වර්තමානයේ කර්මස්ථානාචාර්යවරුන් අතින් දූෂිතව ඇති තවත් පදයක් ලෙස මෙයත් හැඳින්විය හැකි ය.
ඇතැමුන් මේ පරියාය නො දැන තමන්ට කාම සිතිවිල්ලක් ආවේ යැ යි හඳුනාගෙන 'ආවා, ආවා' යැයි සිතමින් කල් මරති. ඇතැමුන් කාම සිතිවිල්ලක් නො දැක 'ගියෝ, ගියෝ' කියමින් කල් මරති.
එයින් සත්ත්ව පුද්ගල භාව දෘෂ්ඨියේ දුරු වීමක් නම් නැත. උපදින අමුතු සිහියක් ද නැත. මැරෙන තුරු ම 'ආවෝ ගියෝ' කියමින් සිට පෘතග්ජන ව ම මියැදෙයි. නැවත සංසාරයේ උපදී.
සංසාරයෙන් මිදීම කෙසේ වෙතත්, කාම සිතිවිල්ල යට කර ගැනීමට වත් දක්ෂයෙක් නොවෙයි. එයින් ලැබෙන විමුක්තියක් නම් නැත්තේ ය.
මේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය කල්පනා කරන්නා ම මෙහි නාම රූප පරිච්ඡේදය කර ගනී. ඒවා ගේ යථාකාර පැවැත්ම දකී. එයින් ම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය දුරු වෙයි.
එනිසා ඒ සෑම අවස්ථාවක ම ඒ ඒ ධර්ම වල ක්‍රියාකාරීත්ව වෙන වෙන ම අවබෝධ කර ගත යුතු ය. ආරම්මණය, ආරම්මණය ලෙස දත යුතු ය. ප්‍රසාදය, ප්‍රසාදය ලෙස දත යුතු ය. අරමුණ දැන ගන්නා විඥානය, විඥානය ලෙස දත යුතු ය.
අරමුණේ මිහිර විඳ ගන්නා වේදනාව, වේදනානුපස්සනාවේ දැක් වූ ආකාරයට චෛතසික වශයෙන් දත යුතු ය. ඒවාට ආශා කරවන ලෝභ ජවනයන්, ජවනයන් ලෙස ම දත යුතු ය.
එයින් මේ ධම්මානුපස්සනාවේ බලාපොරොත්තු වන සිහිය උපදී.
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණ ග්‍රන්ථයෙනි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 24.05.2023
