top of page

සනත් නිශාන්ත මිය යයි..

සනත් නිශාන්ත මිය යයි..


මේ උදෑසන අවදි වූ විගසම කණ වැකුණු ප්‍රවෘත්තිය යි.


එක් අතෙකින් මා කල්පනාවකට වැටුණත්, තවත් අතකින් මේ කල්පනාව යටිකුරු වූයේ මේ පිළිබඳව වර්ථමාන සමාජ මාධ්‍යය භාවිතා කරන තරුණ පරම්පරාවේ මේ සිද්ධියට අනුකූල හැසිරීම නිරීක්ෂණය කරන විට යි.


පළමු වැනි දේ නම් මේ මරණය අපිට කියා දෙන පාඩමයි. අනපේක්ෂිත ලෙස අප ගේ ආයුෂය අවසන් වන අතර, ජීවිත සෙල්ලම එයින් අවසන් වේ. එය ඔබටත් මටත් පොදු ධර්මතාවයක්..


මරණය යනු ජීවිතය නැමැති කුඩය හකුළන එක නණයක් වැනි ය. ජීවිතයේ හැටි ම මෙය ය. තරඟය කොතරම් දුර වූවත් මාරයා අවශ්‍ය විටක, ඔබව ධාවන පථයෙන් ඉවත් කරනු ඇත.


දෙවැන්න මෙයට පිළිතුරු ලියන පරම්පරාව වෙත ය. ඇතැමෙත් කිරිබත් කන පින්තූර දමා ඇත. ඇතැමෙක් නටන පින්තූර දමා ඇත. ඇතැමෙක් මරණය වූ විදිය ගැන හාස්‍යජනක ලෙස ලියා ඇත.


පුතේ.. ඔබටත් මේ මරණය උරුම ය. කොතන දැයි කියන්නට සමතෙක් නැත. විදිය කියන්නට සමතෙක් ද නැත.


කිසිදිනක කා වෙනුවෙන් වත් මෙලෙස ලියන්නට එපා. ඔහුට දරුවන් ඇති. බිරිඳක් ඇති. ඔහු තාත්තෙක් වෙන්නැති. ඔවුන් මේ වියෝවීම කෙසේ දරාගන්න ද යන්න ඔබ මොහොතක් හිතන්න.

⁣ඔබේ මරණයත් දිනක මේ වගේ ම සිදු වේවි. මේ පේනවනි. ජීවිත සෙල්ලමේ නළුවො, වැඩකාරයො නැහැ.


ඒ නිසා මෘග සංඥාව ඇති කරගන්න එපා. මෘග සංඥාව කියන්නේ අර සත්තුන්ට වගේ ඇති වෙන්නේ. තවත් සතෙක්ගේ මරණයක් දැකලා, 'ෂා කෑමක් හම්බුණා' වගේ එකක්. දැක්කා ම මරාගන්න හිතෙන එකක්.


ඔබේ දරුවන් අතින් ම ඔබට මැරුම් කන්න වෙන සමාජයත් එයින් නිර්මාණය වේවි. අපි මිනිස්සු. දේශපාලනය අරවා මේවා ඔක්කොම කරමු.


මනුස්සකම මරා ගෙන ඇති කරගන්න හදන දියුණුව මොකක් ද

?


අපි එතැනින් ⁣මිදෙමු. මේ රට මීට වඩා ලස්සන එකක් වේවි. අපේ මනුස්සකම නො මරා තියාගමු.


එයා හැදෙන්න තිබ්බා. ඒත් දැන් එයා මැරිලා. මේක ලිව්වේ ජීවත් වෙලා ඉන්න මනුස්සයන්ට.. අපි හැදෙන්න ඕන තැන මතක් කරලා දෙන්න..


සනත් නිශාන්ත.. ඔබට මේ ඝෝරතර සසරෙන් නික්මෙන්නට හේතු උදා වේවා !


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.01.2024




Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page