Sujatha Puthra Meditation Center
Your Membership ID
පැවිදි වූවන්ට පැවිද්දේ සිත් අලවා වාසය කිරීම දුෂ්කර කරුණක්ය.. (සාරිපුත්‍ර මහ රහත් උතුමන් වහන්සේ)
අද 2018 අප්‍රේල් 25.. මෙයින් වසර තුනකට කලින් ඒ කියන්නෙ 2015 අප්‍රේල් 25 වෙනිදා අද වගේ දවසක තමයි මගේ ජීවිතයේ මම ලබපු සුන්දරම ත්‍යාගය ලැබුවෙ.. ඒ තමයි මගේ පැවිද්ද.. ජීවිතේ කිසිම දවසක අමතක නොවන උතුම් පැවිද්ද.. එදා මම මේ ජීවිතයට හැරවෙනකොට මගේ ලඟින් හිටපු ගොඩක් අය මට කිව්වෙ උඹට මේ වැඩේ හරියන්නෙ නැහැ කියලයි.. නමුත් මම ඒක කළා.. කළ යුතු හොඳම විදියට කළා.. ඇත්තටම මට මේ පෝස්ට් එක ලියන්න ලෝභයි.. ඒ මට කියන්න තියෙන දේවල් කියන්න මේ අකුරු දුප්පත් බව මම දන්න නිසයි.. භාෂාව කියන එක මොන තරම් දුප්පත්ද කියන එක දැනෙන්නෙ මෙන්න මේ වගේ අවස්ථා වල තමයි.. නමුත් මේ පණිවිඩය තියන්නම ඕනි.. මේ රසය ඔයාලටත් හීනෙකින් හරි දැනෙන්නම ඕනි.. ඒත් කොහොමද මේ සැනසීම, මේ රසය වචන කරන්නෙ..
දන්නවද.. මම එකක් කියන්නම්.. නිවන් දකින්න ඕන නැහැ.. පුලුවන් නම් ඇවිත් මේ චීවරය ඇතුලෙ තියෙන සැනසීම බලන්න.. මේ චිවරය ඇතුලින් දැනෙන රස්නය සීතල මට දෙන සැනසීමම මට මගේ පැවිද්දෙන් ප්‍රමාණවත්.. සමහරු කියනවා පැවිද්ද කියන්නෙ වැඩක් නැති දෙයක් කියලා.. ඒ අය එහෙම කියන්නෙ පැවිද්දෙන් වැඩක් ගත්තෙ නැති නිසා.. එදා යම් සතුටකින් ද පැවිද්දට ආවේ.. අදටත් එක දශමයක ඒ සතුටෙ අඩුවීමක් නැහැ.. එන්න එන්නම වැඩි වෙලා.. ගිහි ජීවිතය කියන කසල ගොඩින් දැණුන වෙහෙස මහන්සිය ශෝකය ආපහු දැණුනු කාලයක් මතක නැහැ.. ඇස් වලට කඳුලු කියන්නෙ මොනවද කියලා අමතක වෙලා.. හැමදාම එලිවෙන්නෙත් රෑ වෙන්නෙත් පිරිච්ච සතුටකින්.. ඒක තමයි මේ පැවිද්දෙ රසය.. මේ රසම රස ජීවිතේට මොන තිත්ත කෑවත් රස වෙලා දැනෙන හැටි හරි පුදුමයි.. මගේ බුදු රජාණන් වහන්සේ පැවිදි සුඛය අති උතුම් කියලා දේශණා කළේ ම ඒ නිසයි. හිතට හිතෙන හැම දේ ම අකුරු කරන්න තරම් කාලයක් නැහැ.. ඒවා මෙහෙම ලියලා ඉවර කරන්න පුලුවන් කමකුත් නැහැ.. ඒ නිසා අවසානයට මෙහෙම කියලා නවත්තන්නම්..
සංසාරය නැමැති ගිනි ගොඩෙහි ආදීනව දකින ප්‍රඥාවන්තයෝ ගිහි ගෙය නැමති කසල ගොඩ සර්පයෙක් තමන්ගේ මැරුණු හැව අරින්නාක් මෙන් අපේක්ෂාවකින් තොර ව හැර පැවිද්ද නැමැති රස ආකාරයෙහි ගිලෙන්නේය.. ඔවුන් සිය පැවිදි කිස සම්පූර්ණ කර නැවත මේ ලෝකයට නො එන මගෙහි ඉදිරියටම ගමන් කර අති භයානක සංසාර ගමනට තිත තියන්නේ මාරයාගේ කාම බැමි සුණු විසුණු කොට බැව් තථාගත සම්බුදු රජාණන් වහන්සේ විසින් ම දේශණා කොට ඇත්තේය..
ඔබ සැමටත් මේ උතුම් විරාගික නිරාමිස සැප සතුට විඳින්නට ලැබේවා යි පතමින් නවතිම්..
ඔබේ කළ්‍යාණ මිත්‍ර,
කිරුළපන ධම්මවිජය හිමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 25.04.2018