top of page

එංගලන්තය, ශීත කබා සහ අල්පේච්ඡකම..

මේ දිනවල මා වැඩ සිටින්නේ එංගලන්තයේ බව ඔබ සියලු දන්නා බව මම දනිමි.


මේ කාලය එංගලන්තයේ සීත කාලය ආරම්භ වන කාලය බැවින් අධික සීතලක් ශරීරයට දැනෙන කාලයකි.


මේ දිනවල මා මුහුණු පොතට විවිධ පින්තූර එකතු කරන අතර, අවසානයට දැමූ ඡායාරූපයක වැටෙන කමෙන්ට් කිහිපයක් දැක මේ කෙටි දැනුවත් කිරීම කරන්නට කල්පනා කළෙමි.


එහි මා ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සමඟ එකට සිටින පින්තූරයක් උඩුගත කරනු ලැබූ අතර එම ඡායාරූපයේ සියලු ස්වාමීන් වහන්සේලා පා අවරණය වන පරිදි මේස් සහ සපත්තු පැලඳ, ශීත කබා පාවිච්චි කොට ඇත. මා පමණක් සිවුර සහ පාවහන් පමණක් පැළඳ සිටිමි.


ඒ පින්තූරය දැමීමට පළමුව මම මේ ගැන කල්පනා කළ ද ඔබට මේ කරුණත් කියා දීමට මෙය මාතෘකාවක් විය හැකි බැවින් මම ඒ පින්තූරය ද මුහුණු පොතට යොමු කළෙමි.


ඒ අවස්ථාවේ දී මා පාවහන් පමණක් ගෙන යෑමට කල්පනා කරේ මාගේ ගමන් මාර්ගයේ දී අධික ශිතලක් මට යොමු වීමට තිබූ අවස්ථාව අඩු බව දැනගෙන ය. සවස් වරුවේ තරමක් අධික ශීතලක් දැණුනත් එය මට දරාගැනීමට හැකි පමණේ ශිතලක් විය. වැඩිපුර ශීත දැණුනු තැන්වල මම උපේක්ෂා සහගත වීමි.


නමුත් වසර ගණන් මෙහෙ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට පාවහන් හෝ මේස් වැනි පා ආවරණයක් නො මැතිව එංගලන්තය වැනි රටක වැඩ සිටීම ඉතා ඉක්මණින් අසනීප සහ මරණය ලඟා කරන කරුණක් වන්නේ ය. විශේෂයෙන්ම කන් දෙක සහ කකුල් සීතල වීම මෙවැන් රටක දී වළක්වා ගත යුතු ය. නැතිනම් පැමිණි ධර්ම චාරිකාව වත් සාර්ථකව අවසන් කළ නො හැකි වනු ඇත.


සති තුනක වැනි කාලයකට එය එතරම් බලපෑමක් නො කළත්, දීර්ඝ කාලයක් වැඩ සිටින විට එවැන් ආවරණයක් නැතිව සිටීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. ඔබටත් දිනයක එය උත්සහ කර බැලීමට මා ලෙන්ගතු ආරාධනයක් කරමි.


මම ද ඇතැම් අවස්ථා වල අවශ්‍ය වන විට මෙවැන් ශීත කබා සහ මේස් පාවහන් ​මෙවැනි රටවල දී භාවිතා කරමි.


නමුත් මා ඒවා​ගේ පින්තූර නිකරුණේ දැමීමෙන් වැළකී සිටීමට සෑම විටක දී ම උත්සහ කරමි.


එනිසා "අනේ අපේ ස්වාමීන් වහන්සේ ගේ දරා ගැනීම" සහ 'අල්පේච්ඡකම' වැනි ප්‍රාථමික මිමි වලට නො වැටී ප්‍රඥාව සමග මුහු වීම බෞද්ධයාට තරම් වනු ඇති බව මාගේ විශ්වාසය වේ.


අල්පේච්ඡකම යනු අඩුවෙන් බඩු භාවිතා කිරීමක් ගැන කී කියමනක් නොවෙන අතර එය අවශ්‍යතාවය අනුව අවම මට්ටමේ භාණ්ඩ භාවිතය ගැන මෙන් ම ලද දෙයින් සතුටු වීම ගැන කියූ කියමනක් බව බුදුදහම දන්නා කවුරුත් දන්නා බව මම සිතමි.


මා මීට පෙර මාස දෙකක් මෙහි විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර, එම විද්‍යාලයට ඇතුලත් වීමට පාවහන් මේස් සහිතව පැළඳීම එහි නීතියක් විය. එහි නීතියට අනුවර්තනය වීමට මට සිදු වුණු අතර, ඒ කිසිදු පින්තූරයක් යොමු නොකර සිටීමට මම මගේ පුද්ගලික කැමැත්ත මත කල්පනා කළෙමි.


භික්ෂුව ගේ ශීත කබායක් දෙස බලා වූවත් දොස් දකින්නට පුරුදු වී සිටින ශ්‍රාවක පිරිසක් අපට නො සිටිය යුතු බව මගේ හැඟීමයි.


එය විනය පිටකයට අනුව කෙසේ ද යන්නට මම නුදුරේ දී පිළිතුරක් ලබා දෙන්නට කල්පනා කරමි.


අද රාත්‍රියේ මම ස්විස්ටර්ලන්තය බලා පිටත් වෙමි. එහි ශීතල තවත් දරා ගැනීමට දුෂ්කර එකක් වනු ඇත.


නමුත් එවැන් අවස්ථා වල පින්තූර ගැනීමේ දී පරිස්සමත්, අප​ ගේ ශ්‍රාවකයන්ට මුහු වීමේදී සුපුරුදු චීවර පාරුපනයෙන් ඔවුන්ට මුහු වීමටත් මම හැකි සෑම අවස්ථාවක දී ම කල්පනා කරමි.


එය කපටිකමකට නොව‍, අකමැතිකමකට ය.


ශීත කාලය මගහැර මේ වැනි ගමනක් එන්නට හැකි නම් එය වඩාත් සුදුසු නමුත්‍, කාලය ආත්මව පවතින එකක් නො වන බැවින් එය අප ගේ වසඟයට ගත නො හැකි ය.


අධික ශිතලෙන් මඩනා ලද්දහු ගේ ජීවිතය විපතට පත්වන බව සුද්දික සූත්‍ර අටුවාවේ විස්තර කොට ඇත. සත්තුභස්ත ජාතකයේ ද දක්වා ඇත.


මේවා ප්‍රඥාවෙන් වටහා ගත යුතු දේවල් බව මාගේ කියවීමයි.


ඔබ ගේ අදහස මීට වෙනස් එකක් නම් ඔබට මේ ලිපියේ අදහස් දක්වන්නට අවකාශ ඇත්තේ ය.


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 12.11.2024

bottom of page