top of page

"සිත මිස කය නැති බඹ ලොව සතරකි" යන කවියෙහි ධර්මාර්ථය වැරදි ද ?


"සිත මිස කය නැති බඹ ලොව සතරකි" යන කවියෙහි ධර්මාර්ථය වැරදි ද ?


සූත්‍ර කීපයක් පමණක් පෙරලා බලා, ඒවාගේ ද තියුණු අර්ථය නො සලකා, සියුම් සහ තියුණු ධර්මතාවයන්ගේ ධර්ම රාශියෙන් ධර්ම මාත්‍රයක් නොදත් අයෙකුට මේ ගැන වැරදි අදහසක් පහළ වීම පුදුමයක් නොව, විය හැක්කක් ම ය.. ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැන විස්තර සටහනක් තබමි.


අරූපාවචර භූමි සතරකි.. ඒ,


01. ආකාසානඤ්චායතනය,

02. විඤ්ඤාණඤ්චායතනය,

03. ආකිඤ්චඤ්ඤායතනය,

04. නේවසඤ්ඤානාසඤ්ඤායතනය

යනුවෙනි..


මේ සත්වයා උත්පත්ති ලැබිය හැකි තල 31න් ප්‍රධානම තල හතරකි..


ලෝවැඩ සඟරාවේ දී පූජනීය වීදාගම මෛත්‍රී හිමියන් විසින් "සිත මිස කය නැති බඹ ලොව සතරකි" වශයෙන් කවියට නැගුවේ මේ බ්‍රහ්ම ලෝක සතර ගැන ය..


සැබවින්ම පහත රූපයේ කියා ඇති පරිදි එහි අර්ථය විකෘතියි ද ? නැත.. පැහැදිලිවම මේ වැනි බඹ ලොවවල් සයක් ඇති බව ධර්මයේ දැක්වෙයි..


ඒ වැනි උත්පත්තීන් ලබන්නේ කෙසේදැයි, ඊට කුමන කර්මස්ථාන කෙසේ වැඩිය යුතුදැයි අප විසින් මීට පෙරම ලිපි ලියා, දේශණා සිදු කොට ඇත..


ධර්ම කාරණය නොදන්නා නිසා, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වූ ශ්‍රද්ධාවේ මදිකම නිසා, ධර්මය පිළිබඳ සැක උපදවන පෘථග්ජන භාවය නිසා මේ සිත රූපය නැතිව කෙසේ පවතින්නේදැයි ඇතැමෙකුට සැක ඇතිවිය හැකි ය..


එය පැහැදිලිව දක්වා තිබේ.. ඒ අවස්ථාවේ සිත පවතින්නේ හෘදය රූපය ඇසුරු කොට ගෙන නො වන අතර ස්වකීය භාවනාරම්මණයම ඇසුරු කරගෙනම බව එයින් දත යුතු ය..


අඩුම මේ තල සතරට 'භූමි' යන ශබ්දය පවා ව්‍යවහාර නො කළ යුතු බවට ඇතැම් ආචාර්යවරු කියති.. විපාක නාමස්කන්ධ සතරින් පිරිසිඳින ලද නිසා සණ්ඨාන වශයෙන් (සටහනක් වශයෙන්) භූමියක් නැති නිසා එම මතය ප්‍රකාශ කොට ඇත.. නමුත් එයට ඒ ඒ ධාතු පරිච්ඡේදය දැක්වීම පිණිස භූමි ශබ්දය යොදා ඇති බව භූමි ශබ්දය යෙදූ ආචාර්යවරුන්ගෙන් පෙනෙන්ට ඇත..


සියුම් වත් රූපයක් එහි නැති බව එයින්ම පැහැදිලි ය..


ඒ වැනි ලෝ තලයක උත්පත්තිය ලැබූවෙක් චුතියට පත් වීමේ දී ද සැලකිය යුතු කරුණක් දක්නට ලැබෙයි..


ඒ අරූප භූමියෙන් චුතවන කෙනෙකු අනතුරුව නැවත රූප භූමියක ගන්නා ප්‍රතිසන්ධියක් නැත.. නැවත ඉපදීම සිදුවන්නෙ අරූප ධාතුවක හෝ කාම ධාතුවේ ම ය.. ඒ ඇයි දැයි ඉගෙනීමට අභිධර්මය ගැන සියුම් දැනීමක් තිබීම අවශ්‍යම ය.. මේ එය ලිවීමට ස්ථානය නොවේ ය..


එය සඳහන්ව ඇත්තේ යමක ප්‍රකරණයේ ය..


"අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උප්පජ්ජන්තස්ස"

"අරූපධාතුයා චුතස්ස කාමධාතුං උප්පජ්ජන්තස්ස"

අරූප භවයේ රූපයක් නැති බවට සඳහන් වන තවත් ත්‍රිපිටක මූලාශ්‍රම ඇත..


(තත්ථ කතමෙ අරූපධාතුයා චත්තාරො ඛන්ධා? වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො – ඉමෙ වුච්චන්ති “අරූපධාතුයා චත්තාරො ඛන්ධා”.)-අභිධර්මපිටකය,විභඞ්ගප්‍රකරණය,ධම්මහදයවිභඞ්ගය.


තවත ද කතාවත්ථුප්‍රකරණයේදී අරූප භවයේ සියුම්වූ හෝ රූපයක් නොමැති බවත් සියුම් රූපයක් ඇතැයි කීම මිථ්‍යාදෘෂ්ටියක් බවත් ප්‍රකාශ කර ඇත..


දැන් එය අභිධර්මය ය.. එය බුද්ධ භාෂිත නොවේයැයි කීමට හැක.. ඒ අඥාණයන්ගේ භාෂාව ය..


"අභිධම්මං පටිබාහෙන්තො ඉමස්මිං ජිනචක්කෙ පහාරං දෙති, සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිබාහති, සත්ථු වෙසාරජ්ජඤ්ඤාණං පටිනිවත්තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග්ගෙ ආවරණං බන්ධති, අට්ඨාරසසු භෙදකරවත්ථූසු එකස්මිං සන්දිස්සති උක්ඛෙපනීයකම්මතජ්ජනීයකම්මාරහො හොති. තං තං කම්මං කත්වා උය්‍යොජෙතබ්බො ‘ගච්ඡ විඝාසාදො හුත්වා ජීවිස්සසී’ති"


අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා ජින චක්‍රයට පහරදෙන්නෙක් ය.. හෙතෙම උක්ඛේපනීය කර්මය කොට සංඝයාගේ ආමිස, ධර්ම සම්භෝගයෙන් ඉවත් කළ යුතු ය.. ඉවත් කොට "යව ඉතිරි වන දෙයක් කා ජීවිතය ගෙට ගසා ගනිවු" යැවිය යුතු ය..


එය එසේ කළ යුතු වූවත් අද අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නෝ ඇතැම්හු පූජනීය තත්වයෙහිලා සලකති.. සංඝයාගේ විනය කර්මයකට වත් ගාවා නොගත යුතු නොවේද ?


භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පරිදි ආමිස, ධර්ම සම්භෝගයෙන්ම ඉවත් කළ යුතු නොවේ ද ?


උක්ඛේපනීය කර්මය සිදු කරන පිළිවෙල අප විසින් ලියූ පෙර ලිපියක ඇත..


තවද මෙහි කියා ඇති විඤ්ඤාණය නිරුද්ධ වීම පිරිනිවීමේදී පමණක් සිදුවන්නක් නොවන අතර එය නිරෝධ සමාපත්තියේදී ද සිත් හට නො ගෙන නිරුද්ධ වන බව දත යුතු ය.. ඒ ගැනත් අප විසින් කලින් ලියා ඇත..


එනිසා මේ කරුණු සලකා බලා අරූප තලයෙහි කිසිදු ආකාරයේ සියුම් වූ වත් රූපයක් නැති බවත් එහි පවතින්නේ විපාක සක්න්ධ සතරක් වූ නාම ස්කන්ධයෝම පමණක් බවත් දත යුතු ය.. නුවණ මොට කරන ළපටි ග්‍රන්ථ කවුරුන් විසින් ලීවත් ඒවා කියවීම පසෙකලා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය, අටුවාව , ටීතාව කෙලින්ම පරිහරණයට පුරුදු වීම යහපති..


මෙත් සිතිනි..


තෙරුවන් සරණයි.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

bottom of page