Sujatha Puthra Meditation Center
Your Membership ID
“යො පටිච්චසමුප්පාදං පස්සති - සො ධම්මං පස්සති
යො ධම්මං පස්සති - සො මං පස්සති”
ධර්ම දේශනා 500කින් පසු උඩුගත කරන 501 වෙනි ධර්ම දේශනාව මෙය වේ.. අනාත්ම ප්රවාහයක පවතින අනාත්ම ධර්මතා රැසක් සත්ව පුද්ගල සඤ්ඤාව තම තමන් විසින්ම උපදවා එම ධර්ම ප්‍රවාහය සමග නටන කෝලම දැක දැන් වසර ගණනක් ගත විය..
ධර්ම දේශනා කිරීමට පැමිණි නමුත් ධර්මාසනයේ සිටි සෑම අවස්ථාවකම පහතින් ඇති විවිධ සිතිවිලි රටාවන්ගෙන් යුක්ත ජනතාව කුමන පරියායෙන් ආමන්ත්‍රණය කළ යුතු දැ යි මා සිත නිතර වෙලාගත් පැණයක් විය..
මා විසින් ඔවුන්ට කියා දිය යුතු පරියාය අතිශයින් ගැඹුරු ය.. සාමාන්‍ය නුවණක් ඇති ජනයා විසින් දත හැක්කක් නොවේ.. සියුමැලි ලෙස ප්රත්යවේක්ෂා කොට දීර්ඝ කාලයක් විමසා බලා ප්‍රතිවේධ කළ යුත්තක් ය..
ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන් ආමන්ත්‍රණය කරන්නට පටන් ගතිමි.. ඔවුන්ට වැටහෙන පරියායන් සොයමින් වසර ගණනක් ධර්ම සාගරයේ පිහිනමින් සිටියෙම්, ධර්ම දේශනා 500කට පසුව මෙම දේශනාව අත් පය හකුලුවා සිදු කරන්නට අවකාශ ලබා ගතිමි..
තවමත් මෙම පරියාය දේශනා කොට අවසානයේ මෙන් ම, දැනුදු මා සිත දන්නා එක සත්‍යයක් වෙයි.. ඔවුන් මෙය වටහාගන්නට තවමත් ඉතාම පොඩි බව මා සිත දන්නා එම සත්‍යයයි..
නමුත් මා මේ දමා දෙන වැට උඩ සිටගන්නට පුරුදු වන ඔවුන් මේ ඝෝරතර සසරේ එක් ඉමකදී හෝ මෙය නිසැකවම වටහාගෙන මෙම සංසාර චක්‍රයෙන් ඉවතට පනින්ට සමර්ථ වේ යැයි සිතා මෙය සිදු කිරීමට කාලය ගතිමි..
අද වනතුරු මා අසා ඇති එකම දේශනාවකවත් මෙම පරියාය සහිත දේශනාවක් දැක නැත.. සත්‍යයකි.. එය කාට කෙසේ නම් කියන්න ද ? මහා කාරුණික වූ සර්වඥයන් වහන්සේම සිතිවිල්ලකින් පසුබැස්සා නොවෙ ද ?
මෙය ප්රවේශයකි.. ඇස ගැටෙන සියලු සත්වයන් විසින් ශ්‍රවණය කළ යුත්තකි.. මතු මතු දිගහැරෙන සූවිසි ප්‍රත්‍ය සහිත පටිච්ච සමුප්පාද දේශනාවන් වටහා ගැනීමට සක්‍යතාවය සකස් කර ගත හැකි වනු ඇත්තේ එවිට ය.. මතු මතු සත්ව පුද්ගල ශූන්‍ය ධර්මතාවයන්ගේ අව්යාපාරයෙන් පැවතෙන ස්කන්ධ සහිත අභිනව ධර්මතාවයන්ගේ ඡේද්යත්වය එවිට මුදුන්පත් කරගත හැකි වනු ඇත..
එවිට යන සියුමැලි ගැටලු වලට හදවතින් නතු විය හැකි නිසි පිළිතුරක් ලබා ගත හැකි වනු ඇත.. එතෙක් ඔබ දකින කිසිවක් පරම සත්‍යයම නොවන බවත්, ඔබ විසින් දැකිය යුතු තවත් බොහෝ දේවල් මේ සසුන් කෙතේ ඇති බවත් සිහි නුවණින් යුක්තව වටහා ගනිත්වා..
සුධීන් එයට උත්සහ ගනිත්වා..
පසු ලිවීම - මෙය කාලයක් පුරා ශුෂ්ක විපස්සනාව වැඩූ යෝගාවචරයන් වෙත සිදු කෙරුණු විශේෂ කර්මස්ථාන දේශනාවක් බැවින්, නිසි කාලය එනතුරු ගුරුවරයෙක්ගේ උපදෙස් නැතිව මෙය වැඩීමට යාමෙන් වළකින්න..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 29.08.2022