Sujatha Puthra Meditation Center
Your Membership ID
සාජහන් විසින් ඉදිකරන ලද ලෝක පුදුම හතෙන් එකක් බවට පත් වූ ටාජ් මහල් හෙවත් මුම්ටාෂ් ගේ කිරි ගරුඬ සොහොන..
ඉන්දියාවට බට පළමු දිනය දිල්ලියේ සිට අග්‍රා හරහා ගොස් දෙවැනි දින සංකස්ස පුරය වන්දනා කරන්නට යොදා ගත් බැවින් පළමු දිනයේ දී ම අග්‍රා පසු කර යන්නට සිදු විය.
එහෙයින් මුළු ලෝකයා තුළ ම කථා බහකට ලක් වූ ප්‍රේම වෘත්තාන්තයක් බවට වූ සාජහන් ගේ විශ්ව කර්මයක් බඳු ටාජ් මහල නැරඹීමට අමතක නො කළෙමි.
ටාජ් මහල වටා ගෙතුණු කවි කථාන්දර රැසක් මැද ටාජ් මහල නැරඹීමෙන් පසුව මා හට තේරුම් ගැනීමට හැකි වූයේ සාජහන් ගේ හද පතුලෙන් නැග ආ ප්‍රේමයේ සහ එහි විරහ වේදනාවේ මිම්ම පමණි.
අවුරුදු 22ක් පුරාවට කම්කරුවන් 16,000 ක් ද, තාක්ෂණික සහ විශේෂඥ ශිල්පීන් 4000ක් ද සමඟ ඉදි කළ මුම්ටාෂ් ගේ කිරි ගරුඬ සොහොන ලෝක පුදුම හතෙන් එකක් බවට පත් කිරීමට තරම් සාජහන්, මුම්ටාෂ් කෙරෙහි බැඳ තිබූ ආලය බලවත් එකක් වී තිබේ.
ක්‍රි.ව 1605 දී රාජ්‍යයත්වයට පත් වූ සාජහන් ගේ පියා වන ජහන්ගීර් 1627 දක්වා වසර 22ක් රාජ්‍යය පාලනය කළ අතර සාජහන් ගේ රාජ්‍යය කාලය ක්‍රි.ව 1627 සිට 1658 දක්වා වසර 31ක් වී තිබේ.
එයින් වසර 22ක් ම ඔහු ටාජ් මහල සෑදීම වෙනුවෙන් වෙන් කර ඇත.
ස්වකීය 14 වෙනි දරුවාට ජීවය ලබා දීමට යන අතරතුර සාජහන් ගේ පෙම්බර බිරිඳ වූ මුම්ටාෂ් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ක්‍රි.ව 1631 ක් වූ ජූනි මස 17 වැනි දින ය.
කුඩා කළ පටන් ආදරයෙන් බැඳී සිටි දෙදෙනාගෙන් එක් අයෙක් වෙන් වීම සාජහන්ට දරා ගත නොහැකි වී තිබේ.
මුම්ටාෂ් වෙත සාජහන් දී තිබූ පොරොන්දු තුනක් විය. ඇය මේ පොරොන්දු තුන ගෙන ඇති බව ද කිය වේ.
01. මුම්ටාෂ් ගේ මරණයෙන් පසු නැවත විවාහ නොවීම,
02. දරුවන්ගේ යුතුකම් සිදු කිරීම,
03. මුළු ලෝකයාට ම දකින කළ දේවියව සිහි වන නිර්මාණයක් ඉදි කිරීම,
මුම්ටාෂ් ලබා ගත් ඒ පොරාන්දු තුන විය.
මේ තුන් වැනි පොරොන්දුව අනුව යමින් යමුනා නදී තීරයේ ඉදි කළ මේ මුම්ටාෂ් දේවියගේ කිරි ගරුඬ සොහොන සැබවින් ම ලෝක පුදුම වලින් එකක් වීම අදහාගත නො හැක්කක් නම් නොවේ.
ටාජ් මහල අඩි 15ක් 20ක් පමණ උස හරි හතරැස් වේදිකාවක නිර්මාණය කොට තිබේ. ලෝකයේ ඇති විවිධ විච්චූරණ අරමුණු අතර මාගේ චක්ෂු ප්‍රසාදයට ස්පර්ශ වූ මනස්කාන්ත ම දර්ශන වලන් එකක් බවට ටාජ් මහල අදින් පසුව පත් වේ.
ප්‍රධාන වාහල්කඩයෙන් ඇතුල් වන විට දිස්වන ඒ මනස්කාන්ත දර්ශනය සඳ මෝදූ වී ඇති විට දී ගිනිගත් සෙයකින් දිස්වන අතර, සුර්‍යා උදාවන විට, මෝදු වන විට, බැස යන විට විවිධ වර්ණ වලට පෙරළෙන්නේ මෝගල් අධිරාජ්‍යයේ ප්‍රතාපවත් රජෙක් වූ සාජහන් ගේ කලා හැකියාව මනා ලෙස විහිදාලමින් ය.
ටාජ් මහල දෙස බලන විට පෙනෙන විවිධ වර්ණ පිරි මල්, කොළ සහ මෝස්තර විලාසිතාවන් වැනි දෑ එම ටාජ් මහලේ තීන්තවලින් පිරියම් කළ චිත්‍ර නොවෙති.
ඒවා විවිධ රටවලින්, විවිධ තැන් වලින් ගෙන් වූ විවිධ වටිනාකම් ඇති මාබල් වර්ග ගණනාවක් ඔබ්බවා සිදු කර ඇති විචිත්‍ර හස්ත නිර්මාණ ම වේ.
එවැන් මලක් වැනි නිර්මාණයක් අසලට ගොස් විදුලි පන්දමක් එල්ල කොට බැලුවහොත්, ඒවා ඒ ඒ මාබල් වලට අයිති වර්ණයෙන් දිලිසී පෙනෙන්ට පටන් ගන්නේ ඇතුලෙන් ගිනි ජාලාවක් දැල් වූවා සේ ය.
ටාජ් මහල තනා ඇති වේදිකාවේ සතර කොන මෝගල් සම්ප්‍රදාය පිළිබිඹු කරන කුළුණු සතරක් දක්නට ලැබේ. ටාජ් මහලට අපූරු පෙනුමක් ලබා දෙන එම කුළුණු සතර තනි කෙලින් තනා නැත.
එහි අංශක ගණනක වක් කිරීමක් සිදු කොට ඇත්තේ, හදීසි භූමිකම්පාවක දී එම කුළුණු ඇද ගෙන වැටුණ හොත්, එය ටාජ් මහල වෙත ඇද ගෙන නො වැටී එළියට ඇද ගෙන වැටීම පිණිස ය. නමුත් එය පියවි ඇසට දැකගැනීමට නො හැකි වන අයුරින් නිර්මාණය කර තිබේ.
ටාජ් මහලේ හරි මැද නූලක් එල්ලුව හොත්, එය කෙලින්ම මුම්ටාෂ් ගේ සොහොන මධ්‍යයට එල්ල වී ඇත. එනම්, එම දේවියගේ සොහොන ටාජ් මහළේ මධ්‍යම ලක්ෂය කොට මෙම විශ්ව කර්ම නිර්මාණය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සිදු කොට ඇත්තේ ය.
අඩි විස්සක පමණ වේදිකාවේ අඩි 18ක් පමණ අභ්‍යන්තරයේ දේවිය ගේ නියම සොහොන් කොත සකස් කොට තිබේ.
ටාජ් මහළට ඇතුල් වන තැන ම පොළව යටට සකස් කළ පඩි පෙළක් දක්නට ඇත. එය දිගේ දේවියගේ නියම සොහොන ආසන්නයට අදත් යා හැකි වූවත්, ඔක්සිජන් වල මදි කම සහ වෙනත් හේතු කීපයක් නිසා දැන් වන විට එය වෙත සෘජුව ම යෑම හෙවත් පොදු ජන ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් වළක්වා ඇත.
ඒ වෙනුවට ඒ ස්ථානයෙන් ම සොහොනේ ආකෘතියක් වේදිකාව උසින් නිර්මාණය කොට ඇති අතර එයත් ටාජ් මහළේ මධ්‍ය ලක්ෂය කෙරෙහි මධ්‍යගත වන ආකාරයෙන් ම ඒ ප්‍රමාණවලින් ම සකස් කොට ඇත.
සොහොන වටා ම ඇති රන් සිවි ගෙය කලා ශිල්පීන් ගේ දක්ෂතාවය සහ නිපුණත්වය තවත් මැනවින් පිළිබිඹු කර ඇත.
විදුලිය, යන්ත්‍ර සුත්‍ර නොමැති කාලයක සිදු කර ඇති මේ නිර්මාණය අදටත් දකින විට පුදුමය දනවන නිර්මාණයක් බවට පත් වී තිබෙන අතර පයට පෑගෙන කිරි ගරුඬ නිර්මාණයේ ස්පර්ශය සහ දෑසට පෙනෙන දර්ශනය හරි අපූරු අත්දැකීමක් බව නම් කිව යුතුව ම තිබේ.
