top of page

අඥාණයන් නො දකින සර්වඥතා ඥාණය..


“සබ්බං සංඛතමසංඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤණං” යනුවෙන් පටිසම්භිදාමග්ගප්ප්‍රකරණයේ මේ සර්වඥතා ඥාණයේ පරිසමාප්ත අර්ථය දක්වා ඇත..


එහි අර්ථය මෙසේ ය..


සංඛත වූද අසංඛත වුව ද සියලූම ධර්මයන් නිරවශේෂයෙන් දන්නා ඥානය සර්වඥතා ඥානය නම් බවයි..


මේ සර්වඥතා ඥාණය සර්වඥයන් වහන්සේ ලබන්නේ ස්වකීය අර්හත් මාර්ග චිත්තය සමගම ය..


අර්හත් මාර්ග චිත්තය ශ්‍රාවකයෝ ද ලබතත් ඔවුනට සර්වඥතා ඥානය ලැබෙන්නේ නැත.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ අර්හත් මාර්ග චිත්තයෙහි ඇති විශේෂත්වය නම් එය ඇති වීමත් සමගම සර්වඥතාඥානාදි සකළ බුද්ධගුණයන් ද ලැබිම ය.


සංඛත යනු හේතූන්ගෙන් හටගන්නා නාමරූප ධර්‍මයෝ ය. ඒවාට සංස්කාරයෝ ය යි ද කියනු ලැබේ.


ප්‍රත්‍යයන්ගෙන් හට ගැනිමක් නැතිව ඇත්තා වූ නිර්‍වාණය හා ප්‍රඥප්තීහු අසංඛතයෝ ය. ලෝකයෙහි යමක් ඇති නම් ඒ සියල්ලම සංඛත අසංඛත දෙපක්ෂයෙන් එකකට අයත් වන්නේ ය.


සර්වඥතාඥානයට ඒ සියලු ධර්මතාවයන්ම හසු වන්නේ ය. ම දැනෙන්නේ ය. ඒවා යම් තරමකට දැනෙනවා නොව ඒ ඒ ධර්මයට අයත් වෙන් වෙන් වූ ලක්ෂණයන්ගේ වශයෙන් ද පොදු ලක්ෂණ වූ අනිත්‍යාදී වශයෙන් ද දැනෙන්නේ ය..


නිවන ද සුඤ්ඤත, අප්පණිහිත, අනිමිත්තාදී වශයෙන් අනේකාකාරයෙන් දැනෙන්නේ ය.


“නත්ථී තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සං පඤ්ඤාය, අතීතං අනාගතං පව්වුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති, යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි තං සබ්බං ජානිතබ්බං, අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගමිභීරො වා අත්ථො අත්ථො ගුළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්‍යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො, නික්කෙලෙසො වා අත්ථො වොදානො වා අත්ථො, නික්කෙලෙසො වා අත්ථො වොදානො වා අත්ථො, පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති.


යැයි පටිසම්භිදා මග්ගයේ කී බැවින්


ඒ භාග්‍යවතුන් වහන්සේ නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ප්‍රඥාවෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැති බව දත යුතු ය..


බුදුරජාණන් වහන්සේගේ ඥානාභිමුඛයට නොපැමිණෙන අතීත හෝ වර්ථමාන හෝ අනාගත වූ ධර්මයක් නම් නැත..


යම් පරමාර්ථයක් ලොව ඇත් ද, මෙක් ඥාණයෙන් දත යුතු යමක් වේ ද ඒ සියල්ල බුදුන් වහන්සේ ගේ ඥානයට හසුව පවතින බව දත යුතු ය.


භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය අතීතයට යවන කල්හි එහි පැකිළෙන තැනක් නැත..


අනාගතයට යවන කල්හි එහි පැකිළෙන පවතින තැනක් නැත..


වර්තමානයෙහි ද භාග්‍යවත් බුදුරජණන් වහන්සේගේ නුවණට අසමර්ථ තැනක් නැත.


දත යුත්ත යම් පමණ ද භාග්‍යවතුන් වහන්සේගේ ඥානය එපමණ වන්නේ ය. ඥානය යම් පමණ ද දත යුත්ත ද එපමණම වන්නේ ය. දතයුත්ත ඉක්මවා ඥානය නො පවති. ඥානය ඉක්මවා දතයුතු දේ නොපවතී. ඥානය දතයුත්ත යන මේ දෙක ඔවුනොවුන් පිරිසඳ පවත්නේ ය. අභිභවා නම් පවතින්නක් නැත..


දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, දෙව්මිනිසුන් සහිත ලෝකයා විසින් දක්නා ලද අසන ලද ඝ්‍රාණ ජිව්හා කාය විඥානයන් කරණකොට ගන්නා ලද මනෝද්වාරයෙන් ගන්නා ලද පැමිණෙන ලද සොයන ලද සිත හසුරවන ලද යමක් වේ ද, යම් ඥානයක් වේද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දනී..ඒ ඥානය සර්වඥතාඥානය ය.


ඒ බව "යාවතා සදේවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා. තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං" වශයෙන් පටිසම්භිදාවේම කියන ලදි..


ඒ පාඨයට අනුව යම් සත්ත්වයෙක් රූපාදී ආරම්මණයන් අතුරෙන් අරමුණක් දැක යම්බඳු කල්පනාවකින් සිටින්නේ ද ඔහු මෙ අරමුණ දැක මෙබඳු කල්පනාවකින් සිටින්නේ ය. මොහුගේ සිත මෙ අකාරයේ ය, යනුවෙන්අනන්ත ලෝකධාතුවල වෙසෙන සත්ත්වයන් ගැන පවා භාග්‍යවතුන් වහන්සේ දන්නා බව සිහිපත් කොට ඇත..


දැන් මා කිව යුත්තට පැමිණියේ ය..


ඇතැම් අන්ධ බාල පෘථග්ජනයන් විසින් මේ සර්වඥතා ඥාණය අභියෝගයට ලක් කරමින් කරන අන්ද බාල කථාවකට පිළිතුරු තබමි..


ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට මෙලෙස සර්වඥ වූ ඥාණයක් නොපවතින බවත්, එය එසේනම් සුන්දරී නන්දිගේ සිදුවීම, දේවදත්තයන්ගේ ගල පෙරලීම ආදිය බුදුන් නොදැක්කේ ඇයිදැයි විමසති..


එයට තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රයෙන් " “වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ සර්වඥය, සියල්ල දක්නේය, සියල්ල දක්නා නුවණක් ඇතැයි ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේයයි’ යම් කෙනෙක් මට කීවාහු නම් ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔව්හු මට අසත්‍යයෙන් චොදනා කරත්.” යන බුද්ධ වචනය අන්ද ලෙස, බාල ලෙස, මුග්ධ ලෙස යොදා ගනියි..


පින්වත්නි, ලෝකය ඉතා විශාලය. ලෝකධාතූහු ම අනන්තය හ. එක් එක් ලෝකධාතුවෙක ඇති සත්වයො ඉතා බොහෝ ය. ඒ සියල්ල එක විට දැකිය හැකි නුවණක් භාග්‍යවතුන් වහන්සේට නැත්තේ ය. සර්වඥකා ඥාණය යැයි කීවේ එයට නොවන බව එයින් දත යුතු ය..


අතීතයෙහි ඇතැම් තීර්‍ථකයෝ යන එන සිටින හිඳින නිදන සැම වේලේ ම සියල්ල පෙනෙන නුවණක් ඔවුන්ට ඇතය යි කීහ. මේ තීර්ථක මතයකි. ඒ බව දත යුතු ය..


සර්වඥතාඥානය යි කියනුයේ වුවමනා විටෙක වුවමණා දෙය දැකිය හැකි නුවණකට ය. සැම නුවණකටම සියල්ල නො දැනේ. ඒ ඒ නුවණට විෂය වන දෙය පමණක් දැනේ. අවිෂය වන දෙය නො දැනේ.


තථාගතයන් වහන්සේගේ සර්‍වඥතාඥානයට නො දැනෙන නො හසුවන දෙයක් නැත. එබැවින් එයට සර්‍වඥතාඥානයය යි කියනු ලැබේ. ඒ නුවණ ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ සර්‍වඥ නම් වෙති. සර්‍වඥතාඥානය ඇතය කියා උන් වහන්සේට නිරතුරු සියල්ල පෙනී ඇත්තේ නො වේ. ආවර්ජනය කළ හොත් නො පෙනෙන දෙයක් ද නොවන බව ඉහත සූත්‍රයේම පහත උපුටා දක්වා කරුණු වලින් දක්වා ඇත..


ඒ නිසා ඒ බැව් නොදන්නා අන්ධ බාල මුග්ධයන් බුද්ධ ශාසණයේ වඳ වූ වඳයන් බව කවුරුත් දත යුතු ය.. වඳයන්ගෙන් සසුනේ ලැබෙන ඵලයක් නම් නැත..


“වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය’යි ප්‍රකාශ කරණු ලබන්නේ, මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට බොරුවෙන් දොස්ද නොකියන්නේය. ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැත්තන්ගේ ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව සිහිකරමි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවු පෙරවිසුම් සිහිකරමි. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවල උපන්නාවූද දුර්ගතිවල උපන්නාවූද සත්වයන් දකිමි. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකිමි, මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.


“වච්ඡය, මම වනාහි ආශ්‍රවයන් (කෙළෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධිය කරණකොට මිදීමත්, ප්‍රඥාව කරණකොට මිදීමත්, මේ ආත්මයෙහිම තමන්ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි, ප්‍රකාශ කරණු ලබන්නේ, මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට අසත්‍යයෙන් නින්දාද නොකරන්නේය. ධර්මයටද අනුකූල වූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැතියන් විසින් හැරගිය යුතු තැනටද නොපැමිණෙන්නේයයි” වදාළේය.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 01.09.2023



bottom of page