top of page

දහම රැකුණොත් නම රැකේවි.. නම රකින්නට ගියහොත් දහම පිරිහේවි..

නලුවො, ගායකයො, විවිධ විස්කම් පාන අය ලෝකේ ප්‍රසිද්ධ වෙන්නෙ එයාලගේ දක්ෂතාවයකින්..


පස්සෙ එයාලට සිද්ධ වෙනවා එයාලට හැදිච්ච නම රැකගන්න.. ඒක පුදුම වෙහෙසක්.. අඳින ඇඳුම.. යන විදිය.. කථා කරන විලාශය හැම දේම සීමා කරන්න වෙනවා. එයාලගේ Natural Life එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න සිද්ධ වෙනවා.. ඔය අතර තුර එයාලගේ Natural Life එක එළියට ආවොත් එයාලා හදා ගත්ත අර නමටම ඒක කැළලක් වෙලා Gossip එකක් විදියට සමාජයේ උඩු දුවනවා..


භික්ෂුව..


භික්ෂුවත් දැන් දැන් රටේ ටිකක් ප්‍රසිද්ධ වෙන පිරිස අතරට ගිහින්.. ඒ බුදු බණ නිසා.. නමුත් ඒ ප්‍රසිද්ධිය ලැබුණාම තමන්ගේ හැදිච්ච නම රැකගන්න, තැන රැකගන්න, එක් රැස් වුණු පිරිස රැකගන්න අර නලුවො ගන්න වෙහෙසම ගන්න වෙනවා.. සීමා දාගෙන වැඩ කරන්න වෙනවා..


නිස්සරණය වෙනුවෙන් පැවිදි වෙලා, තිබ්බ නම, ගම, නිලයන් ඔක්කොම අතහැරලා ආයිත් මෙතන නමක් බලාපොරොත්තු වෙනවා කියන්නෙම කැරකිලා ගිහින් ආයි අර පරණ තැනටම නෙවෙයි ද වැටිලා තියෙන්නේ..


කෝ පැවිද්දෙන් උපයාගත් ධනය.. රකින්න හදන්නේ භෞතික නිල නාම සම්පත් ද ?


මොනවා රකින්න ද ? තථාගත ශාසණය වෙනුවෙන් කථා කරනවා විනා, ඒ ධර්මය ලොවට කියනවා විනා, විකෘති මතය පටිභාහනය කරනවා විනා හදාගත් නම රැකගන්න යෑම ශෝභනයට කරුණක් ලෙස හඟිත් ද ?


අපට මොනවා නැති වෙන්න ද ? පැවිද්දට අවශ්‍ය පාත්‍රයත් තුන් සිවුරත් පමණි.. රුක්ෂ මූල ඕනැ තරම් ඇත..


පාත්‍රයත්, තුන්සිවුරත්, කර්මස්ථානයත් ඇත්නම් අපි සතුව නැත්තේ මොනවා ද ? ඉන්නේ කොතන වූවත් අපට වැඩක් තියෙනව ද ?


නමක් ගමක් නිලයක් අපට ලැබුනේ නම් ඒ තථාගත දහම ලොවට කී නිසා ම නොවෙ ද ? දැන් අපි කළ යුත්තේ ඒ දහමෙන් සාදා ගත් නම හෝ මාධ්‍ය ආයතනය රැකීම ද ? දහම රැකීම ද ?


දහම රැකුණොත් නම රැකේවි.. නම රකින්නට ගියහොත් දහම පිරිහේවි..


"ඇතුලේ වතුර පල් වෙනවනම්, බේසම රැක්කාට වැඩක් නැත"


වඩ වැදගත් වතුර රැකීමයි.. අප බේසම රැකිය යුත්තේ වතුර වෙනුවෙනි..


එන්න අපි සියලු දෙනාම දහම කථා කරමු.. විකෘතිය ධර්මයෙන් පටිභාහනය කරමු.. අපි ටික දිනකින් මිය යනු ඇත.. මේ දහම ලොවට ශේෂ විය යුතු ය..


නම, තාන්න මාන්න මේවා පුහු දේවල් ය.. ලෝකයට අයිති දේවල් ය..


කරුණාවෙන් මේ දහමම ලොවට කිව යුතුව ඇත.. අපට ඇත්තේ තව පොඩි කළකි.. අනාගතයේ සාමාජිකයන් ගැන විශ්වාසය තැබිය නො හැක.. ඔවුහු දැන් පචිතිය Simple යැයි ද කියති.. එනිසා මෙය අප විසින්ම කළ යුත්තකි..


කරුණාව යනු නැලවීම⁣ නොව, අනර්ථයෙන් ලොව මුදවා ගැනීම ය..


එය කාමේසු පළාලිත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් දේශණා කොට වදාළ සේක්මයි..


"පරත්ථං පටිපජ්ජ"


(මෙය කිසිවෙක් අරමුණු කළ සටහනක් නොව, මා විසින් මට ම ලියා ගත්තකි.. පෙර සංගායනාදිය කළ උතුමන් සිහිපත් කරමින් ඒ ගුණ කඳට ලියූවකි.. උන්වහන්සේලා වැඩ සිටි දිශාවන් වලටත් නමස්කාර වේවා.. )


 Author: Ven. Kirulapana Dhammawijaya Thero





bottom of page