Sujatha Puthra Meditation Center
Your Membership ID
එකබීජ, කොලං කොල , සත්තක්ඛත්තුපරම ය' යි සෝවාන් පුද්ගලයන්ගේ ප්‍රභේද තුනෙකි. මෙයින් සත්තක්ඛත්තුපරම සෝවාන් පුද්ගලයා අට වන භවයක උපත්තිය නො ගන්නා බව "න තෙ භවං අට්ඨමං ආදියන්ති" යන්නෙන් සුත්ත නිපාත රතන සූත්‍රයෙහි ද "තීසු සොතාපන්නෙසු සබ්බමුදු සත්තක්ඛත්තුපරමො. සො අට්ඨමං භවං න නිබ්බත්තති" යනුවෙන් තුන්වැදෑරුම් සෝවාන් පුද්ගලයන් අතුරෙන් සත්තක්ඛත්තුපරම පුද්ගලයා සර්ව මෘදු ය. ඔහු අටවැනි භවයක නැවත නූපදී යනුවෙන් උදාන ඉතිවුත්තකාදී අර්ථකථාවන්හි කියන ලද්දේ ම ය.
නමුත් මෙහි ද "ඉමෙ තයොපි සොතාපන්නා කාම භවවසෙන වුත්තා" යනුවෙන් රූපාරූප භවයන්හි වනාහි බොහෝ ප්රතිසන්ධීහු ගනිත් යනුවෙන් ප්‍රතිසම්භිදා අර්ථකථාචාර්යයපාදයෝ විශේෂ අතිරේකයක් දක්වා තිබේ.
සත්තක්ඛත්තුපරම පුද්ගලයාට පමණක් නොව සෙස්සන්ටත් කාමභවයෙහි නියමිත උත්පත්ති සඞඛ්යාවට වඩා වැඩි ගණනක් රූපාරූප භවයන්හි දී ලැබිය හැකි බව මේ මතයෙන් පැහැදිලි ය.
මෙහි " භව " යන්නෙන් අදහස් කර තිබෙන්නේ කාම භවය මිස රූපාරූප - භව නොවේ ය' යි ද ඒ කාමභවයෙහි ද පිළිවෙළින් අත්බැව් සතකට වඩා නූපදින බව මිස අතරතුර ලබන උප්පත්ති ගැන සඳහනෙක් නොවේ ය' යි ද වැඩිදුරටත් කියන ලදි.
භව අටකට වැඩිය උප්පත්තිය ලැබූ විශාඛාදී සෝවාන් ඵලයට පත් වූවන් පිළිබඳ කථා ප්රවෘත්ති පැහැදිලි ව පෙනෙන හෙයින් මෙය මෙසේ ගැනීම ම සාධාරණ යැයි පෙනේ.
එහෙත් විශාඛාදීන් තුදුස් වර බැගින් භවයෙහි උප්පත්තිය ලබතත් භවච්ඡන්දය අධික හෙයින් ඒ විශේෂයකැ ' යි කියමින් සමහර පඬිවරු මේ මතයට එකඟ නො වෙන බවක් ද දක්නට ඇත.
"සත්තමභවෙ ඒව පන විප්පස්සනං ආරභිත්වා අරහත්තං පාපුණංති" ඒ සත්තක්ඛත්තුපරම සෝවාන් පුද්ගලයෝ සත්වන භවයෙහි දී ම විදසුන් වඩා රහත් වෙති' යි දක්වමින් සමහර අර්ථකථාචාර්ය්යයවරයෝ ද විමාන වත්ථු අටුවාවේ දී මේ මතයට විරුද්ධ වී ඇති බවත් දක්නට ඇත.
කරුණු මෙසේ හෙයින් මෙය ඉතා පරෙස්සමෙන් විමසා බලා තේරුම් ගන්නා සේක්වා.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero