Sujatha Puthra Meditation Center
Your Membership ID
👉 අවුකන පිළිබිඹු වන පිළිම වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් චීවරය පිදුවේ නම්, එලෙස ඇඟට ම සිවුර පෙරවීම නුසුදුසු ද ?
මේ කථාව හිතළුවකි. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී ම ආනන්ද මහා ස්වාමීන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේව සිවුරකින් පොරවා ඇත්තේ ය. අත්තනෝමත වලට වඩා ත්‍රිපිටකය ප්‍රබල ය.
කථා වස්ථුව පහත දැක් වේ..
එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම ඒ රන්වන්වූ සියුම්වූ සිනිඳුවූ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ වෙතට ගෙනගොස් “ස්වාමීන් වහන්ස, මාගේ මේ පෙරවීමට සුදුසුවූ රන්වන්වූ සියුම්වූ සිනිඳුවූ වස්ත්රදෙකය ස්වාමීන් වහන්සේ, මට අනුකම්පා පිණිස එය පිළිගනිත්වායයි කීවේය.
“පුස්කුස නම් මල්ලරාජ පුත්‍රය, එසේවී නම් එක් වස්ත්‍රයකින් මා හැඳවීම කරව. එකකින් ආනන්දයන් හන්දව” කියා දැන්නුවේය.
“එසේය, ස්වාමීන්වහන්සැ”යි කියා පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දී එක් වස්ත්‍රයකින් බුදුරජාණන් වහන්සේද එකකින් ආනන්ද ස්ථවිරයන් වහන්සේද හැන්දවිය.
එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා ගිය නොබෝ වේලාවකින් ඒ සියුම් සිනිඳු රත්රන් පාට වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට එළවූයේය.
භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට පලඳවනලද ඒ රන්පාටවූ වස්ත්‍රදෙක ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් ඇතුලත දීප්තියෙන් බබලන්ට විය.
එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, පුදුමයකි, ස්වාමීන් වහන්ස, ඉතා පුදුමයක්මය. ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ හමේ පාට සෑම කල්හි ඉතා පිරිසිදුවන්නේය, ස්වාමීන් වහන්ස මේ රත්රන් පාටවූ සියුම් සිනිඳු වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පැලඳවූයෙමි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පලඳවන ලද්දාවූ ඒ වස්ත්‍ර දෙක (වීතච්චිකංගාරයක්මෙන්) ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් දීප්තිමත්ව බබළන්නේයයි” දැන්නුවේය.
👉 අදාළ පාලි කොටස -
අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තෙ පුක්කුසෙ මල්ලපුත්තෙ තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො කායං උපනාමෙසි. තං භගවතො කායං උපනාමිතං වීතච්ඡිකං විය ඛායති.
මූලාශ්‍රය - මහා පරිනිර්වාණ සුත්‍රය
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 29.11.2023