top of page

අදත්තාදාන අකුසලය ගැන බෞද්ධයකු දැනගත යුතු කරුණු..

අදත්තාදානය යනු...?


අනුන්ට අයිති දෙයක් ඒක අයිති තැනැත්තාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන් වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන අකුසලය නම් වේ.


අදත්තාදානය සිදු වීම සඳහා පහත සදහන් කරුණු පහම සම්පූර්ණ විය යුතු අතර එයින් එක් කරුණක් හෝ අසම්පූර්ණව මෙම අකුසලය සිදු නොවේ..


1. අන් සතු වස්තුවක් වීම

2. අන් සතු වස්තුවක් බව දැනීම

3. පැහැරගනු කැමති සිත

4. පැහැර ගැනීමට උපක්‍රම කිරීම

5. වස්තුව ගැනීම


යම් කිසි වස්තුවක් සොර සිතින් ගත්තත් එය අයිතිකාරයෙක් නැති වස්තුවක් නම් එයින් අදත්තාදානය අකුසලය සිදු නොවේ.. අයිති කරුවෙක් ඇති අයිකරු නොදුන් වස්තුවක් වුණත් හොර හිතකින් තොරව අයිතිකරු ගැන විශ්වාසයෙන් ගත් විට ද මෙම අකුසලය සිදු නොවේ. අනුන් සතු දෙයක් වූවද තමන්ගේ දෙයක් යැයි සිතා ගත්විට ද අදත්තාදාන අකුසලය සිදු නොවේ..


අදත්තාදාන අකුසලය සිදු විය හැකි ක්‍රම විසි පහක් භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වා ඇත. එ්වාට පස්විසි අවහාරය යැයි කියති. ඒ පස් විසි අවහාරය ප්‍රධාන කොටස් පහක් යටතේ ප්‍රභේද කර දක්වා ඇත..


නානා භණ්ඩ පඤ්චකය

(1) අනුන්ට අයිති වස්තුවක් නඩු කියා තමාට අයත් කර ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයකි. එසේ කිරීමේ දී වස්තු හිමියා එය තමාට අහිමි වූයේ යයි විනිශ්චයට පැමිණි කල්හි අදත්තාදානය සිදු වේ.

(2) තමා විසින් ගෙන යන්නා වූ අන් සතු භාණ්ඩයක් සොර සිතින් ගැනීම එකකි. අනුන් අයත් යම්කිසි භාණ්ඩයක් ගෙන යන්නා වූ තැනැත්තා විසින් මේ දෙය හිමියාට නො දෙමිය මම ගනිමි’ යි සිතා හිස තුබූ වස්තුව කරට ගැනීම, එක අත තුබූ දෙය අනික් අතට ගැනීම යනාදී වශයෙන් තුබූ තැනින් අන් තැනකට ගන්නා කල්හි අදත්තාදානය සිදු වේ. එසේ කරන ලද භාණ්ඩය පසුව හිමියාට දුන්නේ ද කර්මයෙන් නො මිදේ. ගෙන යන්නා වූ භාණ්ඩය නොදී ගනිමියි සිතුයේ ද තිබෙන තැනින් අන් තැනකට නො ගන්නා තෙක් කර්මය සිදු නොවේ.

(3) තමා වෙත පරෙස්සමට තැබූ අන් සතු වස්තු නො දී ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ ගැනීමේ දී හිමියාගේ බලාපොරොත්තු ඇති තාක් අදත්තාදානය සිදු නොවේ. හිමියා ඒ වස්තුව මට නො ලැබේ යයි නිශ්චය කරගත් කල්හි කර්මය සිදු වේ.

(4) අනෙකකු විසින් ගෙන යන්නා වූ අන් සතු වස්තුවක් ඒ ගෙන යන තැනැත්තා ලවා ම අන් තැනකට ගෙන්වා ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී ගෙන යන තැනැත්තා පළමු ගමන් කරමින් සිටි මගින් අනික් මඟකට යනු පිණිස එක් පියවරක් තබා දෙ වන පිය එසවූ කල්හි අදත්තාදානය සිදු වේ.

(5) යම්කිසි භාණ්ඩයක් සොර සිතින් තිබෙන තැනින් ගැනීම එක් ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී බඩුව තුබූ තැනින් ඔසවනු සමග ම අදත්තාදානය වේ.


ඒක භණ්ඩ පඤ්චකය

(1) අනුන් අයත් සත්ත්වයකු නඩු කියා අයිති කර ගැනීම එක් ක්‍ර‍මයෙකි.

(2) තැනකින් තැනකට ගෙන යන අතර මග දී අන්සතු සත්ත්වයන් සොරා ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී කර තබාගෙන යන සත්ත්වයකු අතට ගැනීම ය, එක් අතකින් ගෙන යමින් සිටි සත්ත්වයා අනික් අතට ගැනීමය යනාදීන් සිටි තැනින් වෙනස් කරනු සමඟ ම අදත්තාදානය සිදු වේ. දක්කා ගෙන යන සතකු නොදී ගන්නට සිතා, ගෙන යන මගින් අන් මඟකට දක්කා යැවීමේ දී සත්ත්වයා එක් පියක් ඉදිරියට තබා ඉතිරි පිය එස වූ කල්හි අදත්තාදානය සිදු වේ.

(3) තමා භාරයේ සිටින අන් සතු සත්ත්වයන් නොදී ගැනීම එක් සොරකමෙකි. එසේ කිරීමේ දී හිමියා විසින් ඒ සත්ත්වයා තමාට ආපසු නොලැබේ යයි බලාපොරොත්තුව හළ කල්හි අදත්තාදානය සිදුවේ.

(4) යම් කිසිවෙක් අන් සතු සත්ත්වයකු ගෙන යන කල්හි බිය ගැන්වීම් ආදියෙන් ඔහු ලවා අන් තැනකට ගෙන්වා ගැනීම එක් අවහාරයකි.

(5) අන් සතු සත්ත්වයකු සිටිනා තැනින් සොරකම් කිරීම එක් ක්‍ර‍මයකි. නානා භණ්ඩ පඤ්චකය බඩු පිළිබඳ වූවකි. මේ ඒක භණ්ඩ පඤ්චකය සත්ත්වයන් පිළිබඳ වූවකි. දෙකෙහි වෙනස එපමණ ය.


සාහත්ථික පඤ්චකය

(1) සියතින් ම බඩු සොරකම් කිරීම එක් අවහාරයකි.

(2) අනුන් ලවා සොරකම් කරවීම එක් අවහාරයකි.

(3) ගෙන යන බඩුවලට බදු අය කරන තැනක දී බදු නොගෙවා බඩු ගෙන යනු පිණිස බදු ගන්නා තැනින් පසුව අවුලා ගැනීම සඳහා බඩු පිටතට විසි කිරීම, අනුන්ගේ ගෙයක සිට පසුව අවුලා ගන්නා අදහසින් අන් සතු බඩු පිටතට විසි කිරීම යනාදි වශයෙන් විසි කොට සොරකම් කිරීම එක් අදත්තාදානයෙකි.

(4) අනුන් අයත් කිසියම් වස්තුවක් ඉඩ ලැබුණ විට සොරකම් කිරීමට නියම කර තැබීම එක් ක්‍ර‍මයෙකි. එසේ නියම කළ කල්හි අණ ලැබූ තැනැත්තා විසින් වර්ෂ සියයකින් වුව ද නො වරදවා ඒ සොරකම කරනු ලබන්නේ වේ නම් සොරකම කරවන තැනැත්තාට නියම කළ කෙණෙහි ම අදත්තාදාන කර්මය සිදු වේ.

(5) වස්තු හිමියා රවටා කිසියම් වස්තුවක් ගැන හිමියාගේ ආශාව නැති කරවා ඒ දෙය අයත් කර ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. අයිතිකාරයා විසින් ඔහුට අයිති බව හොඳින් නො දන්නා ඉඩමක් තමාට අයිති කර ගැනීම පිණිස “මේ ඉඩම ඔබට අයිති නැත. අපට අයිති ඉඩමක් ය” යනාදීන් අයිතිකරුට කියා ඔහුගේ බලාපොරොත්තු නැති කරවා අන් සතු ඉඩමක් ගන්නා තැනැත්තා හට අයිතිකරු මෙය මට අයත් නො වේ ය යි ආශාව හරිනු සමග ම අදත්තාදාන කර්මය සිදු වේ. මේ ක්‍ර‍මය පරෙස්සමට තැබූ බඩු සම්බන්ධයෙන් ද කිය හැකි ය.


පුබ්බයෝග පඤ්චකය

(1) භාණ්ඩ සොරකම් කර ගැනීමට පළමුව ම පූර්ව ප්‍රයෝගයෙන් අදත්තාදාන පාප කර්මය සිදුවීම, ඇත්තා වූ එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. මෙහි ප්‍රයෝග යයි කියනුයේ අන් සතු වස්තුව ගැනීම පිණිස කරන උත්සාහයටය. අනුන් ලවා සොරකම් කරවීමේ දී කෙනකුට සොරකම් කිරීමට නියෝග කිරීම එක් ප්‍රයෝගයකි. (එක් වැඩකි) නියෝගය ලැබූ තැනැත්තා විසින් බඩුව සොරා ගැනීම එක් ප්‍රයෝගයකි. (එක් වැඩකි) ඒ වැඩ දෙකින් පළමුව සිදු වන්නේ නියෝග කිරීම ය. එබැවින් එයට පූර්ව ප්‍රයෝග ය යි කියනු ලැබේ. යමකුට යම් කිසිවක් සොරකම් කරන්නට නියෝග කළ කල්හි අණ ලැබූ තැනැත්තා නො වරදවා ම එය කරන්නේ වේ නම් සොරකම් කරවන්නා හට නියම කළ කෙණෙහි ම ඒ පූර්ව ප්‍රයෝගයෙන් ම අදත්තාදාන පාපය සිදු වේ.

(2) ප්‍රයෝගය කිරීම සමග ම අදත්තාදාන කර්මය සිදුවීම, ඇත්තා වූ එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එය යම්කිසි වස්තුවක් සියතින් ම සොරකම් කිරීමේදී හා මායිම් ලකුණු වෙනස් කොට බිම් සොරකම් කිරීමෙහි දී ද ලැබේ. යම් කිසිවක් සොර සිතින් ගන්නා හට භාණ්ඩය ඔසවනු සමග ම අදත්තාදාන පාපය වේ. ඉඩම් සොරකම් කිරීමේ දී මායිම් ලකුණ වෙනස් කර පිහිට වනු සමග ම අදත්තාදාන කර්මය සිදු වේ.

(3) කීප දෙනකු එක් වී සොරකම් කිරීම එක් ක්‍ර‍මයෙකි. යම්කිසි සොරකමක් කිරීමට කථා කර ගෙන සොරකමට ගිය පිරිසෙන් එකකු විසින් බඩුව ගත් කල්හි සෑම දෙනාට ම අදත්තාදාන කර්මය සිදු වේ.

(4) අසවල් වේලාවේ අසවල් බඩුව ගනුව යි කාල නියමක් කොට සොරකම් කරවීම එක් ක්‍ර‍මයෙකි. එසේ කරවීමේ දී නියෝගය ලැබූ තැනැත්තා විසින් නියමිත කාලය පැමිණි කල්හි එය නොවරදවා ම කරන්නේ නම් නියම කළ තැනැත්තා හට නියෝගය කරන වේලාවේදී ම අදත්තාදාන කර්මය සිදු වේ.

(5) සංඥාවක් කොට සොරකම් කරවීම එක් ක්‍ර‍මයෙකි. මා විසින් අසවල් ආකාරයෙන් සංඥා කරන කල්හි බඩු ගනුව යි කියා බඩුව ඇති තැනට පළමුවෙන් කෙනකු යවා ගැනීමට සුදුසු අවස්ථාව පැමිණි කිල්හි යම් කිසි සංඥාවක් කළ කල්හි ඒ සංඥාවෙන් එතැන සිටින තැනැත්තා බඩුව ගත්තේ වේ නම් ඒ සමග ම සංඥා කරන්නාට ද අදත්තාදාන කර්මය සිදු වේ.


ථෙය්‍යාවහාර පඤ්චකය

(1) අන් සතු වස්තුව හිමියාට නො පෙනෙන සේ ගැනීම හා කිරුම් මිනුම් කිරීමේ දී අඩු වැඩි කොට අන් සතු වස්තුව ගැනීම ද ථෙය්‍යාවහාර නම් වේ.

ඇතැම් වෙළෙන්දෝ බඩු ගන්නා කල්හි වැඩියෙන් අසුවන පරිදි සොර පඩි, සොර තරාදිවලින් බඩු කිරා ගනිති. නියම ප්‍ර‍මාණයට මිස වැඩිපුර අසු කර ගත් කොටසට මුදල් නො දෙන බැවින් වැඩි කොට කිරා ගත් කොටස ගැනීමෙන් ඔවුනට අදත්තාදාන පාපය වේ. විකිණීමේ දී අඩුවෙන් කිරා දී රාත්තලට හොණ්ඩරයකට වැටෙන සම්පූර්ණ මුදල ගන්නවුන්ට වැඩිපුර ගන්නා මුදල නිසා අදත්තාදාන පාපය වේ.

මැන ගන්නා ද්‍ර‍ව්‍ය තමන් ගන්නා කල්හි මහත් වූ භාජනවලින් මැන ගන්නා වූ ද විකුණන කල්හි කුඩා බඳුන්වලින් මැන විකුණන්නා වූ ද කූට වෙළඳුනට ද වැඩිපුර ගන්නා ද්‍ර‍ව්‍ය නිසා ද මුදල් නිසා ද අදත්තාදාන පාපය වේ. දිග මැනීමේ දී ද අදත්තාදානය වන සැටි කියන ලද කරුණු අනුසාරයෙන් තේරුම් ගත යුතු ය.

පලුදු වූ හෝ දිරූ හෝ නො වටිනා බඩු හොඳ බඩු සේ විකුණා මුදල් ගන්නවුන්ට ද, රන් රිදී නො වන දෑ රිදී පාට කර විකුණා මුදල් ගන්නවුන්ට ද, රන් රිදීවලට රන් රිදී නො වන දෑ මිශ්‍ර‍ කොට ශුද්ධ රන් රිදීවල මිලට විකුණා මුදල් ගන්නවුන්ට ද, වටිනා බඩුවක් පෙන්නා, දෙන කල්හි අනෙකක් දී මුදල් ගන්නවුන්ට ද, හොර නෝට්ටු හොර කාසි දී බඩු ගන්නවුන්ට ද එසේ ම අදත්තාදාන පාපය සිදු වේ.

නුවණ නැතියවුන් යම්කිසි උපායකින් රවටා ඔවුන් සතු බඩු හෝ මුදල් ගැනීම ද ථෙය්‍යාවහාරයට ම ඇතුළත් වේ. රවටා වස්තුව ගන්නා ආකාරය දැක්වීමට වැද්දකුගේ පුවතක් දක්වා තිබේ.

ඒ මෙසේ ය:

වැද්දෙක් මහ මුවකු හා මුව පැටවකු විකිණීමට ගෙන ආයේය. එක් කෛරාටිකයෙක් වැද්දා ගෙන් මුවන්ගේ මිල ඇසීය. ලොකු මුවා කහවණු දෙකකට හා මුව පැටවා එක් කහවණුවකට ද දෙමි යි වැද්දා කීය. කෛරාටිකයා එක් කහවණුවක් දී මුව පැටවා ගෙන වැද්දාට මඳක් දුට යන්නට හැර නැවත ද කථා කොට “මුව පැටවා වුවමනා නැත, මහ මුවා ම ගනිමි’යි කීය. වැද්දා කහවණු දෙකක් ඉල්ලීය. එකල්හි කෛරාටිකයා “මම දැන් නුඹට එක් කහවණුවක් දුනිමි. අනික් කහවණුව වෙනුවට මේ මුවා ගනුව’යි කීය. වැද්දා රැවටී මුව පැටවා ගෙන මහ මුවා කෛරාටිකයාට දී ගියේය. මෙසේ වස්තු හිමියන් උපායෙන් මුලා කොට ඔවුන් සතු වස්තු ගැනීම ද ථෙය්‍යාවහාරය වේ.

(2) අනුන් තළා පෙළා බිය ගන්වා අන් සතු වස්තුව ඉල්ලා ගැනීම පසයිහාවහාර නම් වූ අදත්තාදානය ය.

(3) භාණ්ඩය පිළිබඳව හා ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක් නැති ව අන්සතු වස්තුව සොරා ගැනීම පරිකප්පාවහාර නම් වේ. ඒ මෙසේ ය: මුදල් සොරකම් කර ගැනීමේ අදහසින් රාත්‍රී කාලයේ ගෙයකට වැද එහි තිබෙන පෙට්ටියක් දැක මෙහි මුදල් ඇති නම් ගනිමි ය යන අදහසින් ඒ පෙට්ටිය ගෙයින් පිටතට ගතහොත් එහි මුදල් තිබුණේ නම් පෙට්ටිය එසවූ කෙණෙහි ම අදත්තාදානය සිදු වේ. මුදල් නොතිබුණේ වී නම් ඒ අවස්ථාවේ දී අදත්තාදාන කර්මය සිදු නො වේ. පිටතට ගත් පෙට්ටිය පරීක්ෂා කර මුදල් නැතිව පෙට්ටිය දමා ගිය හොත් ඔහුට අදත්තාදාන පාපය නො වේ. එහි අන් වටිනා දෙයක් තිබෙනු දැක ඒවා ගනු පිණිස නැවත පෙට්ටිය ඔසවා ගෙන ගිය හොත් දෙවෙනි වර පෙට්ටිය එසවීමේ දී ඔහුට අදත්තාදාන කර්මය සිදු වේ.

අනුන්ගේ ගෙයක තිබෙන වස්තුවක් දැක මෙය පිට කර ගත හැකි වුව හොත් ගනිමි, කෙනකු දුට හොත් තබා යමිය’යි සිතා භාණ්ඩයක් ගැනීම ප්‍රදේශය පිළිබඳ නියමයක් නැති ව ගැනීම ය. එසේ කල්පනා කොට බඩුවක් අතට ගත් තැනැත්තාට ගෙය තුළ සිටින තාක් අදත්තාදානය සිදු නො වේ. භාණ්ඩය ගෙන ගෙයින් පිට වුව හොත් පිටවීමේ දී අදත්තාදානය සිදු වේ.

(4) කර්මාන්ත කරන ස්ථාන හා ස්නානය කරන ස්ථානයෙහි මිනිසුන් විසින් තබන ලද කුඩා බඩු වැලි ආදියෙන් වසා තබා හිමියන් විසින් සොයා නො දැක ගිය කල්හි ඒ බඩු ගැනීම පටිච්ඡන්නාවහාර නම් වූ අදත්තාදානය ය. එසේ කිරීමේ දී තුබූ තැන්වල ම බඩු වසන්නා හට ඒවා ගන්නා තුරු අදත්තාදානය සිදු නො වේ. බිම තුබූ දෙයක් පසුව ගන්නා අදහසින් පයින් ගසා යට කළේ නම් එකෙණෙහි ම අදත්තාදාන කර්මය වේ.

(5) පත්වල නම් ලියා හකුලා බඩුවලට දමා යම් කිසිවක් බෙදන්නා වූ අවස්ථාවේ දී අනෙකකුට ගිය බඩුවක් ගනු කැමැත්තෙන් තමා ගේ නම ඇති පත ඒ බඩුවට ද එහි තුබූ සීට්ටුව තමාගේ නම තුබූ තැනට ද තබා සොරකම් කිරීම කුසාවහාර නම් වේ.


අදත්තාදාන කර්මයාගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය


වටිනාකම මඳ වස්තුවක් සොරකම් කිරීම අල්ප සාවද්‍ය වේ. වටිනා කම වැඩි වස්තුවක් ගැනීමෙන් මහා සාවද්‍ය වේ. කුඩා දෙයක් ගැනීම අල්ප සාවද්‍ය වේ. මහත් දෙයක් ගැනීම මහා සාවද්‍ය වේ. වස්තුව සම වන කල්හි හිමියාගේ සැටියට අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. ගුණහීනයන්ගේ වස්තුව ගැනීම අල්පසාවද්‍ය වේ. ගුණවතුන්ගේ වස්තුව ගැනීම මහා සාවද්‍ය වේ. දුශ්ශීලයකුගේ දෙයක් ගැනුමට වඩා පන්සිල් රකිනා කෙනකුගේ දෙය ගැනීමේ පාපය මහත් වේ. ඊට වඩා උසස් ශීලයක් ඇත්තකුගේ දේ ගැනීම ඊට වඩා මහත් පාපයක් වේ. ගිහියකුගේ දෙයක් ගැනීමේ පාපයට වඩා සාමණේර නමකගේ දෙයක් ගැනීමේ පාපය මහත් වේ. උපසම්පන්න කෙනකුගේ දෙයක් ගැනීමේ පාපය එයට වඩා මහත් වේ. සංඝ සන්තක දෙයක් ගැනීම එයට වඩා මහත් වේ. මෙසේ එකිනෙකට පාපය මහත් වන සැටි දත යුතුය. වස්තුව ය, හිමියාගේ ගුණය ය යන දෙක ම සම වූ කල්හි ප්‍රයෝගයාගේ හා ක්ලේශයන්ගේ වශයෙන් කුඩා මහත් බව කියනු ලැබේ. ඒවා මෘදු වූ කල්හි පාපය ද මඳ වේ. ක්‍රෑර වූ කල්හි මහත් වේ.


අදත්තාදාන කර්මයාගේ විපාකයෝ


අන් සතු වස්තුව සොකරම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබති. සමහර විට අනුන් ගෙන් පහර කා තිරිසනුන් සේ තැන් තැන්වල මැරෙති. පෙර රජවරු සොරුන්ට අත් පා කන් නාසා කැපීම හිස කැපීම උල හිඳවීම ආදි නොයෙක් දඬුවම් කළෝ ය. දැනුදු සොරුන් අසු වුව හොත් සිරගෙයි ලෑම් කස පහර දීම් ආදියෙන් දඬුවම් කරති.


මරණින් මතු සොරකම් කළ අය නරකයෙහි ඉපිද ගින්නේ දැවෙමින් බොහෝ කල් දුක් ලබති. ප්‍රේත ව ඉපද බත් පැන් නැතිව, විළි වසා ගැනුමට වස්ත්‍ර‍ නැති ව, වාසස්ථාන නැතිව, කිසිවකුගේ පිහිටකුත් නැතිව, සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. තිරිසන් ව ඉපද දහස් ගණන් ජාතිවල වස්තු හිමියන්ට බර ඇදීම් ආදියෙන් දුක් විඳිති.


අපායෙන් මිදී මිනිසත් බව ලැබූ කල්හි දු, ඇට නහර මතු වූ කුණු තැවරුණා වූ ශරීර ඇති ව, උකුණන් පිරුණු හිස් ඇති ව, නොයෙක් රෝග ඇති ව, ඉරුණු කිලිටි වස්ත්‍ර‍ ඇතිව, ශෝකයෙන් යුතුව, ගිය ගිය තැන දී ගැරහුම් ලබමින් ගෙදොරක් පාසා සිඟා ඇවිදින්නෝ වන්නාහ. බොහෝ දුරට පාපය ගෙවුණු කල්හි දු ඉතා අමාරුවෙන් බත් පැන් ලබන්නා වූ දිළින්දෝ වෙති. ඔවුන් විසින් ධනය සැපයීමට කරන ව්‍යායාමයෝ ද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති. අමාරුවෙන් ධනය ලැබුයේ ද ඔවුන් කෙරෙහි එය නො පවතී. මා පියාදීන් ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එද ඔවුන් අතේ වැඩි කල් නො පවතී. ඔවුනට නිතර ම නැතය නැතය කියා තැවි තැවී සිටින්නට ම සිදු වේ.


මෙ සේ අදත්තාදානය මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන් සතු වස්තුව විෂ මෙන් සලකා ඒවා ගැනීමෙන් වළකිත්වා!


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 05.06.2018

bottom of page