top of page

සද්ධානුසාරී හා ධම්මානුසාරී අවස්ථාව පැහැදිලි කිරීම..

එක් භික්ෂුවක් ප්‍රඥාධූරයේ ඇලී සිටියේ අෂ්ඨ සමාපත්තීන් ද උපදවාගෙන ම සෝවාන් මාර්ග අවස්ථාවට පැමිණෙයි.

හෙතෙම ඒ මාර්ග අවස්ථාවේදී #ධම්මානුසාරී නම් වෙයි.. (මේ තැනදී හඳුන්වන නම ය) සෝවාන් ඵල, සකදාගාමී මාර්ග, සකදාගාමී ඵල, අනාගාමී මාර්ග, අනාගාමී ඵල සහ අරිහත් මාර්ග යන සය තැන්හි #කායසක්ඛි නම් වෙයි.


අරිහත් ඵල අවස්ථාවේදී #උභතොභාග විමුක්ත නම් වෙයි..මෙහි දී විශේෂයෙන් ම සමාපත්ති අවස්ථාවේ විෂ්කම්භන වශයෙන් සිදු කළ කෙලෙස් ප්‍රහාණයත්, මාර්ග අවස්ථාවේ දී සමුච්ඡේද වශයෙන් කළ කෙලෙස් ප්‍රහාණයත් නිසා දෙවරක් මිදුණේ, දෙගුණයකින් විමුක්තියට පත්වුනේ යන අර්ථයෙන් #උභතෝභාග නම් වෙයි.


තව භික්ෂුවක් ප්‍රඥා ධූරයෙන් යුක්ත වුයේ සමවත් ඉපදවීමට අසමර්ථ ව ශුෂ්ක විදර්ශක භූමියෙන් ම සෝවාන් මාර්ග අවස්ථාවට පැමිණෙයි.. හෙතෙම ඒ මාර්ග ක්ෂණයෙහි #ධම්මානුසාරී නම් වෙයි..සෝතාපන්න ඵල ආදී තැන් සයෙහි #දිට්ඨප්පත්ත නම් වෙයි..අරිහත් ඵල අවස්ථාවේදී #පඤ්ඤාවිමුත්ත නම් වෙයි.


කෙනකු ශ්‍රද්ධා ධූරයේ නිරත වූයේ අට සමවත් උපදවා සෝවාන් මගට පැමිණෙයි.. හෙතෙම එම මාර්ග ක්ෂණයෙහි #සද්ධානුසාරී නම් වෙයි..සෝවාන් ඵලාදී සය තැන් වල #කායසක්ඛී නම් වෙයි..අරිහත් ඵල සමාපත්තියේ #උභතෝභාගවිමුත්තම වෙයි.


කෙනෙක් ශ්‍රද්ධා ධූරයේ සිටියේ සමවත් ඉපදීමට නො හැක්කේ ශුෂ්ක විදර්ශණාවෙන් ම සෝවාන් මගට පැමිණෙයි.. හෙතෙම එම මාර්ග ක්ෂණයෙහි #සද්ධානුසාරී වෙයි..සෝවාන් ඵල ආදී සය තැන්හි #සද්ධාවිමුත්ත නම් වෙයි..අරිහත් ඵල ක්ෂණයෙහි #පඤ්ඤාවිමුත්ත නම් වෙයි.


© (අංගුත්තර දුක, තික, චතුක්කනිපාතට්ඨකථා, පරිසවග්ග වණ්ණනා)


මේ ප්‍රභේද සයකින් හඳුන්වා ඇත්තේ මේ ශාසනයේ දක්ඛිණ්‍යෙය උතුමන් ය.

©(සඞ්ගීති සුත්‍රය)


මෙහි ශ්‍රද්ධාවිමුත්තයාට පූර්වභාගයෙහි බලවත් උත්සහයක් කළ යුතු ය..ප්‍රඥාවිමුත්තයා ගේ බලවත් උත්සහයක් යෙදීම අවශ්‍ය නොවේ. ©(සම්පසාදනිය සූත්‍රට්ඨකථාව, කීටාගිරි සූත්‍රට්ඨකතාව)


නිර්වාණය වනාහි අනිමිත්ත විමෝක්ෂය, අප්පණිහිත විමෝක්ෂය, සුඤ්ඤත විමෝක්ෂය නමින් තුන් ආකාරයකි.


එහි පිළිවෙළින් ශ්‍රද්ධාව අධික පුද්ගලයා ය, සමාධිය අධික පුද්ගලයා ය, ප්‍රඥාව අධික පුද්ගලයා ය වශයෙන් පුද්ගලාකාරයෙන් ශ්‍රද්ධාව අධික පුද්ගලයා අනිත්‍යානුපස්සනාවෙන් අනිමිත්ත විමෝක්ෂයට ද,සමාධිය අධික පුද්ගලයා දුක්ඛානුපස්සනාවෙන් අප්පණිහිත විමෝක්ෂයට ද,ප්‍රඥාව අධික පුද්ගලයන් අනත්තානුපස්සනාවෙන් සුඤ්ඤත විමෝක්ෂයට ද පත් වෙති. ©(පටිසම්භිදාමග්ගප්‍රකරණය, විමොක්ඛ කතා)

මෙය සංස්කාර උපේක්ෂා ඥාණයේ සිට ජවනයන් බැස ගන්නා විදර්ශණා අරමුණ වශයෙන් ම ප්‍රභේදයට පැමිණෙත්..පාරමී කාලයේ ප්‍රභේද ඇත ද බුදුවරු වනාහි ප්‍රඥාව මුල් කොට ගෙන ම නිර්වාණයට බැස ගනිත්.


මාර්ග චිත්ත වීථියේ ද ලොව්තුරා බුදු වරුන්⁣ට වනාහි පරිකර්ම ජවනයක් නැති අතර ඵල සිත තුන්වරක් උපදින සේක..ප්‍රත්‍යවේක්ෂා වීථී වශයෙන් එක් චිත්ත වීථියකට සත් ජවනයක් වශයෙන් මාර්ගය, ඵලය, නිර්වාණය, ප්‍රහීණ ⁣කළ කෙලෙස් වශයෙන් රහතන් වහන්සේලාට ද, සෝවාන් ඵලයේ පටන් වූ අසේඛ උතුමන්ට ශේෂ ව ඇති කෙලෙස් වශයෙන් ද ප්‍රත්‍යාවේක්ෂා චිත්ත විථි පහළ වෙත්.


එහි මාර්ග චිත්ත වීථී මූලික ව හතරකි.. ඒ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් වශයෙනි.


මන්ද ප්‍රාඥ, තික්ඛ ප්‍රාඥ වශයෙන් දෙගුණයක් වේ.. එවිට 08කි.. (මෙහි මන්ද ප්‍රාඥයාට පරිකර්ම ජවනය ඇති අතර ඵල සිත් දෙවරක් උපදි.. තික්ඛ ප්‍රාඥයාට පරිකර්ම ජවනය නැති අතර ඵල සිත තුන්වරක් උපදි ).


එම සිත් අට ධ්‍යාන භේදයෙන් 05න් වැඩි වී සියලු ආකාරයෙන් මාර්ග වීථි 40ක් බවට පත්වේ..එවිට සංක්ෂිප්ත ව මෙහි සද්ධානුසාරී සහ ධම්මානුසාරී යනුවෙන් #මාර්ගස්ථ උතුමන් වහන්සේ ද, කායසක්ඛි, දිටටඨප්පත්ත, සද්ධාවිමුත්ත නම්වලින් අරහත් නොවූ සෙසු මග ඵල ලාභී උතුමන් ද, උභතෝභාගවිමුත්ත සහ පඤ්ඤාවිමුත්ත යනුවෙන් රහත් උතුමන් වහන්සේද හඳුන්වනු ලැබෙයි.


මෙහි සද්දානුසාරී, ධම්මානුසාරී යන මාර්ග අවස්ථාවට පත් උතුමන් වහන්සේ ඵලයට පත් නො වී කලුරිය නො කරත්.. ඔවුහු අමරණීය පුද්ගලයෝ ය. ©චක්ඛු සූත්‍රය ස.නිකාය -3


එහි අටුවාව "අයඤ්ච පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අස්ස, කප්පස්ස ච උඩ්ඩය්හනවෙලා අස්ස, නෙව තාව කප්පො උඩ්ඩය්හෙය්‍ය, යාවායං පුග්ගලො න සොතාපත්තිඵලං සච්ඡිකරොති, අයං වුච්චති පුග්ගලො ඨිතකප්පී”ති යැයි #මෙම_උතුමන්_වහන්සේලා මාර්ග අවස්ථාවේ සිටිය දී ඵල අවස්ථාවට පත්වන තුරු කල්ප විනාශය ද නවතන බව සිහිපත් කර ඇත.


(නැවත නැවත කියවා ධාරණය කරගනිත්වා)


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

bottom of page