top of page

පුරාණ ධර්මවාද වල යුක්තිය..

ධර්මය ගැන වාද විවාදයන් යෙදෙන අවස්ථා දෙකක් දැකිය හැකි ය.


01. අධර්ම මතයක් බිඳ හෙලීමට..

02. ධර්ම මතය හෙලි කිරීමට..


මේ සංවාදයක් ගැන නොවේ. වාදයක් ගැන ය. සංවාද යනු මාතෘකාවක් ගෙන මාතෘකාව ගැන ඇති සාධනීය විවේචන සහිතව මාතෘකාව ගැන කරන සංවාදයකි.


නමුත් වාද යනු වෙනත් ස්වරූපයක පවතින එකකි. සංවාදයක දී මාතෘකාවට යහපතක් වන අතර‍, වාදයක දී මත දෙකක් හැප්පීම සිදු වේ.


ධර්මවාදියෙක් සහ අධර්මවාදියෙක් අතර සිදු කරන ධර්ම වාදයක දී අධර්ම මතය ගෙන එන්නා විසින්‍, ධර්ම මතය පැහැදිලි කරන්නා සිදු කරන ධර්ම මතයට එකඟව තමන් ගේ නො දන්නා කම ඉවත ලා යහපත් මතයේ පිහිටීම සිදු වෙයි. එය අධර්ම මත බිඳීම නම් වෙයි.


නමුත් සමහර පරවාදී අදහස් දරණ තැනත්තන් විසින් එසේ නිවැරදි වීමට කැමැත්තක් නො දක්වයි.


උඬඟු මානයේ පිහිටන ඔවුහු උද්ධච්ච කම නිසා ම තමන් ගේ මතයේ ම දැඟලීම සිදු කරයි.


කිම ? එය එසේ නම් ඔවුන් සමඟ වාද කිරීම අර්ථයක් නැත්තේ ද ?


නැත. එය එසේ සිතිය යුතු නොවේ. එහි ද අර්ථයක් ඇත්තේ ම ය. කා හට ද යත්‍, අසන්නන් හට ය.


ශ්‍රාවකයන් මුලා නො වී ධර්ම මාර්ගයේ යෑමට නම් ඔවුන් ධර්මයෙන් පොහොසත් විය යුතු ය. මතවාදී මාතෘකාවක දී ථේරවාදී න්‍යාය දැන සිටිය යුතු වේ. එයින් ඔවුහු එවැනි මත වල මුලා නොවේ.


නමුත් අප සිහි බුද්ධියෙන් වටහා ගත යුත්තෙ‍්‍ අප එවැනි වාද වල දිනුම හෝ පැරදීම ගැන සිතා වාද නො කරන්නෝ බව ය.


අප එවැනි වාදයක හිඳගන්නේ ම ශ්‍රාවක ප්‍රජාවට එයින් ලැබෙන ධර්ම ලාභය සිතේ තබා ගෙන ය.


එයින් නිවැරදි ධර්ම මතය ඉස්මතු වේ. ශ්‍රාවකයා මුහුකුරා වැඩෙයි. මුලා වීම් නැති වේ.


කෙසේ නමුත් එය පුද්ගලානුබද්ධ කෝපයක් හෝ වෛරයක් නොවේ. නිවැරදි මතය උගුළුවා දැමීමේ වෑයමක් ම වේ.


අවබෝධය‍, කථිකත්වය මත සාකච්ඡාවේ ප්‍රමුඛතාවය ඔබ මොබ දිව යා හැකි අතර‍, අප මධ්‍යස්තව සිදු කළ යුත්තේ ම එයින් කියවෙන අසම්භින්න වූ ථේරවාදී ධර්ම න්‍යාය වටහා ගැනීම පමණි.


එයින් නිවැරදි ධර්මයේ පිහිටීමට බුද්ධ ශ්‍රාවකයා හට හැකිවනු ඇති අතර මේ උපදේශය කොයි කා හටත් වැදගත් එකක් ද වනු ඇත.


කථාවස්තුප්‍රකරණය‍, මිළිඳු නාගසේන පැණ විසඳුම් මෙන් ම යමක වැනි සූත්‍ර ධර්ම ද මේවාට කදිම උපමාවන් සපයා ඇත.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.02.2024

bottom of page