top of page

ශාසනය තව කොතෙක් කළක් පවතී ද?


ශාසණයේ ආයුෂය පිළිබඳව නොයෙක් තැන් වල කතිකාවත් දක්නට ලැබේ. ඒවා පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම ධර්ම රුචියන්ට පිටුවහලක් වේවි යැයි සිතා ඒ ගැන කරුණු ටිකක් දක්වන්නට කල්පනා කළෙමි.


අද විශේෂ දවසකි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ 2564ක් සම්පූර්ණ වන දිනය බැවිනි. අද වැන් දිනක තවත් කොතෙක් කළක් මේ සසුනට ආයුෂ පවතී ද, කෙතෙක් මාර්ගඵල ලැබිය හැකි ද යන්න දැනගැනීමට කවුරුත් රුචි වනු ඇත. එනිසා ඒ ගැන සියලු විස්තරය ලියන්නට සිතුවෙමි.


සමන්තපාසාදිකා අටුවාව කියන පරිදි ඛන්ධ භාණකයන් විසින් මේ සසුන් ආයුෂය වර්ෂ 5000ක් කල් පවතින බව කියා ඇතැයි දක්වා ඇත. ඒ ද පටිසම්භිදාප්‍රාප්තයන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ 1000ක් ද, ශුෂ්ක විදර්ශකයන්ගේ වශයෙන් වර්ෂ 1000ක් ද, අනාගාමීන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ 1000ක් ද, සකදාගාමීන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ 1000ක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ 1000ක් ද වශයෙන් එය පවතින බවට ය.


මෙහි තවත් වෙනම මතයක් ද අටුවාවේම දක්නට ඇත. ඒ දීඝ භාණකයන්ගේ මතය ය. ඒ ආකාරයෙන් කී කළ පටිසම්භිදාප්‍රාප්ත වශයෙන් වර්ෂ 1000ක් ද, අභිඥාප්‍රාප්පතයන්ගේ වශයෙන් වර්ෂ 1000ක් ද, ත්‍රිවිද්‍යාප්‍රාප්තයන්ගේ වශයෙන් වර්ෂ 1000ක් ද, ශුෂ්ක විදර්ෂකයන්ගේ වශයෙන් වර්ෂ 1000ක් ද, ප්‍රාතිමෝක්ෂයාගේ වශයෙන් වර්ෂ 1000ක් ද වශයෙනි. එය ද දක්වා ඇත්තේ සමන්තපාසාදිකාවේම ය.


මේ ශාසණායුෂය ගැන සඳහනක් එන තවත් විශේෂ තැනක් ඇත. ඒ ඵුස්ස තෙරුන් වහන්සේගේ ථෙරගාථාවේ අටුවාවේ ය. එහිදී එක්තරා තවුසෙකු විසින් එම තෙරුන් වහන්සේගෙන් “මේ ශාසණ ප්‍රතිපත්තිය කොතෙක් කල් පවතීදැ” යි විමසන ලදි.


එයට පිළිතුරු වශයෙන් “කෝධනා උපනාහී ච - මක්ඛී ථම්හී සඨා බහු, ඉස්සුකි නානා වාදා ච - භවිස්සන්ති අනාගතේ” වශයෙන් ශාසණ පරිහානියට අනාගතයේ උදාවන උපද්‍රව රාශියක් පෙන්වන ලදී. ඒ කළ වන විට මෙය නැති වේ එයින් දක්වා ඇත. මේවා අද සමාජයේ එකක්වත් අඩු නැතිව දක්නට ඇත. එවැනි උපද්‍රව සහිත ලෝක තත්වයකදී සියුම් වූ ලෝකෝත්තර ධර්ම අවබෝධ කිරීම යනු කිරීමට ඉතා දුෂ්කර කාරණාවක් බව දත යුතු ය.


එම අටුවාවේ විස්තරයට අනුව ශාසණය පවත්නා කාලය යුග පහකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේ ය.


01. විමුක්ති යුගය,

02. සමාධි යුගය,

03. සීල යුගය,

04. සුත යුගය,

05. දාන යුගය


යනුවෙනි. ඒ අනුව වර්ග කළහොත් මේ ගෙවී යන්නේ සීල යුගයෙනුත් අඩක් පිරිහුණු කාලයකි. ලෝකය දෙස බලන කළ මෙය හුදු ප්‍රලාපයක් සේ බැහැර කිරීමටත් නො හැකි බව ඔබටම පෙනී යනු ඇත.


මේ සියල්ල මෙසේ දැක්වූව ද තවත් විමසිය යුත්තක් ද ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සම්බන්ධවයි.


කාන්තා පැවිද්ද ලබාදෙන අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ට පැවිද්ද දීමෙන් වර්ෂ 500ක් පමණක් ශාසණය පවතින බව හඟවා දේශණා කළ දේශනා පාඨය ය.


නමුත් එය අෂ්ඨගරුධර්ම පැණවීම නිසා නැවත වර්ෂ 1000ක් ම පවතින බවට අටුවාව විස්තර කර කියා ඇත. එවිට වසර 5000ක කථාව කොහින් එත් දැයි විමසිය යුත්තක් ය. අටුවා විස්තර ගෙන බැලූ කල එම දේශණා පාඨයේ සඳහන් 'සද්ධම්ම' යන වචනය සිවුපිළිසිඹියා සහිත තත්වයන් වලට දැක්වූවක් බව දක්නට ඇත.


එය එසේ වූවත් සංයුත්තට්ඨකථාවේ එන එක් පාඨයකින් “ප්‍රථම බෝධි සමයේදී භික්ෂුන් වහන්සේලා පටිසම්භිදාප්‍රාප්තයෝ වූහ. ඉන් පසු ෂඞ් අභිඤ්ඤා ලාභී වූහ. පසුව එය ද නොහැකි වූයේ ත්‍රිවිධ්‍යා ලාභි වූහ. දැන් මේ කාලය වන විට ත්‍රිවිද්‍යාවට පැමිණෙන්නට නොහැක්කේ ආශ්‍රව ක්‍ෂය කිරීම් මාත්‍රයට පමණක් පැමිණෙත්” වශයෙන් අනාගත කාලයෙන් අනාගාමී, සකදාගාමී, සෝවාන් ඵලයට පැමිණෙත් ය, ඉන් පසුව ද විදර්ශණා මාත්‍රයෙන්ම පමණක් තිබේ ය" වශයෙන් දක්වා ඇත.


මේ අනුව එම අටුවාව ලියවෙන කාලයේම වූවත් ශුෂ්ක විදර්ශක උතුමන් වහන්සේලා පමණක් ඉතිරිව ඇති බවක් හැඟෙයි. එය ද ගෙවීමට ආසන්නව තිබී ඇති බවක් ද හැඟෙයි.


එවිට බුදුගොස් හිමියන් වැඩ සිටින කාලය දෙස බැලූවත් උන්වහන්සේ ද වැඩ සිට ඇත්තේ බුද්ධ වර්ෂ 1000ක් වීමටත් කලින් නම්, එකළ වන විටත් මේ රහතන් වහන්සේලාගේ තත්වය ලොව පැවති ආකාරය යැයි සිතන්නට හැකියාවක් ඇත. නමුත් විමතිවිනෝදනියට අනුව බුදුගොස් හිමියන් විසින් සිදු කර ඇත්තේ ද අටුවා පෙල බසට නැගීම පමණක් නිසා මේ තත්වය ද තිබී ඇත්තේ ඊටත් බොහෝ කාලයකට පෙර බව එයින් හැඟෙනවා නොවේදැයි කවුරුත් විසින් සිතිය යුත්තක් ය.


බුදු ගොස් හිමියන් ලක්දිවට වැඩම කිරීමටත් පෙර ෆාහියන් නැමැති දේශ සංචාරක චීන භික්ෂූන් වහන්සේ ලක්දිවට පැමිණ ඇති බව දක්නට ඇත. ඒ ක්‍රි.ව 399දී පමණ ය. එය බුද්ධ වර්ෂ වලින් කී කළ බුද්ධ වර්ෂ 942දී පමණ විය යුතු ය. එතුමන්ගේ කථාවේ දී රහත් යැයි ජන කථාවෙන් ඇසුණු තෙරුන් වහන්සේ නමකගේ ආදාහනයක් දැක ඇති බවට වාර්ථා කර ඇත. එය ද ජන කථාවෙන් ඇසූවක් ය.


ඉතිහාසය දෙස බැලීමේ දී වූව ද රහතන් වහන්සේ නමක් ගැන අවසන් වරට දක්නට ලැබෙන්නේ දෙවන උපතිස්ස රජුගේ කාලයේ දී ය. ඒ බුද්ධදාස රජුගේ පුතෙක් වන උපතිස්ස රජු විසින් අත්තනගලු වෙහෙර වසන ස්ථවිරයන් වහන්සේ නමක් මහ පොළව කම්පා කරගෙන රහත් වූ බව අසා එතැන පහයක් සිදු කරවාලු බවට ය. එය සුලුරාජාවලියේ සඳහන්ව ඇත්තකි.


ධාතුසේන රජුගේ කාලයේ දී සිටි අනාගාමී උතුමන් වහන්සේ නමක් ගැන ද සඳහනක් වෙයි.


මේ සියල්ල විමසා බලන විට මෙකල වන විට ආයුෂයෙන්, ගුණ ධර්මවලින් පමණක් නොව, නුවණින් ද පිරිහීමකට ලක්ව ඇති සමාජයේ කෙලෙස් දුරු කිරීමක් ගැන සිතන්නට වන්නේ ඉතාම ආයාසයෙනි. එතැන නැතැයිම යැයි කියන්නට තරම් අප සාහසික නොවන්නේ තවත් බුදු වදනක් සලකා ගෙන ය. ඒ සුභද්දට කී “ මාගේ සසුනෙහි මහණහු මනාව වෙසෙත් නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය” යන බුදු වදනට ගරු තැන තබා ය. ඒ අනුව යම් තැනක පරියප්තිය ඇත්නම් එතන ප්‍රතිපත්තිය ද ඇත. ප්‍රතිපත්තිය ඇත්නම් එතැන පටිවේධය ද ඇති බව ද දත යුතු ය.


අද වන විට පරියප්ති ශාසණය සංගායනාවන් සිදු කළ මහ තෙරුන් වහන්සේලාට පින්සිදු වන්නට පිරිසිදුව අපට ලැබී ඇත. මුග්ධයන් පිරිසක් පමණක් එය නො තකා කටයුතු කරනමුත් පිළිවෙත් පුරන්නෙක්ට සුදුසු පරියප්ති සසුන තවමත් ලොව ඇති බව කිව යුතු ම ය. නමුත් මෙහි දී තවත් අටුවා පාඨයක් දැක්විය යුතු ය. ඒ සංයුත්ත නිකායට්ඨකථාවේ ඇති අටුවා පාඨයකි. ඒ මෙසේ ය.


“යදා සෝතාපත්තිඵලස්සපි අනුච්ඡකං පටිපදං පුරෙතුං අසක්කොන්තො සීලපාරිසුද්ධමත්තේව ඨස්සන්ති. තදා පටිපත්ති සද්ධම්මො අන්තරහිතො නාම භවිස්සති”


මේ පාඨයෙන් දැක්වෙන පරිදි යම් දිනක සීල පාරිශුද්ධිය පැවතුණද සෝවාන් ඵලය දක්වා පිළිවෙත් පුරන්නට නො හැකි නම් එදිනට ප්‍රතිපත්ති ශාසණය අතුරදන් වූවාම වෙතැයි යන්න ය. මෙය මිළිඳු නාගසේන ප්‍රශ්⁣ණයේද දක්වා ඇති කරුණකි.


එසේ නම් එයින් ගත යුත්තක් ඇත. යම් තැනක පරියප්තිය තිබූ පමණින්ම ප්‍රතිපත්තිය තිබුණේ ය යැයි කිව නොහැක. එයට බලපාන කුමක් හෝ වෙන කරුණක් ද තිබිය යුතු ය. ඒ කුමක් ද ? සසර පුරන ලද පාරමී ය. කර ගත් කුසල ධර්මයෝ ය. වඩා ඇති ඉන්ද්‍රීය, බල ධර්මයෝ ය.


ඵලය වනාහී එක් හේතුවකින් හට ගන්නක් නොවේ. බීජයක් හිටවපු පමණින් එය පැළ නොවන්නාක් මෙන් පරියපත්තිය තිබූ පමණින්ම මාර්ග ඵල ඇතැයි ද නොසිතිය යුතු ය. නැති නම් කිසිදනක භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණ කාලයක් පමණක් පවතීය යන විනිශ්චයක් සසුන් ආයුෂයට දෙන්නේ නැත. අටුවාව එයට දින නියමයක් දෙන්නේ නැත.


මාර්ග ඵල සෑම කළකම නො ලැබිය හැක්කක් බව මෙයින් මට පුද්ගලිකව හැඟී ඇත. මෙකල වන විට එය ඉතාම දුර්ලභ කරුණක් බවත් සිහි කළ යුතුම ය. නමුත් මෙකල ද ධ්‍යාන ලාභීන්, මග ඵල ලැබූ උතුමන් නැතිව ද නොවේ. කාලයක් යන විට කෙතරම් ප්‍රතිපත්ති පිරූවද පටිවේධය නොවන බවක් ද එහි ඇති බව පමණක් දත යුතු ය.


එය එසේ වනවා නම් බුදු වීම, පසේ බුදු වීම වැනි දෑ වූව ද පාරමී නො පුරාම ලබා ගත හැකි වනු ඇත. එයට බලපාන තවත් හේතු තිබිය යුතු ය. කාලයකදි එවැනි දෑ.අවබෝධ කර ගත නො හැකි, එයට චිත්ත ශක්තියක් නැති අය ම මෙලොවට බිහි වනවා විය යුතු ය.


මාර්ග ඵල නිසැකවම ලැබෙන්නේ පශ්චිමභවිකයාට පමණි. ඔහු ස්ථීර වශයෙන්ම ඒ අත්භවයේ දී මාර්ග ඵල ලබන්නේ ය. මාර්ගඵල ලැබිය හැකි තවත් කෙනෙක් ඇත. ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයා ය. ඔහු නිසැකවම මාර්ගඵල ලැබිය යුතුම ය යන නියමයක් නැත. උත්සහය හේතු වී එය ලැබෙන්නට ඇවැසි සියලු හේතු සම්පාදනය වී ඇත්නම් එය ලැබෙනවා ඇත.


සියල්ල සලකා බලන කල ආ හැකි අවසන් විනිශ්චයක් ද මා සතුව ඇත. නමුත් එය ඔබටම සිතාගැනීමට ඉඩ තබමි. නැතිනම් ඒවා අපේ පින්වතුන්ගේ කෝපයට හේතු වනු ඇති බැවිනි.


මිළිඳු රජට දුන් පිළිතුරක් සැලකීමේ දී ද එහි කියා ඇත්තේ ධාතුන් වහන්සේලා පමණක් වසර 5000ක් කල් පවතින බව ය.. එකළ වන විට ක්‍රමයෙන් සත්වයා නුවණින්, ශ්‍රද්ධාවෙන් බැහැර වනු ඇති බව එහිම කියා ඇත.


මේ සියල්ල අප කාරණා විමසා බලා ලැබුණු කරුණු ය. අත්තනෝමත හිතලු කිසිවක් ලියා නැත. මේවාගේ වරදක් ඇතොත් කරුණාවෙන් පෙන්වා දෙන සේක්වා. ඒ වැරදි අප විසින් නිවැරදි කර ගනිමි.


මේ කථාවෙන් අනතුරුව කිසිවෙක් තමන්ගේ වීර්‍යය ලිහිල් නො කරගත යුතු ය. ඒ උත්සහයෙන්ම නිර්වාණය කිසිදාක හෝ සාක්ෂාත් වනු ඇති බැවිනි.


බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වසර 236ක් ගත වන විටත් ශාසණයේ 60,000ක් භික්ෂූ වේෂයෙන් පෙනි සිටි අයව සුදු වත් හඳවා ගෙදර යවා ඇත. උපෝසථ කර්මය පවා නවතින තැනට කටයුතු යෙදී ඇත. 2564ක් ගෙවුණු තැනක කවර කථාවක් ද ?


නමුත් සංගායනා කළ මහා තෙරවරුන් නිසා අදටත් ලැබී ඇති පරියප්ති සසුනෙහි නිසි ඵල නෙලා ගන්නට වෙර දැරුවෙක්ට සසර දුක කෙළවර කරන දිනය වැඩි ඈතක නොවන බව දත යුතු ය.


මේ සියල්ල සලකා දැනටමත් ඔබ කොතරම් ප්‍රමාදදැයි සිතා මේ උතුම් වෙසක් පෝ දින සසුන් දුර්ලභ බව වටහාගෙන පිළිවෙතින් පෙළගැසෙන්නට අධිෂ්ඨාන කර ගත යුතු ය.


සසුන් ලැදි,

කිරුළපන ධම්මවිජය හිමි,

බුද්ධ වර්ෂ 2564ක් සම්පූර්ණ වන දින දී ය.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

bottom of page