Sujatha Puthra Meditation Center
Your Membership ID
සසුන් විලොමයකදී සමාපත්ති සුවයෙන් වැඩ සිටින භික්ෂුව ද සංඝාඥාවෙන් නැගිටිය යුතු ය.
පෙර සසුන් ඉතිහාසය දෙස බලන විට වන වැදී පූර්ණ ධූතාංධාරීව වැඩ සිටි මහා කාශ්‍යප වැනි මහා උතුමන්, කාකණඩ පුත්‍ර යස වැනි මහා උතුමන්, මොග්ගලී පුත්ත තිස්ස තෙරවරුන් වැනි මහා උතුමන් ඇවැසි තැන සෘජුව ස්වකීය කාර්‍යය මනා ව කළේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ස්වකීය පුතුන් කෙරෙහි තැබූ මහත් වූ විශ්වාසයට උපස්ථාන කිරීම් වශයෙන් ය.
එහි ද යස මහ රහතන් වහන්සේ වජ්ජිපුත්තකයන්ගේ විනය විරෝධී දස අකැපැ වස්තූන් දැක ඒවාට විරුද්ධව කරුණු පැහැදිලි කළ සේක. ඒවා නො පිළිගත් අලජ්ජීන් නිසා "අනේ ඔවුන්ට හොඳ නම් අපිට මොකැ"යි කම්මැළිව සිතමින් වන වැදුණේ නැත.
වහාම කොසඹෑ නුවරට ගොස් අවන්ති-දක්ඛිණපථ වාසී භික්ෂූන් වහන්සේලා ට කරුණු දන්වා ඒ මොහොත වන විට අහෝඞ්ග පර්වතයෙහි වැඩ සිටි "සාණවාසී සම්භූත" මහ රහත් මහ උතුමන් වහන්සේට කරුණු දක්වා අවිනය වාදීන් වහාම මැඩිය යුතු යැයි කීය.. ඒ සියලු භික්ෂූහු මහ රහත් භාවයට පත් වූයේ තෙළෙස් ධූතාංගයෙන්ම යුක්ත වූවො ම වූහ.
මේ ආකාරයෙන් සසුන් ඉතිහාසය දක්වන්නට වුවහොත් කෙළවරක් නැතිව දක්වන්නට වෙත්..
අවශ්‍ය පණිවිඩය පමණක් තබමි..
දැන් දැන් මේ සමාජයේ "තොපේ බුදුන් දැන් මැරිලා ය, ඇත්තේ අපේ බුදුන් ය, තොපේ ත්‍රිපිටකය බූරුවන්ට ය, බුදුන්ට ඉර්ධි තිබ්බේ නැත ය, නිවන් දකින්නට ඇඟ බැලන්ස් කරගත යුතු ය, ශිව දෙවියන් බුදු වී සිටියේ ය, ධ්‍යාන ලබන විට බඩ එළිය යනවා ය, බුදුන් ඉපදුණේ ලංකාවේ ය ආදී වශයෙන් කෙළවරක් නැති දෑ අසන්නට ලැබෙති..
අවිනය වාදීන් පසෙක තැබේවා.. විනය නිවනට අන්තරාය නොවන බව මෙකළ සමහරක් විසින් පවසති..
නමුත් දැන් මෙහි මාර්ගය ගැන ද තර්කයක් ඇත.. එය සසුන පිරිහෙවන්නක් නොවෙ ද ? ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශිතයි නොවෙ ද ?
තණකොළ ගලවමින් නිවන් දැකිය හැකි ය.. අතපය හකුලුවන් භාවනා කළ යුතු නැත ය.. ඇඟ බැලන්ස් කර ගැනීම නිවනට උපකාර බැවින් සෙල්ලම් (Gym) කළ යුතු ය.. භාවනා කරන්නේ කම්මැලියන් ය ආදී වශයෙන් නොයෙකුත් දෑ අසන්නට ඇත..
මේවාටවත් පිළියමක් ගත යුතුයි නොවෙ ද ?
කෙලෙස් නින්ද පසෙක තැබේවා.කෙලෙස් නින්දට පෙර පියවි නින්දෙන් වත් අවදිවිය යුතු නොවේ ද ?
තමන් දන්නා ධර්ම විනය ගැන විශ්වාසය ඇති එකදු ථෙරවාදී සසුන ගරු කරන භික්ෂුවක් වත් වර්ථමානයේ නැති ද ? නිවන් මග නම් අනිමිත්ත බව, අප්පණිහිත බව, සුඤ්ඤත බව කෙළවර කොට ඇති සතිපට්ඨානය වැඩීම මිසක් තණකොළ ගැලවීමක් නොවන බව කියන්න අයෙකු නැති ද ?
මේ සසුන මළ එකක් බවට පත් වී අවසන් ද ?
වඩා වැදගත් සසුන ද ? නම ද ? ආයතනය ද ?
අපි නම කෙරෙහි පැවිදි වූයේ ද ? ආයතන කෙරෙහි පැවිදි වූයේ ද ? සසුන කෙරෙහි පැවිදි වුයේ ද ?
සමාපත්තියෙන් වූව ද සසුන් විලෝමයකදි අවදි විය යුතු නොවේ ද ?
ශාසණ භාරධාරී උතුමන්ගේ මේ භයංකාර නිහැඬියාව සමාජයට ගම්‍ය කරන පණිවිඩය කුමක් ද ?
පසුගිය කළ සසුන රැකගන්නට ආ සියල්ලෝ විශ්‍රාම ගියේ ද ?
නැතිනම් ඔවුහු අපව රවටමින් රඟපෑවෝ ද ?
දැන් අප විසින් කුමක් කළ යුතු ද ?
මට පිළිතුරු අවශ්‍ය නැත.. මා ලඟ පිළිතුර ඇත.. තම තමන්ගේ හදවතට තට්ටුකර බලන්නටවත් ආරාධනා කරමි..
ධර්ම සංවේගයෙනි..
දැන් දැන් සසුන් ලිංගය පමණක් දක්නට ඇත..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero