Sujatha Puthra Meditation Center
Your Membership ID
දන්දීම්, චීවර පූජාවන්, පෙහෙවස් සමාදන් වීම, ධර්ම දේශණා ශ්‍රවණය කිරීම්, භාවනා වැඩසටහන් වලට සහභාගී වීම් වශයෙන් සෑම බෞද්ධ රටකම කාන්තාවන් මූලික භූමිකාවක් ගන්නා බව ඕනෑම අපක්ෂපාතී නිරීක්ෂණකයෙක්ට දක්නට හැකි අවිවාදාත්මක කරුණකි. ඔවුන් බොහෝ සැදැහැ සිතින් මව්වරුන් මෙන්, සහෝදරියන් මෙන් කැපකිරීම් කොට විහාරාරාම වලට සහ සංඝයාට උපකාර, උපස්ථාන කරති.
දහම් පාසල් ගුරුවරුන් ල ෙස ද වැඩිමනක් කාන්තාවන් විසින්ම සිදු කරන ඉගැන්වීම් වලින් ද පෙනී යන්නේ ඔවුන් මෙකළ ද ධර්මය පැතිරවීමට පවා බොහෝම ලොකු සේවයක් සපයන අයවලුන් ලෙස ය..
එයට ථේරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන අප සියල්ලෝම කෘතවේදී විය යුතු ම ය.
ඔවුන්ටත් මේ ගෞතම තථාගත ශාසණයේ පිහිට පිළිසරණ ලැබීම පිණිස එදා ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ උනන්දු කරවීමෙන් ප්‍රජාපතීන් වහන්සේ ලබා ගත් භික්ෂුණි භාවය ක්‍රමයෙන් වර්ධිත භාවට පත්ව දෙවන පෑ තිස් සමයෙහි සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ලංකාවට ගෙන එන ලදුව ලක්දිව ද මේ සැදැහැති කාන්තාවන්ට බුදු සසුනට ඇතුලුව ගිහි භාවයෙන් මිදී සංඝයා වශයෙන් සීලයක, ප්‍රතිපදාවක හික්මී සසුන් කටයුතු පහසුවෙන් කරගන්නට අවස්ථාවක් ලැබුණි.
ක්‍රමයෙන් සංඝමිත්තා මහ රහත් මෙහණියගේ පරිනිර්වාණයෙන් පසුව මහා විහාර, අභයගිරි, ජේතවන යන කොටස් තුනකට බෙදී සිටි එවකට වැඩ සිටි භික්ෂුණි සංඝයා වහන්සේලා කාලයත් සමග පිරිහීමට පත් වෙමින් තිබුණු බව දක්නට ලැබෙයි.
සුචරිත වර්ධනයත්, ධර්ම සේවයත් අතින් විශාල සේවයක් එ් වන විටත් කරමින් සිටි මේ භික්ෂුණි සංඝයා වහන්සේලා අනුරාධපුර යුගය අවසන් වන කාලයෙහි දුර්වල තත්වයක සිට ඇති බව නොයෙක් ග්‍රන්ථ වල ඉතහාසයෙන් දක්නට පුලුවන් කමක් ඇත.
4 වන මිහිදු රජුගෙන් පසුව මේ භික්ෂුණි සංඝයා ගැන ව ිශාල තොරතුරක් ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් නොවන බැවින් ද, එකලම පිරිහී ගිය භික්ෂු සංඝයාගේ උපසම්පදාව ථේරිය වංශය පිරිසිදුව පැවති බුරුමයෙන් ගෙන එන විට ද භික්ෂු උපසම්පදාව පමණක් ගෙන්වා කරවූ බැවින් ද එකල වන විට ථේරීය භික්ෂුණි සංඝයා වහන්සේලා වැඩ නොසිට ඇතැයි නිගමනයට ආ හැකිය.
මේ තරම් ඉක්මණට භික්ෂුණි ශාසණය අතුරුදන් වීමට බලපෑ කරුණු ගණනාවක් ගැන ලිවිය හැකි ය. එයින් ප්‍රධානම කරුණ වන්නට ඇත්තෙ ඔවුන්ට පණවනු ලැබු තියුණු සිල්පද ය.
භික්ෂුවක් පාරාජිකාවට පත් වීමට මෛථූන ධර්ම සේවනයේම යෙදිය යුතු ය.
භික්ෂුණියකට එය දණහිසෙන් උඩ ස්පර්ශ කිරීමක් ඉවසූ මාත්‍රයෙන් පාරාජිකාවට පත්වන තරම් දැඩි ලෙස ඒ සිල් පද පණවා අැත. භික්ෂුවටත් වඩා වැඩි වූ සීලයකින් යුක්ත ඔවුන්ගේ පෙර පාරමී පිරුණු පිනැත්තියන් එතෙර වූ පසු පින් මදිවුන්ට සසුන පවත්වා ගත නොහැකි වන්නට ඇතැයි සිතීම එහි සිතිය හැකි සාධනීයම කරුණකි. මේවා සලකා බැලූ විට ඔවුන් එතරම් කල් පැවතීමම පුදුම සහගත කරුණක් බව අපට නොයෙක් වර සිතී ඇත.
දෙවැනි කරුණ නම් මිහිදු රජු සමයේ ඇති වූ වියවුල් තත්වයන් මත ඔවුන්ගේ පැවත්මට ඇති වූ හානිය විය හැකි ය. එකල බොහෝ භික්ෂුණින් සසුන හැර යන්නට ඇතැයි සිතමි. කෙසේ නමුත් විජයබා රජුගේ අවසන් කාලය වන විට භික්ෂුණි සංඝයා සසුනෙන් අතුරුදන්ව සිට ඇත.
අනුරාධපුර යුගයෙන් පසු පැමිණි පොළොන්නරු යුගය වන විට භික්ෂුණි සංඝයා අභාවයටම පත්ව සිටි බව පොළොන්නරු යුගයේ සම්පාදනය වූ විනය විනිච්ඡය ටීකාවෙහි එම ටීකාචාර්‍යයන් වහන්සේ වන සාරිපුත්ත සංඝරාජ මා හිමිපාණන් වහන්සේ විසින් සඳහන් කරන "මෙකළ භික්ෂුණි සංඝයා නොමැත" යන සෘජු ප්‍රකාශයෙන් ලෝකයේම කොතැනකවත් භික්ෂුණි සංඝයාගේ පැවත්මක් ඒ වන විට නොපැවති බවට තහවුරු වෙයි. (ඉමස්මිඤ්ච කාලෙ භික්ඛුනිසංඝො නත්ථි )
ඒ කරුණු එසේ නම් එසේනම් මේ දැන් පවතින භික්ෂුණි සංඝයාගේ කථාව කුමක් ද ? ඔවුන් උපසම්පදා නැති ද ?
මේ ගැන සැලකිල්ලෙන් අධ්‍යනය කල යුතු ය. මේ අභාවයට පත් වූ භික්ෂුණි සංඝයා නැවත ප්‍රතිෂ්ඨාපනය පිණිස බොහෝ අයවලුන් විසින් උත්සහ දරා ඇති බව ඉතිහාසය පිරික්සා බැලීමේදී දක්නට ලැබෙයි.
1928 දී තායිලන්තයේ දී ගත් එබඳු එක් උත්සහයක් නිසා තායිලන්තයේ භික්ෂූන්ට කිසිම හේතුවක් මත සාමණේරී, සික්ඛමානා, භික්ෂුණි උපසම්පදා ආදි දේවල් වලට සහභාගී වීම තහනම් යැයි නියමයක් පවා පැණවී තිබේ.
පාරිශුද්ධ ථේරීය සම්ප්‍රදාය හැර ශ්‍රී ලංකාවේදී භික්ෂුණි උපසම්පදාවට පත් කාන්තාවක් ගේ ගැටලුවක් නිසා බුරුමයේ ද 2004 වර්ෂය වන විට එ් ගැන කථා කිරීම වාරණය වී ඇත.
නමුත් 1998 දී සිදුවුණු එක් උපසම්පදාවක් තරමක් කරලියට ඇවිත් ඇති බවක් දක්නට ඇත. ඒ බුද්ධගයාවෙහි සිදු කළ භික්ෂුණි උපසම්පදාවක් නිසා ය.
නමුත් මෙතන සිදු කළ විනය කර්මයේ ගැටලු රාශියක් ඇත..
එයින් අංක එක නම් භාග්‍යවතුන් වහන්සේගේ දෙවන පැණවීමක් නිසා මේ කාලය වන විට භික්ෂුණි සංඝයාව උපසම්පදා කිරීම භික්ෂුන් වහන්සේලාට පමණක් කළ හැකි දෙයක් නොවී තිබුණු නිසා ය..
එයට භික්ෂුණි සංඝයාගේ සහභාගී වීමක් ද අත්‍යාවශ්‍යම ය..
මුල් කාලීනව භික්ෂුණිය උපසම්පදා වූ ක්‍රම කීපයක් දක්නට ලැබෙයි..
එයින් පළවෙනි උපසම්පදාව නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමෙන් මහා ප්‍රජාපතීන් වහන්සේ ලත් උපසම්පදාවයි. එය ශාස්තෘ නියමයෙන් සිදු විය.
මෙය භික්ෂුණි ශාසණය ආරම්භ වු අවස්ථාවේ ඒ උත්තමාවියට පමණක් ලබා දුන් සුවිශේෂී උපසම්පදාවකි. ඒ ක්‍රමයෙන් උපසම්පදාව ලැබුවේ මහා ප්‍රජාපතීන් වහන්සේ පමණි.
තවත් උපසම්පදා ක්‍රම දෙකක් භික්ෂුණින් කෙරෙහි අනුදැන වදාරා ඇති බව දක්නට ඇත..
ඒ දූතෙන උපසම්පදාව සහ අට්ඨවාචක උපසම්පදාව ය.
මේ උපසම්පදා දෙකම උභතෝ සංඝයාගෙන් හෙවත් භික්ෂු සංඝයාගෙනුත්, භික්ෂුණි සංඝයාගෙනුත් ලැබිය යුත්තක් ය.
කිසිසේත්ම එය ඒක පාර්ශවයක් වූ භික්ෂු සංඝයාට පමණක් කළ නො හැක්කක් ය.
මේ කොයි අ යුරින් උපසම්පදා වූවත් පළමුව භික්ෂුණි සංඝයාගෙන් උපසම්පදාව ලබා දෙවනුව භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.
ඒ බව විනය විනිච්ඡය ටීකාව, සාරත්ථදීපනිය, කංඛාවිතරණ පුරාණ ටීකාව වැනි තැන්වල " භික්ඛුණි සංඝෙ පඨමං උපසම්පජිත්වා පච්ඡා භික්ඛු සංඝෙ චෙ උපසම්පජ්ජති" යැයි බොහෝම පැහැදිලිව දක්වා ඇත.
මෙයින් පිරිසිදු භික්ෂුණි උපසම්පදාවකට උභතො සංඝයා හෙවත් භික්ෂුණි සහ භික්ෂු සංඝ යන දෙපිරිසේම සහභාගීත්වය අත්‍යාවශය බව සනාථ වේ.
අෂ්ඨ ගරුධර්ම වල ද සයවැනි ගරුධර්මයෙහි එය පැහැදිලිව "භික්ෂුණිය උභතො සංඝයාගෙන්ම උපසම්පදා විය යුතු" බව බුද්ධ නියමයක් සේ භාග්‍යවතුන් වහන්සේ පණවා වදාළ සේක.
එපමණක් නොව භික්ඛුණී යන්නට අර්ථය ඉදිරිපත් කරණ භික්ඛුණී විභංගයම "සමග්ගෙන උභතොසඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නාති භික්ඛුනී. තත්‍ර යායං භික්ඛුනී සමග්ගෙන උභතොසඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නා, අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති" යැයි උභතො සංඝයාගෙන් පෙර කියූ පිළිවෙලින් උපසම්පදාව ලැබූයේ යමෙක් ද, ඇයට භික්ෂුණිය යැයි ව්‍යවහාර කරන බව පැහැදිලි කොට ඇත.
එය "භික්ඛුනී නාම උභතොසංඝෙ උපසම්පන්නා" යනුවෙන් වඩාත් පැහැදිලිව එහිම දක්වා ඇත.
දැන් මම පෙර කියන්නට තැත් කළ කථාවට බසිමි.
බුද්ධගයාවෙහි සිදු කළා යැයි කියන මෙම කාන්තා උපසම්පදාවට මේ උභය සංඝයාම (භික්ඛුණී සංඝයා යැයි ව්‍යවහාර මාත්‍රික) සහභාගී වී සිටියේ ය. නමුත් පොලොන්නරු යුගයේ අතුරුදන් වූ සුපිරිසිදු ථේරවාදී භික්ෂුණි සංඝයා වහන්සේලා අවස්ථාව නියෝජනය කිරීම පිණිස නැවත 1998 දී එළියට ආවේ කෙසේ දැ යි විමසිය යුතු ය.
ඒ තායිවානයෙන් ගෙන් වූ මහායාන සම්ප්‍රදායක් අනුගමනය කළ ධර්මගුප්තික නිකායේ සාමාජිකාවන් ගේ සම්බන්ධ වීමකිනි. ඔවුන් පිරිසිදු ථේරවාදී සම්ප්‍රදායේ භික්ෂුණින් වහන්සේලා නොවෙති.
මේ චීන ජාතික ධර්මගුප්තිකයන්ගේ විනය පිටකය ද ථේරවාදී විනය පිටකයට වෙනස් ය. ධර්ම මාර්ගයද බෝසත් පාරමිතා සමාදන් වීමක් හා බැඳුණේ වෙයි.
ඒ ධර්ම ගුප්තිකයනුත්, ථේරවාදීනුත් සමාන සංවාසකයන් ද නොවන බව දත යුතු ය.
"චතුවග්ගකරණං කම්මං නානාසංවාසක චතුත්ථො කම්මං කර්‍යෙය, අකම්මං න ච කරණීයං"
සමාන සංවාසක නොවන අයට විනය කර්ම සිදු කිරීමක් නම් සසුනෙහි නැත. කළහොත් අවිනය කර්මයකි. අසිද්ධ විනය කර්මයකි.
එනිසා මේ ධර්මගුප්තිකයන් යොදාගෙන කළ උපසම්පදාවේ නෛතික භාවයක් හෝ පිළිගැනීමක් අපට ඇති කර ගත නොහැක.
ඔවුන් භික්ෂුණින් යැයි පිළිගන්නේ නම් පිළිගත හැක්කේ ලක්දිව පවතින සුපිරිසිදු ථේරවාදී පරපුරෙන් පැවතගෙන එන සම්මා සම්බුද්ධ ශාසණයේ භික්ෂුණින් ලෙස නොව, සංකර වූ මහායාන නිකායක් වූ ධර්මගුප්තික නිකායේ භික්ෂුණින් ලෙස ය. ඒවා අපට අගයක් නැති කරුණු ය. නිසි වටිනාකමක් දිය නොහැකි ප්‍රතිපදා ය.
මා මේ බව ලියන්නේ ගතානුගතික විරෝධයක් පෑමට නොව, මට ද මේ භික්ෂුණි පැවිද්ද නැති කම ගැන සංවේගයක් අැත. නමුත් මෙකල එය ලබා දී ඇති පිළිවෙල ගැන නම් දැඩි විරෝධයක් ඇත.
දැන් ඔවුහු ථේ රවාදී භික්ෂුණින් වහන්සේලා නොවන නිසා ඔවුන්ගේ ඊළඟ අභිප්‍රාය වූයේ මේ ථේරවාදය ඇතුලට රිංගා ගැනීම ය.
ඒ අරමුණ පූර්ණ කරගැනීම පිණිස ඔවුන් විසින් දෙවන ක්‍රමයක් අනුගමනය කර පෙර කී සසුන් අනුලොම් නොවූ උපසම්පදාවට පත් වූ කාන්තාවන් ගෙනවිත් සාරානාත් වලදි පාලි කර්ම වාක්‍යය යොදාගනිමින් ථේරවාදී භික්ෂුන් වහන්සේලා විසින් පමණක් නැවත උපසම්පදා කරන ලදි.
ඔවුන්ට ද පළමු උපසම්පදාවේ සිදු වු අඩුව දැනී ඇති සේ ය.
නමුත් දෙවනුව කරන ලද එ් උපසම්පදාව ද සිද්ධ භාවයට පත් නොවු එකක් ය. ඊට කරුණු කෙළවරක සිට දැක්විය හැකි වුවත් එකම කථා වස්තුකින් එය විසඳන්නෙමි.
ඊට කදිම නිදසුන නම් මිහිදු මා හිමියන්ගේ ආගමනයෙන් පසු ලක්දිව ඇතිවු විවිධ ආගමික පෙරලීන් සමගම පැවිද්දට පෙරළුනු සිතක් ඇතිවුණු අනුලා දේවිය රජු හරහා මිහිඳු මාහිමියන්ගෙන් පැවිද්ද ආයාචනා කළ කල පසු "අකප්පියා මහාරාජ ඉත්ථිපබ්බජ්ජා භික්ඛුනො" යනුවෙන් මිහිඳු මහ රතහන් වහන්සේගෙන් ලත් තියුණු පිළිතුර ය.
"ස්ත්‍රීන් පැවිදි කරවීම භික්ෂූන්ට අකැපැය" යන්න කියවුණු එයින් භික්ෂුණි පැවිද්ද සංඝයා විසින් කළ නොහැකි නිසා (මේ පැවිද්ද යන වචනයෙන් සාමණේරී පැවිද්ද ද අර්ථ ගැන්වෙයි) ඒ සඳහා සංඝමිත්තා මහ රහත් මොහණින් වහන්සේව ගෙන්වීම සුදුසු බව මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සිහිපත් කොට ඇත.