top of page

දළදා මාළිගාව ද, නුවර ද මහත් පුදුමයක් ම වේ..

කෙනෙක්ට ඉතා කළාතුරකින් ලැබෙන දුර්ලභ ම අවස්ථාවක් වන දෙවියන් සහිත ලෝකයාට එක ම පිහිට වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ගේ පහස ලත් අඩසඳ සේ දිලෙන දළදා වහන්සේ ආසන්නයට ම ගොස් වැඳ ගැනීමේ භාග්‍යය අද දිනයේ උදා කර ගත්තෙමි..


දළදා වහන්සේ ද, දළදා මාළිගාව ද මහත් විශාල පුරාවෘත්තයකට හිමිකම් කියයි.


නුවර උපදින භාග්‍යවන්තයන් ද දළදා වහන්සේ සමග පවත්වන්නේ ඉත⁣ා ම සමීප ලෙන්ගතු කමකි. අදත් නුවර උපදින බහුතරයක් දරුවන් ගෙයින් එළියට පළමුව ගෙන යන්නේ දළදා හාමුදුරුවන්ට භාර කරන්න යන කථාව එයට කදිම උදාහරණයකි.


ඔවුන් තුළ ඇති සැදැහැ බව මෙන් ම ස්වාමීන් වහන්සේලා සමඟ ඇති ගෞරවාදර ලෙන්ගතු කම ද එයට කදිම සාක්ෂියකි.


රජතුමා අණ දීමට භාවිතා කළ පත්තිරිප්පුව වෙත ද වැඩම කොට බැලූ අතර, එයට පසෙකින් පෙනෙන මල්වතු විහාරය ද, නුවර දර්ශනය ද රජෙකුට ම තරම් වේ යැයි මම කිහිප විටක් සිතුවෙමි.


ඉබ්බෙක් දැක ඔහුට සිටීමට විලක් සෑදිය යුතු යැයි සිතා නිම කළ අපූරු විල ද පසෙකින් වැව් රාජයෙක් සේ පෙනෙන්නට තිබුණි.


මද්දුම බණ්ඩාරයන් ගේ ගෙල සිඳීමට දුන් අවසරය ද එක් ක්ෂණයකින් මට සිහිපත් විය. එයත් එම පත්තිරිප්පුවේ සිට ම ලබා දී ඇත්තකි.


දරුවන් ලැබෙන්නට සිටින මව්වරුන් ඇතුලු සිය දහස් ගණනක් මිනිසුන් සෑම බදාදාවක ම කරඬුන් වහන්සේ සෝදන පිරිසිදු කස්තුරි ආදිය ඇතුලත් පැන් පොදක් ලබාගන්නට අදත් නුවර පෝලිමේ සිටිති.


දළදා වහන්සේට පූජා කළ මල් ගෙන ගොස් කිරි දරුවන් ගේ කොට්ට වල තබා ගනිති.


දළදා මාළිගාව ද, නුවර ද මහත් පුදුමයක් ම වේ.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 27.10.2023

bottom of page