මේ ආත්මයේම විපාක දෙන මිත්‍රද්‍රෝහී බව..
පෙර දවසක එක්තරා බමුණෙක් පලාගිය ගොනුන් සොයමින් වනයෙහි ඇවිදින්නේ, අතරමංව සත් දිනක් නිරාහාරව සිට, එක් දිඹුල් ගසක ඵල දැක එයට නැග ගෙඩි කන්නේ හැටරියනක් වූ මහා ප්‍රපාතයකට ඇද වැටිණ.
එකල්හි මහ බෝසතාණන් වහන්සේ වඳුරෙක්ව ඉපිද, ඒ වනයෙහි පලාඵල බුදිමින් ඇවාදින්නේ, ප්‍රපාතයේ වැටීහුන් මිනිසා දැක මහත් වූ කරුණාවෙන් ප්‍රපාතයට බැස වැටී සිටි මිනිසා කර තබා ගෙන ඉතා අමාරුවෙන් ගොඩ ගත්හ.
වෙහෙසට පත් බෝසතාණන් වහන්සේ ඒ පාපී පුරුෂයා කෙරෙහි විශ්වාසය තබා ඔහුට තමන් වහන්සේ රැක ගන්නට ය කියා විඩා සංසිඳුවා ගනු පිණිස මඳක් නින්දට වැටුණහ.
වළෙං ගොඩ නැංවූ පව්කාර මිනිසා “වඳුරා යනු මිනිසුන් ගේ ආහාරයෙකි. මූ මරා මස් කා මඟට ද මස් ගෙන යමි”යි සිතා මහ ගලක් ගෙන බෝසතාණන් වහන්සේගේ හිසට ගැසීය.
ඒ අවස්ථාවේ මිනිසා බොහෝ දුබලව සිටි බැවින් පහර දැඩි නුවූයේ බෝසතාණන් ගේ දිවි රැකිණ. එහෙත් බරපත ල ලෙස හිස තුවාලවී ලේ ගලන්නට විය.
මහ බෝසතාණෝ පිබිද, තමන් විසින් ම වලෙන් ගොඩ නැංවූ මිනිසා තමාට පහර දුන් බව තේරුම් ගෙන වහා ගසකට නැඟ ඒ පාපී පුරුෂයා කෙරෙහි මදකුඳු නො කිපී,
"මා හෙ ත්වං අධ්ම්මට්ඨ වෙදනං කටුකං ඵුසී
මා හෙව පාපකම්මන්තං ඵලං වෙළුංව තං වධී”යි
“පව්කාරය, තට මේ පවින් කටුක වේදනා නො වේවා, ඵලය හුණගස නසන්නාක් මෙන් තා කළ මේ පව තා නො නසාවා”යි. ඒ පවිටාට සුභ පතා, “පව්කාරය, තෝ බිමින් යව; මම ගස්වලින් යෙමින් තට පියසට යන්නට මඟ පෙන්වමි”යි කියා මහත් වූ වේදනාවෙන් පෙළෙමින් කදුළු වගුරුවමින් ගසින් ගසට යෙමින් මිනිහාට මඟ පෙන්වූහ.
මිත්‍රද්‍රෝහි කම ඉහාත්මයේ ම විපාක දෙන මහ පවෙකි. ඒ පවින් ද්‍රෝහි කම් කළ පුරුෂයාගේ ශරීරයෙහි සුව නො වන දරුණු කුෂ්ට රෝගයක් උපන. දොඹ ගෙඩි පමණ, දෙහි ගෙඩි, දොඩම් ගෙඩි පමණ ගෙඩි ඔහු ගේ සිරුරෙහි හට ගත්තේය. හේ සත් වසක් බොහෝ දුක් විඳ අන්තිමේ දී පොළොවෙහි ගිලී මිය ගොස් අවිචී මහා නරකයෙහි උපන.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 07.02.2023
