Sujatha Puthra Meditation Center
Your Membership ID
භික්ෂුවට #Smart_Phone හොඳ ද ?
#Facebook එන්න කියලා ත්‍රිපිටකයේ තියෙනව ද ?
මෙය වර්ථමානයේ බොහෝ ගිහි පින්වතුන් වගේ ම තමන්ගේ වැරදි වසා ගන්නට පොරකන අලජ්ජී කහකඩ විසින් ධර්ම විනය දන්නා, එහි හැසිරෙන මුත් මුහුණ පොත පරිහරණය කරන භික්ෂුන් වහන්සේලාට කරන චෝදනාවකි..
"චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය" යන්න බුද්ධාවවාදයකි..
භික්ෂුව අලසයන් මෙන් එක් තැනක සිටීම නො කළ යුතු බවත් තථාගතයාණන් වහන්සේගේ ධර්මය ලොවට කියා දිය යුතු බවත් එයින් දේශණා වේ..
එකල භික්ෂුව මේ සඳහා කාලයේ හැටියට උපක්‍රම පාවිච්චි කර ඇත. භාග්‍යවතුන් වහන්සේ ද සමහරුන්ට රෙදිකඩක් පමණක් දී පිරිමදින්න කියා රහත් කරවීය..
මෙය පයින් ගිහින් පමණක් දේශනා කරන්නට ඕනෑ ය.. වට අත්ත අතේ තියාගෙනම දේශණා කරන්නට ඕනෑ ය.. සම්මුඛ පිරිසට විතරක් දේශණා කළ යුතු ය වැනි වාරණ නැති බැවින් හැකි අයුරකින් තමන්ගේ භාෂාවකින් මෙය දේශණා කරන්නට අපට අවසර ඇත.. නැතිනම් අපට බණ කියන්නට වෙන්නේ ද පාලියෙන් නොවෙ ද ?
එයට මේ මාධ්‍යම පමණක් භාවිතා කළ යුතු යැයි ද වාරණයක් අපට නැත.. ගිහි පින්වතුන් දුරකථනයක් ගෙන "විඩීයො බලති, නාට්‍ය බලති, සින්දු අහති" ඔවුන් පැවිද්දා ගැන සිතන්නේද අප ද මේවායින් කරන්නේ ඒවා බව ය.. 😊
සත්‍ය වශයෙන්ම අපට ගිහිකළ ම මේ දුරකථන අමාරුව දුරු වී තිබුණි.. මෙයින් කම් සැපයක් විඳිය හැකි යැයි සිතන්නෝ එය වැරදියට යොදා ගන්නෝ ය.. මෙය භාවිතා කරන විට පවා අතට, කණට, කටට වෙහෙසක් මිස මෙයින් අපට ලැබෙන භෞතික ලාභයක් නම් නැත..
මේ දුරකථන අපට පූජා කළෝ සැදැහැති දායකයෝ ය.. මෙයට යම් මුදලක් දමතොත් දමන්නේ ඔවුහු ය.. අපට ඒවාගේ බරක් නැත.. විනය ඉක්මීමක් නැත..
ඔවුන් අපට මුදල් දමන්නේ ඇයි ?
අප විසින් මේ හරහා ඔවුන්ට ධර්මය බෙදා දෙන බැවිනි.. නො විසඳෙන පැණයන් විසඳා දෙන බැවිනි.. නො දන්නා ධර්ම කාරනා කියා දෙන බැවිනි..
මේ අපගේ Youtube නාලිකාවය..
https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A
එහි ධර්ම දේශණා 600කට අධික ප්‍රමාණයක් ඇත.. බණ අසන්නක් මසකට මිලියනයද ඉක්මෙයි.. ඒ සියල්ල මේ මාධ්‍යය හරහා ය.. මාධ්‍යය නිසා ය..
භික්ෂුව වන වැදිය යුතු ය.. Facebook නො ගැලපෙන්නේ ය යන්න තව චෝදනාවකි..
භික්ෂුව දෙන දේ වළඳා කැලයට වී සිටියානම් අදටත් චණ්ඩාශෝක ධර්මාශෝක වී නැත.. භික්ෂුවගේ රාජකාරිය එය නොවේ..
සංඝ අර්බුධයක් පැමිණි කල නිරෝධ සමාපත්තියේ සිටින භික්ෂුව වූවත් අවදි විය යුතු ය.. කැලෑ වැදි සිටියත් එළියට පැමිණ ගැටලුව සමථයකට පත් කල යුතු ය. අද අධර්මවාදීන් වැඩි වශයෙන් මේ තාක්ෂණය භාවිතා කරමින් මිනිසුන් අධර්මයෙන් පුරවති.. නව තාක්ෂණය සමග හැදෙන ළමයින් අන්තර්ජාලයේ බණ සොයන්නේ මුණ ගැසෙන්නේ ඔවුන්ව ය..
ඊට පිළියමක් වශයෙන් ධර්ම විනය දත් පැවිද්දන් වැඩි වැඩියෙන් අන්තර්ජාලයට දේශණා දැමීම කළ යුතු ය.. නැතිනම් 2040 පමණ වන විට ඔය චෝදනා කරන මහල්ලන් මිය ගොස් රටට ඉතිරි වන නව පරම්පරාවට ධර්මයක් කොයින්ද ? ඔවුන් මිථ්‍යාවට හසුවනු ඇත.. පිටරටවල් වල ඉන්නා අහින්සක දරුවන් අදටත් අපව දැක පැහැදෙන්නේ, ධර්මය ඉගෙන ගන්නේ මේ හරහා ය.. නැතිනම් ඔවුන් මේ වන විටත් විවිධ දෘෂ්ඨි සරණ කොට ගෙන සිටිනු ඇත..
අප වැඩ සිටියේ ත්‍රිකුණාමලයේ ය.. නමුත් දැන් රටම බණ අහන්නේ එළියට ආ නිසා ය.. නැතිනම් ඔවුන්ට කුමන පිළිසරණක් ද ? කාගෙන් පිළිසරණක් ද?
නමුත් කිව යුත්තක් ද ඇත.. මෙය පැවිදි සීමාව ඉක්මවා කටයුතු කරන අලජ්ජීන් පිරිසක්ද භාවිත කරනු දක්නට ඇත. ඔවුහු කුඹුරු කොටන පින්තූරත් මෙහි දමති.. 🙈 මල් මැද ඒවා අල්ලන් ඉන්න පින්තූර දමති.. ගිහියන් මෙන් කෝට් දමාගෙන, කැප් දමාගෙන පින්තූර මෙහි දමති..
ඒවා නම් බුතු පුතුන් අනුමත කරන ක්‍රියා නොව.. නමුත් පැතිරී යන වසංගතයකට සීමා දැමිය නොහැක.. සිත් පාලනය කරගැනීම තම තමන් විසින් කළ යුත්තක් නොවේ ද ?
උපකරණයේ හෝ මාධ්‍යයේ වරදක් නැත.. භාවිතා කරන්නාගේම සිත පාලනයේ නැතිකම වරදක් වනු මිසක.. බැනිය යුත්තේ එවැනි අලජ්ජීන්ට මිසක්, මාධ්‍යයට නොවන බව දත යුතු ය..
ඔවුන් එය ඒ බැනීම කරනු ලබන්නේද Facebook වලම ය..
😊 කාට නම් මේ අවනඩු කියන්න ද ?
අපි අපේ නිවන ගැන දනිමු.. අපිව නිවන් දක්වන්නට යන්නෝ තවම ගිහි වතේ ය.. ඔවුනට ගිහිවත උනාගැන්මට නො හැක..
උනා දැමූ අපව නිවන් කැඳවන් යන්නට පොරකති.. සිනහා නොවී වෙන කුමක් කරන්න ද ? සසර ගැන අප තරම් දන්නේ නම්, අපට තරම් දැනේ නම් ඔවුන් ගිහිවතේ සිටිනු ඇත් ද ?
අධර්මවාදී කිසිදු අයෙකුට මාධ්‍ය වල දේශණා කිරීම නවතා දෙන නීතියක් ගෙන ඒමට යෝජනා කරමි... එවිට අපට ද මේවායින් සමුගත හැක.. එතෙක් කලිසම්, ෂර්ට් උද්ඝෝෂණය කරාට චීවරයක් නවතනු ලෙහෙසි නැත..
බුදු පුතුන්ම සසුන දනී.. ඒ කැක්කුම ඔවුන්ටම ඇත.. බත් වේලක් අත්හැර ගත නො හැකි සමහරක් ගිහියන් ඒ රස දනී ද ?
අවසාන වශයෙන් කිවයුත්තේ මෙය ධර්ම ප්රචාරයට පමණක් යොදා ගන්නා අතර එහි යෙදීම ඒ ඒ භික්ෂුවගේ ආධ්‍යාශය මත සිදුවන්නෙකි.. ඒ බව දන්නා ගිහි පින්වතුන් මේ ධර්ම කාරණා ග්‍රහණය කර ගැනීම අපට සතුටකි..
ඔය Facebook පැවිද්දාට අකැපැයැයි බණ දෙසන්නෝ ඊර්ෂියා කාරයෝ ය.. ඔවුන්ගේ සිත "වණ්ණ මච්චරියෙන්, ලාභ මච්ඡරියෙන්, කුල මච්ඡරියෙන් මැඩ ගෙන ඇති බව ඔවුහු නොදත්තේ ය.. එය එන්නේ අපට යහපත කරන වේශයෙන් ය..
අප මුහුණු පොතේ ධර්මය කියා දෙන විට ගිහි අය කියා දෙන ධර්ම කාරණා ගැන මිනිසුන්ගේ අවධානය නොයයි..
වර්ථමානය වන විට ඉතා ම ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා මේ මාධ්‍යය භාවිතා කරන බැවින් ඔවුන්ට නමක් මේ තුල නො සෑදේ.. එය ඔවුනට දරගත නො හැකි තැන මේ චෝදනාව කරති.. එය කරන්නේ පෙර කී ඊර්ෂියාව නිසා බව ඔවුන් දන්නේ නැත..
දැන් අප මෙයින් තවත් ලාභයක් ලබති.. ඒ දැන් ත්‍රිපිටකයම මෙහි ඇති නිසා ය.. වනගතව වනයෙන් වනයට යන අපට යන යන තැන උස්සන් යන්නට පොත් නැත.. පොතක් පතක් බලන්නේ මේ උපකරණයකිනි.. එය දැන් අප ලබපු විශාල භාග්‍යයකි..පහසුවකි.. අප කොයි තැනට ගියත් අටුවා ටීකා සහිත පිටකයම දැන් අප ලඟ භාවිතයට ඇත..
අනුකම්පාවක් ඇත..
අත්තහිත, පරහිත කැමති භික්ෂූහු තමන්ගේ සීමා දැන මේ ධර්ම දානයේ යෙදීම වර්ථමානයේ ලෝකය ලත් විශාලම භාග්‍යය බව දත යුතු ය.. ජර්මන් භාෂාවෙන් පවා ඒ රටවල් වල මිනිසුන් ද අද මුහුණු පොත හරහා ධර්මය උගනිත්.. ඔය නන් දොඩවන ඇතැමුන් ඒවා දන්නේ නැත.. අප ඒ තරම් දුර බලනවා මිසක්, අටලෝ දහමට කම්පා වන තරම් ලාමක සිත් ඇත්තෝ නොවන බව සිහිකරනු කැමැත්තෙමි..
තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero