top of page

#සබ්බං_පහාය_ගමනීයං..

ජැක්සන් ඇන්තනී යනු ලෝකයට බොහෝ දේවල් දායාද කරපු සොඳුරු මිනිසෙකි. ඒ බවට වාදයක් නැත. ඔහු ගේ පුතුන් දෙදෙනා සහ දියණිය ද එයට කදිම නිදසුනකි.


මෙකල මම පමණක් නොව, එකල අප ගේ මව්පියවරු ද මේ ශ්‍රේෂ්ඨ රංගධරයාගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බව මා සක් සුදක් සේ දනිමි.


පහුගිය වසර පුරා ම ඔහු මුළු මහත් රටට ම පාඩම් කියා දෙමින් සිටියේ ය. දැන් මොහොතකට පෙර දුටු ඔහු ගේ නිසල දේහය ද නැවත ජාතියට පාඩම් කියාදෙමින් වැතිර සිටියි.


Sajitha Akhila Madhavee පුතේ නුඹලාට නුඹලා ගේ අප්පච්චි ජීවිත කාලය තුළ කියාදුන් පාඩම් ප්‍රමාණය පොඩි නැත. නුඹ සියළු දෙනා ම සතුව ඇති පූර්ණ රංගන කෞශල්‍ය පසෙකින් තැබූවත්, මා පුද්ගලිකව ම නුඹලා ගේ ගුණ යහපත්කම් ද අප්පච්චිගෙන් ම ලත් දායාදයක් සේ ම සිතමි.


පසුගිය වසර පුරා ම දරා ගැනීම ගැන දරුණු පාඩමක් ඔබට කියාදුන් ඔහු, කැපකිරීම යන මාතෘකාව ද, හැඩ ගැසීම යන මාතෘකාව ද කියා දුන් බව වටහා ගැනීමට තව ටික කලක් ඔබට ගත විය හැකි ය.


අදත් ඔහු ඔබ සියළු දෙනාට ම කියා දෙන්නේ අතහැරීම ගැන ගැඹුරු පාඩමක් බව ද ඔබලාට අනාගතයේ දී වැටහෙනු ඇත.

මගේ ජීවිතයට ද ගැඹුරු ම පාඩම කියාදුන්නේ මගේ තාත්තා ය.


ඔහු එය මා පොඩි කල පටන් ම ආරම්භ කොට, මරණය දක්වා වූ ගැඹුරක ගිල්වා අවසන් කරනු ලැබී ය.


එයින් මා ලබා ගත් පන්නරය අද මා පමණක් නොව, අද ලෝකයම සුවපත් කරමින් ඇත.


නුඹලාටත් ලෙහෙසියෙන් නුඹලා ගේ අප්පච්චීව සොහොනෙහි දමා එන්නට හැකියාව මට මෙන් ම නො ලැබෙනු ඇත.


නමුත් යථාර්ථය එය ය. අප කවදාක හෝ සියල්ල හැර දා යා යුතු ම වන්නේ ය. එය වෙනස් කළ නො හැක.


නුඹලා ගේ අප්පච්ච් එය දැන සිටියේ ය. දැන් නුඹලා ගේ අවස්ථාව ය.


ගෙදර බුදුන් අම්මා යන ව්‍යවාහාරය නුඹලා ගේ අප්පච්චී විසින් අභියෝගයකට ලක් කොට ඇත. ඔහු අද ඔබට ඒ පණිවිඩය ප්‍රායෝගික ව දී තිබේ. ඒ නුඹේ බුදුන් තාත්තා බවට පත් වෙමින් ය.


ලෝකයා පහත් හඬ නැගුවාට අප්පච්චීට එයින් වන හානියක් නැත. ඔහු ගේ මෘදු මෙන් ම සොඳුරු හෘද සාක්ෂිය ඔහු ගේ විමුක්තියට මග පෙන්වනු ඇත.


මම ඔබ ගේ කළ්‍යාණ මිත්‍ර,


කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ.


#සබ්බං_පහාය_ගමනීයං


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 09.10.2023

bottom of page