top of page

නික්මෙන්නට පෙර මොහොතක් මව්පිය මනසට සමවැදුණෙමි..

දුකකිය සසර සත් සමුදුර පරයන්න..

කිව්වා එදා සැක මුසු තැන් තොරනෙන්න..

නොසිතුණි සිතෙහි යැයි සසුනට බරවෙන්න..

තව සුළු මොහොතකිය ගිහිගෙය හැරයන්න..


කන්ථක අසුන් නැත සහයට චන්න නැත..

සත්පුරුෂයන් ඇත ඔබ වෙත දෙන්න අත..

බුද හිමි දෙසුව දහමට යොදවන්න හිත..

දුක්ඛිත සසර දා නිවනට යන්න පුත..


සැකයක් නොමැත පුත නුඹ ගැන දන්න මට..

දහමට යොමු වුණෙත් ගිහි ගෙයි ඉන්න කොට..

දැන දැන පනීවිද කිසිවෙකු ගින්නකට..

ඔබෙ මග හරිය සඟ සසුනට යන්න හෙට..


මතකද එදා බෙදු හැටි අපහට දහම..

ආසයි අහන් ඉන්නට බුදු ගුණ වැනුම..

පහලට වැටෙයි නෙතඟෙහි කඳුලැලි ඉනුව..

අද මම පරාදයි පුත නුඹටය දිනුම..


අතීත මතක කවියෙන් කළ හැකිද නිමා..

සිහිවන විටදි එයි කඳුලැලි දෙනෙත තෙමා..

යන්නට ගිය බැවින් ගිහිගෙය අතැර දමා..

නිවනට ලඟය නුඹ තවමත් අපය පමා..


තේරුම් අරන් හරිහැටි හොඳ නරක දෙක..

වසමින් ගිහිගෙදර නිති ගුණ දහම් රැක..

සිටියත් සිතට වදදෙන පැනයකිය එක..

දැණුනද පුතේ මේ වයසට සසර දුක..


සිත තුළ නැගුණු අපමණ සෙනෙහස ඇතුවා..

නෙතඟින් කඳුල වැටුණත් කවි පද ගෙතුවා..

පුතුගේ නුඹට ලොව්තුරු නිවනම පැතුවා..

ඔබ යන මගෙහි යන්නට පිං කර නැතුවා..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 30.11.2018

bottom of page