග්‍යවතුන් වහන්සේ ගේ දිවි තොර කිරීමට යැව්වේ ය. ඒ ද සාර්ථක නො වී පංච වරයන් ඉල්ලා සැරියුත් මුගලන් දෙනම වහන්සේලා ගේ පිරිස් ද ගෙන ගොස් සංඝ භේදය ද කරවී ය. නමුත් අවසන් කාලය වන විට බුද්ධ ජීවිතය ගැන කල්පනා කර බලන දේවදත්තයන්ට බුදුන්වහන්සේ සතු අපරිමිත ගුණය ප්‍රකට වන්නට විය. නව මසක් උණු ලේ මුඛයෙන් දමමින් සිට “දැන් මාගේ ශාස්තෘන් වහන්සේ කොහි වසන සේක් දැ”යි විමසා “දෙව්රමෙහි” කී කල “ඇඳ පිටින් මා ගෙන ගොස් ශාස්තෘන් වහන්සේ පෙන්වවු” යැයි කීවේ ය. නමුත් ඔහුට කර්මයෙන් අවකාශයක් නො ලැබුණි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියා නම් භාග්‍යවතුන් වහන්සේ කුමක් කරනු ඇත් දැ යි සිතා බලනු මැනවි. එය වචන වලට පෙරලීමට මා අපොහොසත් ය. බුදු කෙනෙකු ගේ සන්තානගත කරුණාව පමණ කළ හැකි නොවේ. වරෙක භික්‍ෂුන් වහන්සේලා අමතා “මහණෙනි මට දේවදත්තයන් කෙරෙහි ඇත්තේ ද රාහුලයන් කෙරෙහි ඇති කරුණාව ම ය” යන්න භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එයින් අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ කරුණාවේ තරම සිතා ගනු මැනවි. කර්මයෙන් අවකාශ නො ලත් දේවදත්තයන් දෙව්රම් වෙහෙරෙහි පොකුණ සමීපයේ දී ම දෙ බෑ වූ පොළවට පිවිස නිරයෙහි පිහිටියේ ය.


මෙයින් ද භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව තිබූ අවබෝධය, භක්තිය වටහා ගත හැකි ම ය.


(දීඝ නිකාය - සාමඤ්ඤඵල සූත්‍රය)

Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page