Sujatha Puthra Meditation Center
Your Membership ID
අදට අවුරුදු නවයක්..
සොහොනක් අස්සේ වැටිච්ච නො නවතින කඳුලු ගොන්නක් මැද්දේ ජීවිතය කල්පනා කරලා පස්කම් සැපය කට අගට ගත් කෙල පිඬක් වගේ බිමට අතහැරලා ඇවිත් මහණ වුණේ..
අදටත් හැම සංස්කාරයක් ගැනම අසංවේදීව බලන්න පුලුවන් කම තිබ්බත් තාත්තගේ මරණය ගැන කල්පනා කරන කොට, සුළියක් මැද්දෙ රුවලක් ගෙනියන නාවිකයෙක් වගේ ඒ හුළඟට ටිකක් මාත් මේක බදලා අල්ලගන්නවා..
මම ජීවිතේ බය වෙච්චම හැඟීම කිව්වොත් වැරදි නෑ..
ඔය යටම දාලා තියෙන්නෙ එදා තාත්තා නැති වෙච්ච වෙලාවේ මම අසිහියෙන් වගේ පොතක ලියපු සටහන් ටිකක්..
තාමත් ඇහැට කඳුලක් දෙන සංවේගය ඒ අකුරු වල තාමත් මට නොදැනෙනවා නෙවෙයි..
එදා ලියන කොට වැටිච්ච කඳුලු බින්දු වල තාමත් ඒ මූසල දුර්ගන්ධය මට දැනෙනවා..
අද එක ස්වාමීන් වහන්සේ නමක් මා ගාවට වැඩම කළා.. සුජාත පුත්‍ර එකේ..
"ලොකු ස්වාමීන් වහන්ස.. මගේ තාත්තට හොඳටම අසනීපයි.. වකුගඩු බද්ධ කරලා තියෙන්නේ.. ගෙදර කවුරුත් නෑ.. ක්ලීනික් එක්කන් යන්නවත්.."
මම ඇහුවා "ආයස්මට මොකද්ද වෙන්න ඕන"
"මම ටික කාලෙකට ගිහි වෙලා තාත්තව බලාගෙන, පුලුවන් කාලෙක නැවත මහණ වෙන්නම් ඔබ වහන්සේගේ අවසරය මත.."
ආපහු අසරණම වෙන ප්‍රශ්ණයක්..
"ආයස්මා වෙන Option එකක් පේන්නම නැද්ද ? මහණ කම තියන් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද ?"
"දැනට මට පේන හොඳම Option එක මේක ලොකු ස්වාමීන් වහන්සේ.."
ගුරුවරයෙක් විදියට මේ තරම් අසරණ වෙන වෙන තැනක් නැහැ..
සසර තියෙන නො වටිනාකම අනන්ත අප්‍රමාණ දන්නවා වුණත්, ඔය සිද්ධියෙන් ඇතිවෙන පසුතැවීමට විකල්ප නැහැ..
"ආයස්මා.. මට ගුරුවරයෙක් විදියට ඔබ වහන්සේට පැවිද්දෙන් යන්න කියන්න බෑ.. මේ වගේ දෙයක් අරඹයා.. නමුත් මට මේ සම්බන්ධව කරන්න වෙන දේකුත් නැහැ.."
උන්වහන්සේට සුදුසු ඇඳුම් අරන් දෙන්න මගට යන ගමන්..
සිවුර දීපු අත් දෙකෙන් ගිහි ඇඳුම් දෙන්න වෙන්නෙ වෙවුලන අත්වලින්.. බුදු හාමුදුරුවෝ හිටියානම් මොනා කරයිද ? අනන්ත අප්‍රමාණ හිතෙනවා..
මට උන්වහන්සේට හොඳ ගුරුවරයෙක් වෙන්න බැරි වෙන්නැති.. මේ තැනදි උදව් කරන්න පුලුවන් තරම් ශක්තිය ඇතිව..
නමුත් මම උන්වහන්සේට හොඳ පුතෙක් වෙන්න කියලා දෙනවා..
"කවදා හරි පුලුවන් ඕනෑම දවසක ඇවිත් මහණ වෙන්න ආයුෂ්මතුන්.. පරිස්සමෙන් යන්න.. තාත්තව බලාගන්න.. දිගටම භාවනා කරන්න.. මම උපරිම උදව් කරන්නම්.."
මට තවත් එක සුජාත පුතෙක් නැතිවෙනවා.. ඒ තාත්තට ලැබෙයි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.03.2023