top of page

ඇයගේ සම්මුතියේ තවත් වසරක් පිරෙන උපන්දිනය.. ඇත්තටම අපේ පොඩි අක්කා කියන්නේ මම ලෝකේ දැකපු හයියම කාන්තාව කියලා කිව්වත් ඒ වචනෙට මදියක් නෑ.


මම ම ඇගෙන් ඉගෙන ගත්ත පාඩම් ඒ තරම්. අපේ තාත්තා ගාව තිබ්බ ලස්සන ගුණධර්ම‍ රැසක් අපේකම එක්ක අවංකව බැඳිලා තියෙන්නෙ ඇගේ ඒ ජීවිතය පහසු කරවන්න ම වෙන්න ඇති.


ඇය බොහෝම කටුක පාරක් දිගේ ජීවිතයේ පියමං කරපු කෙනෙක්. අදටත් ඈ තුල ඇති එක ම ශක්තිය අවංකකම‍, අපේ කම එක්ක බැඳිච්ච හරි අපූරු හයිය.


මම අපේ ස්වාමින් වහන්සේලාට‍, මෑණිවරුන්ට නිතර කියපු කාරණාවක් තමයි පුලුවන් නම් අපේ පොඩි අක්කා වගේ වෙන්න කියලා.


ඇය මුලු ගමට ම අසනීප වුණත් ගමටම සලකලා ගෙදර එන ජාතියේ අපූරු කෙනෙක්. වැඩ කන්දරාවක් එක්ක දුෂ්කර ජීවන රටාවක වුණත් හරි ලස්සනට හිනාවෙලා ජීවත් වෙන කෙනෙක්.


අපේ අම්මගේ වුණත් වැඩි ම ආදරයක් නො දැනුවත්ව ම හරි දිනාගන්න ඇය දක්ෂ වුණේ ඒ අහින්සක ගුණදර්ම නිසා වෙන්නැති.


අදටත් මගේ ස්වාමින් වහන්සේලා හැමෝගෙම දානේ එක උදේ දවල් හදලා දෙන්නෙ ඇගේ අතින්.


සෙනසුනේ බුද්ධ පූජාවට තියන දානේ ටික හදන්නේ ඇගේ අතින්. සෙනසුනේ ම ඉනින බලු පැටවු ටික බඩ පුරවගන්නෙ ඇගේ අතින් ඉවෙන කෑම වලින්..


අපි ඔක්කොගෙම අම්මා වගේ‍, අසනීපයක් අමාරුවක් හැදුනොත් හොඳ වෙනකම් ම පස්සෙන් වැටිලා‍, පෝයට හරි මිනිස්සු ආවොත් ගෙදර හරි තියා⁣ගෙන නිදි කරවලා‍, උයලා පිහලා දීලා යවලා ඇය හරී ම ලස්සන සතුටක් භුක්ති විඳිනවා දැක්කාම අපෙත් බඩ කට නිකම් ම පිරෙනවා.


හරි විවෘත‍, අවංක‍, සීමාවක් නැති හයියක් එක්ක ලොකු වෙච්ච අපේ පොඩි අක්කා‍, අපි පුංචි කාලේ ඉඳන් ම අපිට අම්මා වගේ ලඟ ඉඳලා‍, අදත් අපිව ශාසනිකව පෝෂනය කරන බොහෝම සැදැහැති උපාසිකාවක්.


කාගෙන් හරි රුපියලක් ඉල්ලගත්තත් ඒක ආයි දෙනකම් නින්ද නො යන ඇගේ අවංකකම අපිට කවදත් ආදර්ශයක්.


කෙටියෙන් ම කියනවානම්‍, ඇය කිසිසේත් ම පිටකවරෙන් මනින්න බැරි ගැඹුරු පොතක්..


ඉතින් පොඩි අක්කේ..


ඔබ උත්පත්තියේ පටන් ම මනුෂ්‍ය ගුණධර්ම වලින් උපරිම පොහොසත් අයෙක් නිසා‍, මා සතුව ඔබට දීමට එක ම ආශිර්වාදය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ම විතරයි.

එයින් සුවපත් ව සදා සැනසෙත්වා..


ඔබේ සියලු ම යහපත් පැතුම් ඉටුවෙන සුභ ම සුභ ජන්ම දිනයක් වේවා!


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 20.04.2024

bottom of page