top of page

අද මගේ ජීවිතයේ සදහටම අමතක නො වන දවසකි..

අද මගේ ජීවිතයේ සදහටම අමතක නො වන දවසකි.


දින දෙකකට පමණ පෙර එනම් අගෝස්තු 24 වන දින මා විසින් උතුම් දළදා වහන්සේ සහිත කරඬුන් වහන්සේ වන්දනා කර ගතිමි.


එනමුත් නැවත දළදා වහන්සේ වැඳ ගැනීමට මා තුල වූ නො සන්සිඳුනු කැමැත්ත නිසා‍, ඊයේ දින (අගෝ 26) කොපමණ වෙහෙස දවසක් වූවත්‍, මා නැවත අද දින පාන්දර ම අවදිව දිය නො මුසු කිරි ආහාර පාත්‍ර කිහිපයක් මී පැණි සහිත ව සකස් කොට ගෙන‍, පාන්දර ම පිටත් ව දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට ගිය අතර‍, අද දින ද දළදා වහන්සේ සහිත කරඬුන් වහන්සේ සියැසින් දැක බලා වන්දනා කර ගැනීමේ අසාමාන්‍ය භාග්‍යය මට නැවත හිමි විය.


මීට පෙර ද දෙවතාවක් මා විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සහිත කරඬුන් වහන්සේ අභියසට ගොස් වන්දනා කිරීමට භාග්‍යවන්ත වූවත්‍, ඒ සෑම දිනකම කරඬුන් වහන්සේ දෙස බලා වන්දනා කිරීමට ලැබූ වේලාව ඇසි පිල්ලමක් වදිනවාට වඩා නම් අඩු විය.


බැතිමතුන් විශාල පිරිසක් දළදා වහන්සේ සහිත කරඬුව අභියසට පැමිණ වන්දනා කිරීමට උත්සහ කරන බැවින් එයට ඊට වඩා කාලයක් වෙන් කර දීම අපහසු බව මා හොඳාකාරව ම දනිමි.


නමුත් අද දින නැවත මට දළදා වහන්සේ සහිත කරඬුව සමීපව දැක බලා වන්දනා කර ගැනීමේ පුදුමාකාර අවස්ථාවක් ලැබුණි.


මාගේ හිතවත් කළ්‍යාණ මිත්‍ර හිමිනමක් වන අප ගේ නෙල්ලිගල නායක ස්වාමින් වහන්සේ වන‍, අවසරයි‍ වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ විසින් කාරුණිකව මට එයට මඟ පෙන් වූ අතර දන්ත ධාතුන් වහන්සේ සහිත සුවඳ කුටියේ සිතැඟි පරිදි වැඩ හිඳිමින් දළදා හාමුදුරුවන් වහන්සේ සහිත කරඬුව සමීපව දැක බලාගනිමින් පසඟ පිහිටුවමින් වන්දනා කිරීමට උන්වහන්සේ විසින් මා වෙත කරුණාවෙන් කටයුතු සංවිධානය කරන ලදුව අවකාශ ලබා දුන්නේය.


මෙම ඇදහිය නොහැකි අවස්ථාව සඳහා ඔබ වහන්සේ කෙරෙහි මම කොතරම් ස්තුතිවන්ත වෙනවා ද යන්න වචන වලින් මා හට ප්‍රකාශ කළ නො හැක.


මගේ සිත තවමත් සැදැහැ සිතින් සහ උද්යෝගයෙන් පිරී ඇති අතර, ඒ සියල්ල යතාර්ථයක් කරවීම ගැන මට ඔබ වහන්සේට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නො හැක.


මේ මොහොත ජීවිත කාලය පුරාම මා සමඟ පවතිනු ඇති අතර එවැනි වටිනා සහ අමතක නො වන දවසක් සඳහා මගේ හදවතේ අවකාශ වෙන් කර දුන් ඔබ වහන්සේට මම කෘතගුණ පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි. 🙏✨


එය සැබවින් ම මට කිසිදා අමතක නොවන ගැඹුරු සහ අප්‍රමාණ සිත් පිරීමක් ඇති කළ අවස්ථාවක් විය.


සෑම විටම ත්‍යාගශීලී සහ කාරුණික වූ ස්වාමින් වහන්සේ නමක් වූ මගේ දයාබර කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට නැවත මා ස්තූතිවන්ත සහ පුණ්‍යානුමෝදනා පූර්වක වන අතර, යම් දිනක මා මියැන තුරු මගේ මතකයේ මෙය ගැඹුරින් තැන්පත් ව පවතිනු ඇත.


මෙම පූජනීය අවකාශය මා සමඟ බෙදා ගැනීමට ඔබ වහන්සේ ගත් කාලය ගැන මම බෙහෙවින් කෘතඥ වන අතර ඔබගේ කාරුණිකත්වයට සහ මෙම අවස්ථාව සැබවින්ම විශේෂ කිරීම පිළිබඳ ව ඔබ වහන්සේට මම සොම්නස් සිතින් පින් අනුමෝදන් කරමි.


එමෙන් ම මාගේ පැමිණීම දැන එයට අවශ්‍ය සියලු ම ආකාරයේ පහසුකම් සම්පාදනය කළ නුවර සහ මාතලේ යන ප්‍රදේශයන් වලට අනුයුක්තව සේවයේ නියුතු DIG මහින්ද දිසානායක මහතා ගැන ද වචනයක් කිව යුතු ය.


සෑම දිනක ම උදෑසන දළදා වහන්සේ වන්දනා කොට පැයක පමණ කාලයක් භාවනාවේ නිරතව දවස ආරම්භ කරන‍, තෙරුවන් කෙරෙහි ගරු බුහුමන් ඇති ඔබ තුමා ගේ ඇසුර ද අපට කළ්‍යාණ මිතු සුව උපදවන සුවයකි.


නිදුක් නිරෝගී චිර ජීවනය ලැබ‍, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත් ලබත්වා..


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 26.08.2024

bottom of page