top of page

සංවාදයක් විනාශ කරන නූගතුන්ගේ විසංවාද ක්‍රමය..

මෙය දැන් සමාජයේ විවරණය යුතු කරුණක්ම සේ සැලකිය යුත්තක් බවට පත් වී තිබේ.


යමෙක් යම් කාරණයක් පිළිබඳව ප්‍රස්තුතයක් ගොඩ නගන විට එයට එල්ල විය හැකි ප්‍රධාන අභියෝග දෙකක් දක්නට ලැබේ.


ඒ ගොඩනැගූ ප්‍රස්තුතයට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් ගොඩ නැගීම හෝ එයට එකඟ නො වන පිරිසක් බිහි වීම ය.


මේ දෙකින් ප්‍රචණ්ඩත්වය වඩාත් භයානක ය. ඊට වඩා එකඟ නො වන පිරිසක් බිහි වීම සැනසිල්ලට කාරණයක් බව කිව යුතු ම ය.


නමුත් එලෙස එකඟ නොවීමට විසංවාදයක් ගොඩ නගන විට එහි නූගත් ප්‍රාථමික මිනිසෙකු ගේ පටන් ප්‍රබුද්ධ මිනිසෙකු ගේ එරෙහී වීමක් දක්වාම එම එකඟ නොවීමේ ක්‍රියාවලිය තුළ මිනිසුන් වර්ගීකරණය කළ හැකි ය.


එම වර්ගීකරණය දැක්වීමට Hierarchy (haɪə.rɑː.ki) යන වචනය භාවිත කරයි.


එම වචනයේ අර්ථය ලෙස Cambridge ශබ්දකෝෂය

A system in which people or things are put at various levels or ranks according to their importance වශයෙන් 'පුද්ගලයන් හෝ දේවල් ඔවුන් ගේ වැදගත්කම අනුව විවිධ මට්ටම්වලට හෝ ශ්‍රේණිවලට තබා ඇති පද්ධතියක්' ලෙස අර්ථ ගන්වා තිබේ.


මේ මිනිසුන් ඔවුන් ගේ විසංවාදය ගොඩ නඟන ආකාරයට ඔවුන්ව වර්ග කිරීම⁣ට Paul Graham නැමැත්තා සාධනීය ක්‍රමවේදයක් ඉදිරිපත් කොට තිබේ.


එය Graham’s Hierarchy of Disagreement යන නමින් හැඳින් වේ.


එයට අනුව එම වර්ගීකරණයට


01. නූගතා ගේ විසංවාද ක්‍රමය

02. මධ්‍යම නුවණැත්තෙක් ගේ විසවාංද ක්‍රමය

03. ප්‍රබුද්ධයා ගේ විසංවාද ක්‍රමය


වශයෙන් ප්‍රධාන ක්‍රම තුනක් ඇතුළත් වේ.


අද ප්‍රස්තුත ඉදිරිපත් කිරීම එදාට වඩා දියුණු අවස්ථාවක පවතී. සමාජ මාධ්‍ය ජාලාවන් සමාජයට විවර වීමත් සමඟ Facebook, Youtube, Twitter වැනි සමාජ මාධ්‍යයන් හරහා මේ ප්‍රස්තුත බොහෝමයක් දක්නට ලැබේ.


උදාහරණයක් ලෙස එය යම් යෝජනාවක් ලෙස ගනිමු. මෙම ලිපිය පැහැදිලි කිරීමට මම එවැන් ප්‍රස්තුතයක් ගොඩ නගමි.


'ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයට ජනතාවගේ බුද්ධිමත් නැති කම සෘජුව බලපා තිබේ' යන්න මම ඉදිරිපත් කරන ප්‍රස්තුතය යි.


දැන් මෙයට එකඟ නොවීමේ පාඨකයන් පිරිසක් සහ ශ්‍රාවකයන් පිරිසක් බිහි වේ. ඔවුන් එයට විසංවාද ගොඩ නඟන්නට ආරම්භ කරයි. ඒ විසංවාදය ගොඩ නගන ආකාරයට ඔවුන් නූගතුන් ද ? මධ්‍යම ප්‍රාඥයන් ද ? ප්‍රබුද්ධ අදහස් ඇති විද්වතුන් ද යන්න වර්ගීකරණය කළ හැකි ය.


ඒ මෙසේ ය. යමෙක් තර්කයේ හරය ආමන්තණය නො කොට ප්‍රස්තුතය ගොඩ නගන තැනත්තාට,


⭕️ අපවාදාත්මක ආකාරයෙන් නම් කීම හෝ පුද්ගලයාට අපවාද කිරීම,


ඉහත මා ගොඩ නැගූ ප්‍රස්තුතයට අනුව


නිද - ඔහේ පිස්සෙක්නේ, ⁣ඔහේ නූගතෙක්නේ, ඔහේ දේශපාලනය දන්නවද ? ආදී වශයෙන්..


⭕️ කියන කෙනාගේ තත්වය (credibility) විනාශ කිරීමට උත්සහ කිරීම,


නිද - ඔය වගේ කතා කියන්නේ මෝඩයො, මන්ද බුද්ධික අයනේ..


⭕️ කියන කෙනා යම් තැනකට පක්ෂග්‍රාහී හෝ නැඹුරුතාවයක් ඇති බවක් පෙන්වා ඔහු ගේ තත්වයට හානි කිරීම


නිද - අපෝ මෙයා රාජපක්ෂගේ ගෝලයෙක් නේ, රනිල් ගේ අතකොලුවෙක් නේ, වාමාංශිකයෙක් නේ..


( Name calling or Ad hominem attack, Ad hominem abusive, Ad hominem circumstantial )


⭕️ ප්‍රස්තුතයේ වර්ණයට හෝ හැඩතලයට හෙවත් ලිවීමේ හෝ කීමේ ස්වරයට පහර දීම | Reaponding to Tone


එනම්, ප්‍රස්තුතයේ ඇති වචනවල රළු, අධිකාරී සහ සටන්කාමී ස්වරය සම්බන්ධයෙන් මිනිසාට තරවටු කිරීමට යමෙක් මුළු ශක්තියම වැය කරන්නේනම්, ඔහු ය.


ස්වරය යනු විනිශ්චය කිරීමට අපහසු දෙයකි. ඉහත මා ඉදිරිපත් කළ ප්‍රස්තුතයට ම නිදර්ශන සැපයුවහොත්,


(මා භික්ෂුවක් ලෙස ගත් කළ කියා ඇත්තේ කුමක්දැයි නිශ්චය නො කර)


පිනට කාලා, කන්න දෙන මිනිස්සුන්ට ම මෝඩයා කියලා බනිනවා, හාමුදුරුවො කෙනෙක්ට ඕවා ලියන්න කැප ද ?, අම්මෝ සිල්වන්තකම පේනවා ලියලා තියෙන විදියෙන්, සියලු දෙනාම මෛත්‍රී කරන්න ආදී වශයෙන් ස්වරයට හෝ වර්ණයට හෝ හැඩතලයට පහර දීමයි.


මේ දැක් වූ සියළු විසංවාද ගොඩ නැඟීම ඉතා ම ප්‍රාථමික මිනිසුන් ගේ ක්‍රමයකි. මේ මිනිසුන් ගේ ජීව ගුණය හානි කරන නූගතුන් ගේ විසංවාද ක්‍රම ටික වේ.


ඇතැම් තැන්වල දී අප ද මෙය භාවිතා කොට තිබේ, මෙය ප්‍රාථමික ක්‍රමයත් වූවත් ඇතැම් තැන් වලදී අප ගේ මතයේ ස්ථීරව ම පිහිටා සිටීමට සංවාදයට හානි කරන නූගතුන් ගේ Credibility එක තහවුරු කිරීමට ඔවුන්ට වැටහෙන පරිදි මේ විසංවාද ක්‍රම ද භාවිත කරන්නට සිදු වේ. නමුත් ඒවා කවුරු භාවිත කළත්, කොතන භාවිත කළත් ඉතා ම ප්‍රාථමික විසංවාද ක්‍රම බව දත යුතු ය.


නමුත් ප්‍රස්තුතයට ගර්හා කිරීමක දී සහ නූගතුන් ගේ විසංවාද වලට පිළිතුරු දීමේ දී එහි පැහැදිලි වෙනසක් ඇති බව විද්වතුන් විසින් ද නොයෙක්වර සලකා ඇත.


🔺උගතුන් ගේ විසංවාද ක්‍රමය දැන ගැනීමට වීඩියෝව බලන්න | https://youtu.be/EJ7iV7jvDtE


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 16.08.2023

bottom of page