top of page

උසස් මට්ටමේ විවේචන සිදු කරන, අවම මට්ටමේ සදාචාරය වත් නැති මිනිස්සු..

මෙකල බොහෝ සෙයින් සමාජය තැනීමේ හෝ ප්‍රතිශෝධනය කිරීමේ අදහසින් උසස් මට්ටමේ යැයි සිතන විවේචන සිදු කරමින්සිටින Youtube කාරයන් රැසක් ද, Facebook වීරයන් රැසක් ද දක්නට ලැබෙයි.


ඔවුන් බොහෝමයක් තමන් ගේ දුම්පානය කිරීම හෝ කංසා පානය කිරීම හෝ මත්පැන් බීමවත් වළක්වාගත නො හැකි තරමේ අවම සදාචාරයවත් නැති කොට්ඨාශයකි.


ඇතැමුන් කංසා ඔතමින් රට හදන්නට කථා කරති. ඇතැමුන් මත්පැන් සාද අතරතුර සමාජ ශෝධනයක් ගැන කථා කරති.


ඒවා තවත් Model එකක් ලෙස තමන් ගේ සිසු සිසුවියන්ට, ශ්‍රාවකයන්ට ඒත්තු ගන්වමින් සමාජ ශෝධනයක් ගැන කථා කරන ඔවුන්, තමන් හෙන පොරක් යැයි සිතමින්, හීන මානයකින් පෙලෙමින්, අවම සදාචාරයවත් නැති ව භික්ෂුන්ට සිල් රකින හැටි ද කියා දෙන්නට එති.


දුස්සීලයා ශ්‍රමණ වූවත්, ගිහි වූවත් දුස්සීලයා ම ය.. ඔවුහු දුස්සීලයෝ ම වෙති.


දුෂ්ඨ ගිහි සමාජය අතින් නොයෙක් ආකාරයට දූෂණය වන දහස් ගණන් සිත් අපි නොයෙක් වර සකස් කර ඇති නිසා, ඒ දුෂ්ඨ ගිහි සමාජය ගැන නම් ලිවීමත් අර්ථයක් නැති වැඩක් ය.


ඇතැම් විශ්ව විද්‍යාල භික්ෂුන් වහන්සේලා ද විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලා ද භික්ෂුවකට කිසි සේත් සුදුසු නැති තිරශ්චීන විෂයන් වල යෙදෙති. ඒ අතර පාසල් විෂය පද්ධතියන් ඉගැන්වීම ආදිය ද වෙති.


සිත සකස් කරන භික්ෂුන් වහන්සේලා වැඩ වසන සේනාසන පරිසරය තුළ කිසිදු ආකාරයේ අකටයුත්තක් වාර්ථා වී ඇති බවක් මම කිසිදා දැක නැත්තේ ය. යම් භික්ෂුවක් වෙත චෝදනා එල්ල වී ඇත්නම් ඒ එම සිත හදන වැඩ පිළිවෙළින් බැහැරට ගිය අයෙක් වෙත ම ය.. ඔවුහු දැන් එක වේදිකාවකට ගොඩ වී සිල්වත් භික්ෂු සංඝයා ද එම ගොඩට ඇද ගැනීමට වෑයම් දරන බවක් පෙනේ.


සීලයෙන් ද, ප්‍රඥාවෙන් ද, භාවිතාවෙන් ද ඉතා උසස් භික්ෂුන් වහන්සේලා අරඹයා එවැන් අවර්ණ ගොඩ නැගීමට උත්සහ කරන භික්ෂුන් ද අවම තිරශ්චීන භාවයෙන් වත් ගොඩට නැග නැත්තේ ය.


ඔවුන් කිසිවෙකුට භික්ෂු ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ව වත් දැනුමක් නැත්තේ ය. වත් මානත් පිරිවෙස් පිරීම් ආදියක් වත් ඔවුන් තුළ නැත්තේ ය.. ඒවා මොනවාදැ යි වත් දන්නවාදැ යි සැක ය.


ඇත්තේ නම් මේ ප්‍රසිද්ධ විවාදයකට කාල විරහිත අභියෝගයකි.. ඔවුන් නො දත්තේ ම ය.


ඔවුන් භික්ෂුත්වය ද නො දන්නේ ය.. ශාසනය ද නො දන්නේ ය.. දන්නේ තිරශ්චීන විෂයන් ගේ යෙදීමට පමණි.


ශාසන ප්‍රතිපදාවේ ඇති හරය නො දන්නේ ය.


ඇතැම් සේනාසනවාසී භික්ෂුන් නමුදු, ශාසන ප්‍රතිපදාවේ නො යෙදී තමන් ආරණ්‍යවාසී යැයි සිතාගෙන සිටින නමුත්, ඔවුන් ගේ ද වාසස්ථානය හැර වෙනත් විශේෂ වෙනසක් දක්නට නැත්තේ ය.


එනිසා උසස් මට්ටමේ විවේචන සිදු කිරීමට ප්‍රථම අවම මට්ටමේ සදාචාරය වත් ගොඩ නගා ගැනීමට උත්සහ කරනු මැනවි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 08.07.2023


bottom of page