top of page

නම් කියලා ඉවර කරන්න බැරි වගේ ම කිසිම දාක මට කියලා නමක් ලියවගන්න බලන් නැති මගේ ලඟින් ම ඉන්න හැමෝටමත් බොහොම පින්..

අපේ මිනිස්සුන්ට පින් අනුමෝදන් කර කර ඉන්න ගියොත් මට ඇත්තටම වෙන වෙලාවක් හම්බවෙන්නෙම නැති තරම්.. ඒ තරම් මිනිස්සු හරි ම කරුණාවෙන් අපිට අවශ්‍ය දේවල් හොය හොය අපිට වැඩ කරන්න පහසු කරන්න උත්සහ කරනවා..


අදත් අපේ ආදරණීය සැදැහැති අම්මා කෙනෙක් වෙන ගයනා අම්මත්, කුෂාන් තාත්තත් දූ දරුවොත් එකතු වෙලා, මෙච්චර කාලයක් ශබ්දාගාරයට අවශ්‍ය කරලා තිබ්බ වායුසමීකරණ යන්ත්‍රයක් පූජා කරා. ඇත්තටම අපි ඒවා බලාපොරොත්තු වෙන්නෙම නැති තරම්.


මෙච්චර කාලයක් Fan එකක් දාගෙන මගේ වැඩේ කරගත්තේ ඒ නිසා. හැබැයි සජීවි පටිගත කිරීමක් කරනකොට, Fan එකේ ශබ්දය නිසා, ඒක වහගෙන කරන්න උත්සහ කරනවා. එතකොට දහදිය දාන්න පටන් ගන්නවා. ඉතින් මේ AC එකක් ගන්න බැරිව නෙවෙයි, එහෙම අවශ්‍යතාවයක් පැන නගින්නෙ නැති නිසාම ඕවා පස්සෙන් පන්නන එක පැත්තකට දාලා නිකම් ඉන්නවා.


හැබැයි අනේ කවුරුහරි ඒක දැක්කාම, හිතලා බලලා ඒ දේවල් අපිට පූජා කරලා අත පිහිදගන්නේ හරිම උපේක්ෂාවෙන්. අදටත් මම ප්‍රධාන පටිගත කිරීම් කරන තැන වායු සමීකරණ යන්ත්‍රය පූජා කරපු අයියාව දැකලාවත් නැහැ. නම චතුරංග කියලා අහලා තියෙනවා. වචනයක් කතා කරලා නැහැ. හැබැයි ඒක පූජා කරලා, හරියටම දිනේ ට තාමත් එය නඩත්තු කරන්න පිරිසක් ඔහු එවන්නේ හරිම මධ්‍යස්ථ සිතකින්.


මේ හැමදේම කරන අයට පින් දිදි ඉන්න මට වෙලාවක් නැහැ කියලා කියන්නෙ මම තව ගොඩක් වැඩ කරමින් ඉන්න නිසා.


මේ ලිපිය ලියන්නෙත් අනිත් Monitor එක ට බණක් Edit කරන්න දාගෙන. මොකද මගේ හිතට දැනෙන ටික මට දැන් ලියාගන්නත් ඕන නිසා. ඒක සංස්කරණය කරලා ඉවරවෙලා අද රෑ මාතලේ රෑ තියෙන බණ එකට වඩින්න පිටත් වෙන්න ඕන. එනිසයි කිව්වේ මට මේවාට පින් දිදි ඉන්න වෙලාවක් ලැබෙන්නෙ හරිම අඩුවෙන් කියලා. දෙන ඒවාට පින් දෙන්න වෙන ම පඩියක් දීලා කෙනෙක් අරන් තියාගන්න බැරි නිසා, හිතට දැනෙන මේ වගේ වෙලාවක ඒ ගැන ලියලා මමත් හිත නිදහස් කරගන්නවා.


දීපු අයට පින් දෙන්න ගියොත් කෙලවරක් දකින්න මට හම්බෙන එකක් නැහැ.


ගයාන් අයියා, ලක්මාලි අක්කා, තරංගා අක්කා, සංජීව අයියා, යසස් අම්මා, නයනි අක්කා, ටිරාශා අක්කා, චන්දන අයියා, ප්‍රදීප් අයියා, කසුනි අක්කා, සුරාජ් අයියා, කපිල තාත්තා, චමල්කා අම්මා, අමල් අයියා, මන්චි අයියා, විශ්ව අයියා, තිසරි අක්කා, හසාන් අයියා, සමන්තා අම්මා‍, රජිත අයියා‍, රසික අයියා වගේ මේ වෙලාවේ මගේ ලඟින් ම ඉන්න අය වගේ ම එදා මට බස් එකට ටිකට් එක කඩලා දුන්න මගේ ලොකු ස්වාමීන් වහන්සේ ගේ ඉඳන් සුජාත පුත්‍ර භූමියේ කුටි පූජා කරපු, ඉදිකරන්න දායක වෙච්ච, බණ කියන්න, බණ හදන්න අවශ්‍ය හැම දේ ම පූජා කරපු, මගේ ස්වාමීන් වහන්සේලා ව අදටත් බලාගන්න, අපිට පැන් පොදක් හරි දෙන මෙකී නොකී #හැමෝමවත්‍, පොඩි අක්කා වගේ ම පුංචි අක්කවත්, අම්මවත්, ලොකු අක්කවත්‍, මට අදටත් එදා වගේ ම සෙනෙහසින්‍, ගෞරවයෙන් රැකවරණ සලසන කඩවත අම්මත්, තාත්තත්, තිලංක මල්ලිත් වගේ ම නම් කියලා ඉවර කරන්න බැරි වගේ ම කිසිම දාක මට කියලා නමක් ලියවගන්න බලන් නැති මගේ ලඟින් ම ඉන්න හැමෝටමත් බොහොම පින්..


මට ඔබට කියන්න තියෙන්නෙ එච්චරයි.


මම ඔබට පින් දිදි ඉන්න වෙලාව ගන්නෙ නැතිව, ඔබ මගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න කාලය නිදහසේ ගන්නම්. මට ඒකට ඉඩ දෙන්න..


ඔබට ලැබෙන මගේ පුණ්‍යානුමෝදනා ලියුමට වඩා ඒක නිසැකයෙන් ම වඩාත් ඵලදායී මෙන් ම සුඛදායී වේවි.


එය එලෙසම වේවා යි පතමින් නවතින්නම්.


මම ඔබේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ..


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 20.09.2024

bottom of page