Sujatha Puthra Meditation Center
Your Membership ID
ඇතැමෙක් අටුවාවේ ඇති පාඨ ගෙන මෙය අටුවා පාඨයක් පමණක් වන බවත්, පෙලෙහි නැති බවත් කියමින් අටුවාව ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබේ.
ඒ අප ගේ නුවණ මදි බවක් මිස ශාසනයට සම්බන්ධ වාදයක් නො වේ. එයට දන්නවුන් විසින් අනුකම්පා කළ යුතු ය.
පෙලෙහි ඇත්තේ නය ක‍්‍රම පමණි. ඒ නය ක‍්‍රම නිවැරදි ව වටහා ගත හැක්කේ බුද්ධ ආධ්‍යාශය මැනවින් අවබෝධ කළ චතුපටිසම්භිදා ප‍්‍රාප්ත මහා තෙරවරුන් ගේ වාචනා මාර්ගය වන අටුවාව පරිහරණය කිරීමෙන් පමණි.
එය ද වටහා ගත නො හැකි මන්ද ප‍්‍රාඥයන් විසින් ටීකා ද පරිහරණය කිරීමෙන් මාතිකා පාළිය අවබෝධ කර ගත යුතු වේ.
කාලයේ පෙරළියත් සමග එහි නොයෙක් නොයෙක් අදහස් හා මත විශේෂයෙන් ම පරිවර්තන වල දී ගැබ් වී තිබිය හැකි ය. (මේ යුගයේ දක්නට ලැබෙන සිංහලට පරිවර්තනය වී ඇති පාළි අටුවා, එම සිංහලයට පරිවර්තනය කිරීමේ දී සිදු වී ඇති දෝෂ හා එයින් විපරිත වූ පාළි අටුවාවේ ඇති අර්ථ දහසක් වූව ද මීට නිදසුන් ලෙස පෙන්වා දිය හැක.)
අටුවාවක් කියවීමට පොතක් වත් නො පෙරළා එය ප්‍රතික්ෂේප කරමින් එය විවේචනය කරමින් තමන් ගේ පාණ්ඩිත්‍යය හුවා දැක්වීමට උත්සුක වනවාට වඩා ඒ වටිනා ග්‍රන්ථ ශ්‍රද්ධාවෙන් අධ්‍යයනය කර බුද්ධ ආධ්‍යාශය අවබෝධ කර ගැනීමට උත්සහ කළ යුතු ය.
එසේ නො වුවහොත් තමන් ගේ මත ශාසනය හා පටලවා ඔවුහු ශාසනය පසු බස්වන්නෝ බවට පත් වන්නන් වන බැවිනි.
විශේෂයෙන් ම වර්තමානයේ පැන නැගී ඇති චිත්ත වීථි අටුවාවේ ඇත්තක් ය, පෙලෙහි නැත්තක් ය යන මතය යම් තරමකට විමසිය යුතු භයානක වාදයක් ය.. මන්ද යත් එය සමාජය විසින් ගරු කරන පින්වත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද දරණ මතයක් බවට පත්ව තිබීම කරණ කොට ගෙන ය.
නමුත් කිව යුත්තක් ඇත.
භාග්‍යවතුන් වහන්සේ ගේ නය නැති ව අටුවාචාරින් වහන්සේට තබා සාරිපුත්‍රයාණන් වහන්සේටවත් ධර්ම නයක් අවබෝධ නොවන්නේ ය.
අභිධර්ම පිටකය මැනවින් අවබෝධ කර ගෙන නැති ව තමන්ට ගෝචර පමණින් මෙතරම් ලෙහෙසියෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීම ගැන ඇත්තේ ධර්ම සංවේගයකි.
අපට එවැනි සියුම් ධර්මතා වැටහෙන්නේ ම පරිපූර්ණ ව නො වන බව අප විසින් නිහතමානී ව පිළිගත යුතු ය.. එය රහත් බවට බාධාවක් නොව, මේ සා ගැඹුරු විෂයක ඇති ගැඹුරු කම ම වන බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.
මේවා තර්ක කර පෙන්වන්නට ද නො හැකි ය. ඉන්ද්‍රීය ගෝචර නො වන බැවිනි.
ප්‍රඥාවෙන් ම දත යුතු ධර්මයෝ ම නොවේ ද පින්වත්නි ?
අභිධර්ම පිටකයේ ඇති චිත්ත ප්‍රභේද සහ එහි ක්‍රියාකාරීත්වය රූප වල ක්‍රියාකාරීත්වය ද සමග සසඳා ම අටුවාව මේ ගැන විවරණය කළ සේක.. මෙලෙස ම ඇතැමෙක් විසින් අනාගතයේ කථාවස්තුව ද ප්‍රතික්ෂේප කළ හැකි ය.
ශාසනය අන්තරස්ධාන වන කාලයේ පළමු ව අභිධර්ම පිටකයට එය බලපාන බව කියා තිබේ.. එනිසා ම එය අප විසින් මනා ව ප්‍රවේසම් කර ගත යුතු ය.
ශාසනික නය ඉක්මවා තැබූ කිසිදු අටුවා කථාවක් නැත්තේ ය.. චිත්ත වීථී ද එම නයෙන් ම ආවකි.
ඉදින් යමෙක් අටුවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට පැවිද්ද ද නැත. උපසම්පදාව ද නැත.. මන්ද යත්,
වර්ථමානයේ පැවිදි කරනාකාරය ඇත්තේ ද ටීකාවක ය.. අටුවාවකවත් නොව ටීකාවක ය..
උපසම්පදාවට ගන්නා සීමා බන්ධනය පිළිබඳ ව ඇත්තේ ද අටුවා ටීකා වල ය.. ඒවා අටුවා නයෙන් ම බන්ධනය කර ඇත.
එසේ නම් එම සීමා වල උපසපන් වුවෝ උපසම්පදාව නැත්තෝ ම ය.. ඔවුහු පෙලෙන් සීමා බන්ධන ක්‍රමයක් සොයා නැවත උපසම්පදා විය යුතු ය.
මේවාට ගැරහීමට ප්‍රථම අප ප්‍රවේසම් විය යුතු ය.. ශාසනය රැක්මට ඇත්තේ කිහිප නමක් පමණි.
උන් වහන්සේලා විසින් ප්‍රවේසමෙන් මේවා බැහැර කළ යුතු ය. අලුතින් එක් කරන විට ප්‍රවේසමෙන් එක් කළ යුතු ය.. එක ඇලපිල්ලක් වෙනස් වීමෙන් නිවන ම වැසිය හැකි ය.. තර්ක කර පැරදවිය හැකි බවට පත්වන්නේ ය. ව්‍යඤ්ජන පවා ප්‍රවේසමෙන් තැබූ ශාසනය අප විසින් සුරක්ෂා කර ගත යුතු ය.
ශාසන ලැදියාවෙන් ම ලීවෙමි.. මොලොක් භාෂාවෙන් ම ලීවෙමි.. මෙත් සිතින් ම ලීවෙමි.. කාලයේ ම ලීවෙමි.. යම් හෙයකින් සිත් රිදුනේ නම් එය අප භාෂාව හසුරවීමේ දුර්වලතාවයකි.
සිත තුළ එවැනි දුෂ්‍ය හැඟීමක් නම් නැත.
තෙරුවන් සරණයි.. සියල්ලන්ට ම යහපතක් වේවා, භව දුක් නිවේවායි පතමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero