Sujatha Puthra Meditation Center
Your Membership ID
කෙනෙක් විදර්ශණා භාවනාව කරන්නෙ කුමන අරමුණක් හිතේ තියාගෙනද ? කුමන පරමාර්ථයක් සාධනය කරගැනීමටද කියන කියන එක මේ තථාගත ධර්මය පුරුදු පුහුණු කරන අපි කවුරු කවුරත් දැනගෙන ඉන්න එක ඉතා ම වටිනවා.. ඒ මොකද යම් පරමාර්ථයක් හිතේ තියාගෙන ඊට අදාළ කරුණු නුවණින් සාධනය කරගැනීම තමයි යම් ප්‍රයෝගයක සාර්ථකත්වය පිණිස පවතින්නෙ.. ඒ නිසා විදර්ශණාව කරන කෙනෙක් ක්‍රමාණූකූලව පෘථග්ජන ගෝත්‍රය ඉක්මවන විදිය, තවත් විදියකින් කියනවනම් විදර්ශණාව මාර්ගඵල පිණිස පවතින ආකාරයට පූරණය වෙන විදිය කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට ශක්ති ප්‍රමාණයෙන් සරලව කෙටියෙන් ලියන්නම්.. මේ ටික ගැඹුරුයි වගේ දැනෙයි. හැබැයි ඕනෑකමින් කියෙව්වොත් බොහොම පහසුවෙන් මේ ශෘතමය ඥාාණය ඔබට සම්පාදනය කරගන්න පුලුවන් කම නම් ලැබේවි.. අහන කියවන දහම් පදයක් ගානේ ම නුවණින් මනසිකාරය කරමින් අනුශය ප්‍රහාණය පිණිසම වේවායි ප්‍රාර්ථනාවෙන් පහළ කරුණු ටික හිතේ ධාරණය කරගන්න..
කෙනෙක් විදර්ශණාව පූරණය කරගෙන යනකොට එයාට පෘථග්ජන භූමියේ ඉදන් ලැබෙන අවසාන විදර්ශණා ඥාණ දෙක තමයි සංඛාරෝපෙක්ඛා ඥාණය සහ අනුලෝම ඤාණය කියන්නෙ. එ් ඥාණදෙක වෙත එනකම් කරුණු සම්පාදනය වෙන විදිය කියන්න නම් මෙහෙම ලියලා බැහැ.. ඒ නිසා ඒක කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පූරණය කරගත යුතු වෙනවා..
ක්‍රමාණූකූලව විදර්ශණා කරගෙන එන යෝගාවරයා සංස්කාර පිළිබද උපේක්ෂාවෙන් යුක්ත සංඛාරෝපෙක්ඛා ඥාණය සම්පාදනය කරනවා.. සංස්කාර පිලිබද උපේක්ෂාව නිකන් ඇතිවෙන එකක් නෙවෙයි.. සංඛාරෝපෙක්ඛා ඥාණයට කලින් තියෙන ප්‍රතිසංඛ්‍යානුදර්ශන ඥනයෙන් සංස්කාරයන් විමසලා ඒවායේ මම ය, මාගේ ය කියා ගත යුතු කිසිවක් නොමැති බව දැනගෙනම ඒවායේ කිසිදු හරයක් නොමැති බව දැනගෙනම යෝගාවචරයා සංස්කාර බිලිබද ඇල්ම දුරු කරනවා.. එවිටම ඒ පිලිබද වූ ගැටීම දුරු වෙනවා.. හිත පිහිටන්නෙ මධ්‍යස්ථ භාවයේ.. උපේක්ෂාවේ.. ඒ වෙලාවේ කිසිදු සැපතකට ආශා නොකරන යෝගාවචරයා සියලු සංස්කාර පිලිබද මධ්‍යස්ථ භාවයේ පිහිටනවා.. භවත්‍රය කෙරෙන් හැකිලෙනවා.. අන්න ඒ සංස්කාර පිලිබද උපේක්ෂාවෙන් යුක්ත ඥානයටයි සංඛාරෝපෙක්ඛා ඥානය කියලා ව්‍යවහාර කරන්නෙ..
මේ වෙලාවේ යෝගාවචරයාගේ සිත අතිශයින් ප්‍රමුදිතයි..
ශ්‍රද්ධාවෙන් යුක්තයි.. දිගින් දිගටම සිත ප්‍රමුදිත කරමින් තව තවත් අනච්චානුපස්සනාවෙන්, දුක්ඛානුපස්සනාවෙන්, අනත්තානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය බලමින් වාසය කරන යෝගාවචරයාට තමන් පූර්වයෙහි කළ විදර්ශනාවෙන් වැඩිපුර වටහා ගත් ලක්ෂණයෙන් එකක් බලවත් වෙලා භවංගයකට අනතුරුව එයම අරමුණු කරමින් මනෝද්වාරික චිත්තයක් උපදිනවා.. නැවත එම අරමුණම අරමුණු කරමින් ජවන චිත්තයක් පහල වෙනවා.. ඒකට පරිකර්ම ජවනය කියලා ව්‍යවහාර කරනවා.. තෙවනුව නැවත එම අරමුණම අරමුණු කරමින් ජවන චිත්තයක් උපදිනවා.. එයට උපචාර ජවනය යැයි කියනවා.. එයට අනතුරුව උපදින තුන්වන ජවන චිත්තය අනුලෝම ඥාණය නම් වෙනවා.. මතු ලැබෙන ගෝත්‍රභූ ඥානයට අනුකූල වන නිසයි මෙයට මේ නම ව්‍යවහාර කරන්නෙ.. මේ විදර්ශනාවේ අවසානයයි.. මීළගට ලැබෙන ගෝත්‍රභූ ඥානයෙන් විදර්ශණා ඥානය සර්වාකාරයෙන් මස්තකප්‍රාප්ත වෙනවා..
මතක තියාගන්න වැදගත් අවස්ථාවක් කියන්නම්.. මේ මාර්ගයේ ප්‍රායෝගික බව ගැන ඔබට පමණ කළ නොහැකි ශ්‍රද්ධාවක් ඇති වෙයි.. නියත විවරණ ලත් බුදු බව පතන බෝසත් උතුමෙක් කවදාවත් සංඛාර උපේක්ඛා ඥානයෙන් මෙහාට එන්නෙ නැහැ.. ඒකට හේතුව උන් වහන්සේ බුදු බව කියන එක මධ්‍යස්ථව දකින්නෙ නැහැ.. සත්වයා කෙරෙහි ඇති මහා කරුණාව උන්වහන්සේගේ බුදු බව කෙරෙහි තියෙන ඇල්ම නැති කරවන්නෙ නැහැ.. ඒ නිසා හැම සංස්කාරයක්ම පිලිබදව මධ්‍යස්ථව සිතුවත් බුදු බව කියන එක ගැන මධ්‍යස්ථව හිතන්න ඒ බෝසත් හිත නැමෙන්නෙ නැහැ.. බොහෝ විට ධර්මතාවයක් විය හැකියි.. නියත විවරණ ගන්න කලින් නම් යම් බුදු බව පතන කෙනෙක් මෙතන පන්නගෙන ඉස්සරහට එන්න පුලුවන්.. එතනින්ම නිවන ප්‍රත්‍යක්ෂ කරනවා.. මතු බුදු බවක් නැහැ.. ඒ ඇයි දන්නවද පුතේ.. අනුලෝම ඥානයට ආපු කෙනෙක් ආපහු හැරෙන්නෙ නැහැ.. සංඛාර උපේක්ඛා ඥානයට හිත වඩලා පිරිහෙන්න පුලුවන්.. අනුලෝම ඥානයට වඩලා පිරිහෙන්නෙ නැහැ.. උඩ දමපු ගලක් ඒකාන්තයෙන් බිම වැටෙනවා වගේ අනුලෝම ඥානයට හිත වඩපු කෙනෙක්ට මාර්ග ඥානය නියතයෙන්ම ලැබෙනවා.. අනුලෝම ඥානයට හිත වඩපු යෝගාවචරයාගේ හිත නෙලුම් පතකට වැටුණු දිය බින්දු වගේ සංස්කාරයන්ගේ පිහිටන්නෙ නැහැ.. හැම සංස්කාරයක්ම පළිබෝධ වශයෙන්ම දකිනවා.. ඒ නිසා අනුලෝම ඥාණයට අනතුරුව නැවත වාරයක් කිසිදු අවස්ථාවක සංස්කාර අරමුණු කරමින් සංස්කාරම්මණික සිතක් ඔහුට උපදින්නෙ නැහැ.. අනුලෝම ඥානයට අනතුරුවම සංස්කාර විරහිත නිර්වාණය ප්‍රථමයෙන් දකින, පෘතග්ජන ගෝත්‍රය ඉක්මවමින් මාර්ග චිත්තයට උපකාරක වන ගෝත්‍රභූ කියන සිත උපදිනවා..
පිලිවෙලින් ගෝත්‍රභූ සිතට අනතුරුව කිසිදු හිඩැසක් නොතබා ඒ තාක් වෙලා සිටි පෘතග්ජන ගෝත්‍රය ඉක්මවා තථාගතයාණන් වහන්සේගේ ඖරස පුත්‍ර භාවයට හෙවත් ප්‍රථම මාර්ග ඥානය උපදිනවා.. මේක විපාක සිතක් නෙවෙයි.. ලෝකෝත්තර කුසල සිතක්.. මාර්ග සිතට අනතුරුවම සෝතාපන්න ඵල සිත දෙවරක් හෝ තෙවරක් උපදිනවා.. එයින් ඵලස්ථ උතුමන් වහන්සේ නමක් බවට පත්වෙනවා..
මේ තියෙන්නෙ මාර්ග චිත්ත වීථීයේ කියපු සිත් ටික පිළිවෙලින් -
01 - මනෝද්වාරාවජ්ජනය
01 - පරිකර්මය
03 - උපචාරය
04 - අනුලෝමය
05 - ගෝත්‍රභූව
06 - සෝතාපන්න මාර්ග සිත
07 - සෝතාපන්න ඵල සිත
08 - සෝතාපන්න ඵල සිත
මෙතන මාර්ග සිත කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්පණා හෙවත් ධ්‍යාන අවස්ථාවක්.. සම්මා සමාධිය කියලා මාර්ග සමාධිය ව්‍යවහාර කරේ ඒ නිසයි.. එය පැහැදිලිවම මාර්ග අවස්ථාවමයි.. මේක ලෝකෝත්තර කුශලයක්.. කල් යව යවා විපාක දෙන එකක් නෙවෙයි.. එම මෙහොතේදීම විපාක දෙන කුශලයක් ලෝකෝත්තර කුශලයක් කියන්නෙ..
එතකොට මෙතන ගෝත්‍රභූ සිත කියන්නෙ අර්පණා අවස්ථාවක් එහෙම නෙවෙයි.. පෘථග්ජන භූමියටත් මාර්ග අවස්ථාවටත් තියෙන පාලමක් වගේ අවස්ථාවකටයි මේ ගෝත්‍රභූ ඥාණය කියලා කියන්නෙ.. සංස්කාර අරමුණු කරගෙන ඇති වන ඥානයක් නෙවෙයි.. ඒ නිසා එය ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියට අයත් වෙන්නෙ නැහැ.. නිවන අරමුණු වූවත් නිවනෙන්ම සිදුවන ක්ලේශ ප්‍රහාණය සිදු නොවන බැවින් ඥාන දර්ශන විශුද්ධියට අයත් වෙන්නෙත් නැහැ.. මේ දෙක අතර වූ විදර්ශනා පරම්පරාවට අයත් වන බැවින් විදර්ශනා නාමය ලබන විශේෂ ඥානයක්...
ගැඹුරු කරුණක්.. සියුම් කරුණක්.. අවසානයේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කළ යුතු තැනක්.. නිවි සැනසිල්ලෙ කියවලා බලන්න ඔබේ අහින්සක මනසට මේ කරුණ කා වද්දගන්න පුලුවන් කම ලැබේවී.. හැම දෙනෙක්ටම තෙරුවන් සරණයි.. උතුම් නිවන පිණිසම වේවායි පතනවා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 11.06.2018