ඇතැමෙක් අටුවාවේ ඇති පාඨ ගෙන මෙය අටුවා පාඨයක් පමණක් වන බවත්, පෙලෙහි නැති බවත් කියමින් අටුවාව ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබේ.
ඒ අප ගේ නුවණ මදි බවක් මිස ශාසනයට සම්බන්ධ වාදයක් නො වේ. එයට දන්නවුන් විසින් අනුකම්පා කළ යුතු ය.
පෙලෙහි ඇත්තේ නය ක‍්‍රම පමණි. ඒ නය ක‍්‍රම නිවැරදි ව වටහා ගත හැක්කේ බුද්ධ ආධ්යා ශය මැනවින් අවබෝධ කළ චතුපටිසම්භිදා ප‍්‍රාප්ත මහා තෙරවරුන් ගේ වාචනා මාර්ගය වන අටුවාව පරිහරණය කිරීමෙන් පමණි.
එය ද වටහා ගත නො හැකි මන්ද ප‍්‍රාඥයන් විසින් ටීකා ද පරිහරණය කිරීමෙන් මාතිකා පාළිය අවබෝධ කර ගත යුතු වේ.
කාලයේ පෙරළියත් සමග එහි නොයෙක් නොයෙක් අදහස් හා මත විශේෂයෙන් ම පරිවර්තන වල දී ගැබ් වී තිබිය හැකි ය. (මේ යුගයේ දක්නට ලැබෙන සිංහලට පරිවර්තනය වී ඇති පාළි අටුවා, එම සිංහලයට පරිවර්තනය කිරීමේ දී සිදු වී ඇති දෝෂ හා එයින් විපරිත වූ පාළි අටුවාවේ ඇති අර්ථ දහසක් වූව ද මීට නිදසුන් ලෙස පෙන්වා දිය හැක.)
