top of page

බෝසත් සිතිවිලි...


එක් කලක ආනන්ද ස්වාමීන් වහන්සේ "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ලොවුතුරා බුදුවරයන්ගේ ප්‍රාර්ථනාව කෙතෙක් කල් කරන්නට කරන්නට වටිනේ දැ"යි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ "ආනන්දය, බුදුවරුන්ගේ ප්‍රාර්ථනය යටත් පිරිසෙයින් අසංඛ්‍යෙය හතරක් සහ කල්ප ලක්ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අසංඛ්‍යෙය අටක් සහ කල්ප ලක්ෂයක් ද, උඩත් පිරිසෙයින් අසංඛ්‍යෙය සොළොසක් හා කල්ප ලක්ෂයක් ද කළ යුතු වන්නේ ය" යනුවෙන් වදාළ සේක..


මෙහි ප්‍රාර්ථනය වශයෙන් දැක්වූයේ පාරමී පිරිය යුතු කාලය ය.

ප්‍රඥාව, ශ්‍රද්ධාව සහ වීර්‍යය යන මේ ධර්ම තුන බුදු බව ලැබීමෙහි බල පවත්වන්නා වූ බුදු බව ලැබීමට අතිශය උපකාරී වූ ධර්ම තුනකි.. ඒ ධර්මයෝ බෝසතාණන් වහන්සේලා කෙරෙහි සම ව නො පිහිටති. එබැවින් ප්‍රඥාධික ය. ශ්‍රද්ධාධිකය, වීර්‍ය්‍යාධිකය යි බෝසත්හු තිදෙනෙක් වෙති. ප්‍රඥාධික බෝසත්නට ශ්‍රද්ධාව මද අතර වීර්‍ය්‍යය මධ්‍යම ය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මධ්‍යම වන අතර වීර්‍ය්‍යය මඳ ය. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මද වන අතර ශ්‍රද්ධාව මධ්‍යම භාවයට පත් වෙති.


ප්‍රඥාධික බෝධිසත්ත්වයෝ චතුරසංඛ්‍යය කල්ප ලක්‍ෂයකින් ම සම්බෝධියට පැමිණෙති. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයෝ අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයෝ ෂෝඩාශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් ම සම්බෝධියට පැමිණෙති.


අන්තඃකල්පය ය, අසංඛ්‍ය කල්පය ය, මහා කල්ප යයි කල්පය තෙවැදෑරුම් වේ. පාරමී පිරීමේ කාල ප්‍රමාණය ගනුයේ මහා කල්පවලිනි. එය අති දිර්ඝ කාලයෙකි. එහි ප්‍රමාණය උපමාවෙන් මිස වර්ෂ සංඛ්‍යා වලින් නො දැක්විය හැකි ය. දිග පළලින් හා ගැඹුරෙන් යොදුන (හැතැප්ම 16ක්) බැගින් ඇති කොටුවක පිර වූ අබවලින් සිය වසකට එක අබ ඇටය බැගින් ගන්නා කල්හි ඒ කොටුවේ අබ හිස්වීමට ගතවන කාලය කෙටි බවත් කල්පය ඊටත් දිග බවත් බුදුන් වහන්සේ විසින් වදාළ සේක.


අසංඛ්‍ය යනු ගණන් අතුරෙන් වැඩි ම ගණන ය. ඒ මෙසේ දතු යුතු ය. එය ලිවීමට 1 ත් ඊට ඉස්සරහින් බින්දු 140ක් ලියා දැක්විය යුතු බවත් ආචාර්‍ය වරු කියා ඇත. එසේ නම් එවැනි අසංඛ්‍යෙය හතරකුත් අවැනි මහා කල්ප ලක්ෂයකුත් පාරමී පුරන්නට ප්‍රඥාධික බෝධියෙන් ලෝ සතුන් ද නිවාගෙන නිවෙන්නට පතන බෝධි සත්වයෙකු හිත හදා ගත යුතු ය... ඒ කාලය තුල හිස දන්දෙන වේදනා විඳීමට අතපය කපන වේදනා ඉවසීමට බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් හිත හදා ගත යුතු ම ය.


මෙහි විශේෂත්වය මෙය ය.. මෙවැනි අති දීර්ඝ කාලයක් සසරට අත තැබීමට බෝධිසත්වයෙකුම විය යුතු ය. මුළාවෙන් සසර පනින මිනිසුන් අතර සංසාර දුක දැන දැන ම ගාථා පද දෙකකින් නිවන පෙනි පෙනී මෙවැනී දීර්ඝ සසරකට අත තබන්නෝ ම බෝධිසක්ව වරු යැයි කියති. මහා කරුණාවක් සිතෙහි මුසු කරගෙන සංසාරික සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් පාරමී පිරීමට සසර අත තබන මෙවැන් උතුමෝ දකින්නට ඇසුරු කරන්නට ද පින් කළ යුතු ව ඇත. එවැනි කැප කිරීමක් කළ මෙවැනි උතුම් ශාසනයක සිතු සිතු දේ කියමින් සිතු සිතු දේ කරමින් ශාසනය පසුබස්වන්නෝ තථාගත බුදු රජාණන් වහන්සේ විසින් පිරූ පාරමී දහදිය බිඳු වල ණය ගෙවන්නට සසරෙහි සූදානම් විය යුතු ය. සිහි නුවණින් සම්බුද්ධ ශාසනය අල්ලා නොගත්තොත් අතරමං වන්නට වන්නෙ මතු කිසිදු දිනක බුද්ධ යන වචනය අහන්න වත් නොලැබෙන භයානක ලෝක ධාතුවක් තුල ය.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 03.07.2018

bottom of page