Sujatha Puthra Meditation Center
Your Membership ID
පැවිදි වීම, සිවුරු හැර යෑම සහ වැදි බණ..
ඊයේ දින අතුරුගිරියේ සිදු වූ වෙඩි තැබීම අතරතුර දෙදෙනෙක් මිය ගිය බව ද, ඉන් එක් අයෙක් වසන්ත නැමැති අයෙක් වීම ද සමාජය ම දන්නා කරුණකි.
ඉන් මිය ගිය අනෙක් කෙනා නයන වාසුල නැමැත්තෙකි. නමුත් ඔහුව බොහෝ අය ක්ලබ් වසන්තට වඩා දන්නේ ය. ඒ ගම්පහ මහානාම යන නමිනි.
ඔහු කලින් ලංකාවේ ප්‍රසිද්ධ ධර්ම දේශක හිමිනමකි. නමුත් පසුව ගිහි දිවියට පත් විය.
දැන් බොහෝ දෙනා මේ මිය යෑම ගැන රාගයට නින්දා වේවා, කම්සැපයට නින්දා වේවා යන ශීර්ෂ වලින් ඔහු ගේ ගිහිවීම සම්බන්ධයෙන් මොකද්දෝ පෙන්වන්නට දඟලන බවක් දැක්කේ ය.
එනිසා මේ කෙටි සටහන තබමි.
පැවිද්ද දුර්ලභය. ගියි ජීවිතය කටුක ය.
නමුත් කෙනෙක්ට පැවිදි වීමට මෙන් ම ගිහි වීමට ද එකසමාන අයිතියක් ඇත්තේ ය.
මනුෂ්‍ය ජීවිතය තමන් ගේ ය. තමන් කැමති තැනකට දා ගත හැකි ය.
පැවිදි වන්නේ සමාජයෙන් නියම කළ දඬුවමක් නියමිත කාලයකට විඳීමට නොව, ස්වකැමැත්තෙන් ය.
එසේ නම් නැවත ගිහි දිවියට වැටුණු විට සමාජය බණ කියන්නෙ මන් ද ? සමාජයට කිසි සේත් ම එයට අයිතියක් නැත.
ඒ ජීවිතය ඔහු ගේ ය. ඔහු කැමති තැනක ගෙවණු ඇත.
පැවිද්දෙන් ඔහු සිතූ ඵල ඔහුට නොලැබුණා විය හැකි ය. පැවිද්ද ඔහුට අපහසු වූවා විය හැකි ය. පැවිද්දේ නිකායන් වල ආදී කෙණෙහිලිකම්වලට මුහුණ දීමට සිදුවුණා විය හැකි ය. විනය වර්ධන කාරයන්ගෙන් තර්ජන එල්ලවුණා විය හැකි ය. බලාපොරොත්තු වූ නිදහස නැති, සීමා මායිම් ඇති හිරගෙයක් මෙන් දැණුනා විය හැකි ය. ශ්‍රාවකයන් ගැන කළකිරුණා විය හැකි ය. අනාතගතය ගැන ප්‍රශ්නාර්ථයක් ඇති වූවා විය හැකි ය.
ප්රසිද්ධකම සහ ධර්ම චාරිකාවෙන් ලබන කායික වෙහෙස පසෙක තබා මේ මාර්ගයම ගිහි දිවියක් තුල වඩා ගැනීමේ පහසුවක් (පුද්ගලිකව) දුටුවා විය හැකි ය.
ගිහි ජීවිතයට පත් ව ද ඔහු විසින් වරදක් කළ බවක් පෙනෙන්නට නැත.
ගිහි ජීවිතය යනු වරදක් ද නොවේ.
කම්සැපයට නින්දා වේවා යැයි කියා ඔහුට ගරහන බහුතරයක් තවම කම්සැප අත්හැරීමට නො හැකි වූ අය ය.
ඒ අතර ඇතැමුන් වස්ත්‍රයේ වෙනසක් නැතිව තවමත් ලෝභයෙන්, ද්වේෂයෙන් තැවෙන්නෝ ය. මෝහයෙන් ලියන්නෝ ය.
කම්සැපයේ ම සිටින්නෝ ය.
ඔහුට පැවිදි වීමට සමාජයෙන් බලපෑමක් නො ලැබුවා සේ ම, ගිහි වීමට ද සමාජය අත නො පෙවිය යුත්තේ ය.
සමාජයට එය අදාල නැති දෙයකි. විදේශ රටක නම් මේවා Criticize කරනවා කියා හිරේ දැමීමට තරම් ඒවා ය.
නමුත් අප වැනි ආසියාතික රටක එවැන් ශික්ෂණයක් මිනිසුන්ගෙන් බලාපොරොත්තු විය නො හැකි අතර, එවන් මිනිසුන් ඇසුරේ පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේගේ ගිහිවීම කිසිසේත් ම අරුමයක් නොවේ.
පේන එක් කරුණට වඩා, එයට තවත් සාධාරණ හේතු ගණනාවක් තියෙන්නට ඇත.
ගත කළ කාලයේ පැවිදි දිවිය මිනිසුන්ට ද ඵල සහිත විය. ඔබ වහන්සේට ද කලින් සිටිය ගිහි ගෙදරට වඩා නම් ඒකාන්තයෙන් යමක් මේ පැවිදි බවේ දී ලැබෙන්නට ඇති බව මගේ විශ්වාසයයි.
එයින්ම ඔබට ලැබුණු ඔබේ මිනිසත් බවට අර්ථයක් එක් කරගන්නට හැකියාව ඔබට නිසැකව ම ලැබෙන්නට ඇත.
ලෝක ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් ලෙස ලෝකයේ ඕනෑතරම් සැප විඳීමට අවකාශ ලබා ගැනීමට හැකියාව තිබිය දී මේ තීරණය ගැනීමේ සත්‍යය පැත්ත දන්නේ ඔබ ම ය.
එනිසා එය අතහැරීම ඔබේ අයිතියයි. එයට ද එක සේ ගරු කරමි. එයට වචනයක් වත් කීමට මට අයිතියක් නැත.
මන්ද යත් බුද්ධ ශාසනයක පරම ප්‍රතිඵලය පැවිද්ද නොව, නිර්වාණය ම වන බැවිනි.
යමෙක් ඒ සිදුවීම ගැන වචන කියන්නේ නම්, ඒ නාම රූප ගැන නො දන්නා අය ය. හේතු ඵල දහම ගැන නො දත් අය ය.
ඒ ගැන වගකීමෙන් කියමි.
ඔවුන් ධර්මය නො දත්තෝ ය. වෙනස් වීම් විය හැකි බව, එය පිළිගැනීම, ඕනෑම තත්වයකට උපේක්ෂා සහගත වීම ගැන නොදත් අය ය. එක ලෙස ම පවත්වා ගැනීමට උත්සහ කරන සංස්කාරවල පරාජිතයෝ ය. ආත්ම කරගැනීමට උත්සහ කරන්නෝ ය.
හුදෙක්ම සංස්කාරවල තතු නො දැක්කෝ ය.
කළක් ශාසනයේ දිවි ගෙවූ සහෝදරය,
ඔබට සසර කරදරයක් නොවේවා.. කරදර නැති නිවනට ම සිත නිතර යොමු වේවා යි පතමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 09.07.2024