top of page

පොතෙන් නැතිව ප්‍රායෝගික භාවිතාවෙන් කියන්න..

"හාමුදුරුවනේ‍, පොතෙන් නෙවෙයි‍, ප්‍රායෝගිකව කියන්න"


ඒ පසුගිය දිනක ධර්ම සාකච්ඡාවත් අතර තුර ශ්‍රාවකයෙක්ගෙන් මට එල්ල වූ අභියෝගයක් ය.


මා ඇය අසලට නැවත ගොස් "අම්මා මට නිවන් දකින විදිය කියන්න‍, පොතේ තියෙන එකම වචනයක්වත් පාවිච්චි නො කර" යනුවෙන් ආපිටට පැවසීමෙන් ඇය නිහඬ විය.


මේවැනි උද්ධච්ච‍, මූඨ බෞද්ධ ශ්‍රාවකයන් පිරිසක් දැන් දැන් අපිට සමාජයේ දක්නට ලැබේ.


(මේ කැකිරාවේ සුදස්සන වැනි දේශපාලනික අතකොලු ගැන කියන කථාවක් නොවේ)


මා කියන ඔවුන් ගේ ලක්ෂණ කිහිපයක් මෙසේ ය.


👉 ඔවුන් එක් ආයතනයක‍, තෝරාගත් හිමිවරු කිහිපයක් පමණක් ලඟ විනය ඇතැයි සිතති. ධර්මය දන්නේ එහි වැඩ වසන හිමිවරු පමණක් යැයි සිතති. ඔවුන් මොන වරද කළත් ඒවා වරදක් ලෙස නොදකින අතර‍, අනිත් හිමිවරු සහ ආයතන සිදු කරන සෑම දෙයක් ම වරදක් ලෙස පෙනෙති.


👉 ඒ හිමිවරුන් ගේ අත්තනෝමත වචනය පවා බුද්ධ වචන⁣ය සේ ම සලකා එය සාවද්‍ය බව බුද්ධ වචනයෙන් උකහා දැක් වූ විටක දී පවා‍, අප සමග උරණ වෙයි.


එවිට පොත එපා‍, අත්දැකීමෙන් කියන්න යන සාහසික වචනය පවා ඔවුන් කියයි.


👉 අතීතයේ වැඩ සිටි රේරුකානේ නායක හිමියන් වැනි ස්වකීය මාන්නය නිසි ලෙස පවත්වා ගැනීමට උපකාර වන ගුරු පරම්පරාවක් නිතරම උකහා දක්වයි.


👉 නිතරම තමන් කණ්ඩායමක් සමඟ කල්ලි ගැසී සිටින අතර‍, අනිත් අයව ද කල්ලියක් ලෙස සිතයි.


👉 තමන් අපමණ ප්‍රාථමික වංචා හොර වැඩ කරන අතර ඒවා දකින්නට වත් ශක්තියක් ඔවුන් තුළ නැත.


👉 අතීතයේ අප ඔවුන් ගේ කණ්ඩායමේ කෙනෙක් ලෙස පවා විවිධ අවස්ථා වලදී ඔවුන් විසින් තෝරාගෙන ඇති අතර‍, පසුව අප ඔවුන් ව අතේ දුරින් තබා ගැනීම නිසා දැන් අහේතුකව ම අප ඔවුන් ගේ පරම හතුරන් බවට පවා පත් වී ඇත.


මේ ඔවුන් ගේ පොදු ලක්ෂණ කිහිපයකි.


මේ ශ්‍රාවකයාගේ උද්ධච්ච කම කොහින් පැමිණියක් ද ? මෙයට කරුණු කිහිපයක් දක්වන්නෙමි.


👉 01. ධර්ම දේශකවරු මෙහි පළමු වරදකරුවෝ ය.


පෙල අටුවාවට අනුව මාර්ගය ඉස්මතු කරගැනීමට අදක්ෂව‍ ස්වකීය අත්තනෝමතය වැඩියෙන් උකහා දැක්වීමට යෑමෙන් ශ්‍රාවකයා තෙරුවන් කෙරෙහි නො පැහැදී දේශකයාගේ දේශනා කෞෂල්‍යයට පහදින්නේ ය.


එවිට බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ මෙලෙස ය කීවිට ආපිටට කිපී පොතේ තියෙන දේ අපට වැඩක් නැත‍, ප්‍රායෝගිකව කියන්න යැයි අපිට තර්ජනය ද කරති.


මෙය කී අපේ හාමුදුරුවන්ගේ ගුරු පරම්පරාව අසවල් එක ය. එ නිසා උන්වහන්සේ කියන එක හරි ය කියන මතයේ මුලින් ම බැහැගෙන සමාජය සමගම ඒ වෙනුවෙන් රණ්ඩු කොට‍, අශික්ෂිත ගීලාව දක්වා‍, තමන්ගේ උද්දච්ච භාවය පෙන්වා ලැජ්ජ වූ පසු වේදිකාවෙන් බැස නිහඬව ලියූ ඒවා ද මකාගෙන සමුගෙන යයි.


👉 02. ශ්‍රාවකයාගේ අඥාන බව‍, උද්දච්ච බව සහ මාන්නය මෙහි දෙවැනි කරුණ ය.


ඔය තුනම හෝ එකක් හෝ ඇති ශ්‍රාවකයාට අවබෝධ වන ධර්මයක් නැත. හුදු මාන්නය ම වඩා ගෙන අපාගාමී වෙති.


👉 03. ස්වාමින් වහන්සේලා ස්වකීය ශ්‍රාවකයන් ව අතේ දුරින් තබා ගැනීම පසෙකලා‍, ශ්‍රාවක තනතුරු පිරිනමන්නට යෑම ය.


ඔය ඇත්තී මේ සසුනේ විශාඛාව ය ආදී වශයෙන් ප්‍රත්‍යය ලෝභත්වයෙන් හෝ රාගයෙන් තනතුරු පිරිනමා ඇති විට ඒවාට රැවටී තමන් සැබෑවට ම විශාඛාවක් ය‍ යැයි සිතා ගමික ගිලානා දී දානයක් පවා අහම්බෙන් දීමට ලැබ එයින් ද මත් වෙයි.


ඒවා ට මහත් වටිනාකමක් දී සෙසු ශාසනයම පහත් කොට දක්වයි.


ඔවුන්ට තමන් ගේ Frequency එක හැර‍, තමන් නිර්මාණය කරගත් Ego එක හැර බුදුන්ගෙනුත්‍, ධර්මයෙනුත්‍, සංඝයාගෙනුත් ඇති ඵලක් නැත.


ඔවුහු තෙරුවන් සරණ නො ලද්දෝ ම ය.


👉 ඉතින් මෙවැනි උද්දච්ච ශ්‍රාවක ශ්‍රාවිකාවන් බිහිවීම අරුමයක් ද ?


ඔබ ඕන කෙනෙක්ගෙන් බණ අහන්න. නමුත් තෙරුවන් කෙරෙහි පැහැදුණු ශ්‍රාවකයෙක් වෙන්න..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 06.07.2024


bottom of page