Sujatha Puthra Meditation Center
Your Membership ID
මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති "කුරුඳුමලේ, කුරුන්දමලය, කුරුන්දි විහාරය" ආදී ලෙස හඳුන්වන මෙම පුදබිම නාගචෝල වනය තුල පිහිටා ඇති අතර උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයක් ලෙස දැනට හඳුනාගෙන ඇත..
ක්‍රි.ව. 100 - 103 කාලසීමාව තුල රජකම් කල සද්ධාතිස්ස රජුගේ පුතෙකු වූ ඛල්ලාඨනාග රජු විසින් කරවූ පුදබිමක් ලෙස මෙය ශාසන ඉතිහාසයෙහි සඳහන් වන අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනේදි බුදු පා පහසින් පිවිතුරු බවට පත්වූ උතුම් පුදබිමක් ලෙසද සැලකීම විශේෂත්වයකි..
මෙම විහාරස්ථානයෙහි බිත්ති ප්‍රාකාර ඇතුලු සියලු ගොඩනැගිලි කබොක් පාෂාණයෙන් නිමවා තිබෙන අතර දැනට ලොව පවතින තනි කබොක් ගලෙන් නිමැවූ පද්මාකාර චෛත්‍යය සහිත එකම නිර්මාණය මෙය ලෙස ඉතිහාසගතව තිබීම අතිශය වැදගත් කරුණෙකි..
එමෙන්ම ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව, පච්චරිය අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වන අතර එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග‍්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව ඉතිහාසයේ සඳහන් වේ..
තවද ඛල්ලාඨනාග රජු ‘කුරුන්දපාසක’ නමින් මේ ස්ථානයේ විහාරයක් ගොඩනැඟූ බවත්, කි‍්‍ර.ව. 571 – 604 වන රජ සමය තුල පළවන අග්ග බෝධි රජු විසින් ‘කුරුන්ද’ නම් සර්ව සාංඝික විහාරයක් කරවා ඒ නමින් වූ වැවක් ද, යොදුන් තුනක් පමණ විශාල පොල් වගාවක් ඇතුළු පූජාවන් සිදු කළ බවත්, කි‍්‍ර.ව. 1055 – 1110 රජ සමය තුල පළවන විජයබාහු රජු කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ..
තවද 1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේ වීම ඉතා වැදගත් කරුණකි.. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ ක්‍රි.ව. 937 - 1013 අතර වූ, තම පාලන සමය තුල අටවන වර්ෂයේදී 3 වන මිහිඳු රජුගේ ජල ගැටලූවක් විසඳීම සම්බන්ධයෙන් බවත්, තවත් තැනක රජු තම මවත් දියණියත් සමඟ එම ස්ථානයට පැමිණි බව දක්වා ලියන ලද්දක් බවත් සඳහන් ය..
එමෙන්ම ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට ඇති එකම ස්තූපය කුරුන්දි ස්තූපය බව ද ඉතිහාසයේ ද සඳහන් වේ..
කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ඉතිහාස තොරතුරු තවත් බොහෝ ඇත..
1963 දී පළමු පුරාවිද්‍යාත්මක නිරීක්ෂණය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් සිදුකරන්නට වූ අතර එමගින් අඩි 150 × 100 ප්‍රමාණයේ හතරැස් හැඩයෙන් යුතු සමතලා කඳු මුදුනක අඩි 10ක් උස ප්‍රාකාරයකින් වටකොට භූමි සලකුණු තබා ඇති බවත්, නටඹුන් අතර මූලිකවම ගොඩනැගිලි හතරක් සොයාගන්නට හැකිවූ බවත් ලිපි ලේඛන සාක්ෂි දරයි..
එයට ඊසාන දෙසින් දාගැබක්ද, වයඹ දෙසින් විහාර ගොඩනැගිල්ලක්ද, ගිණිකොණ දෙසින් වටදාගයක්ද, නිරිත දෙසින් පිළිමගෙයක්ද තිබුණු බවට තවදුරටත් සාක්ෂි හමුවී ඇත..
වෙනත් නටඹුන් ලෙස දොරටුපාල රූ සහිත මුරගල්ද, පොකුණුද, දාගැබක් යැයි සිතිය හැකි ගල් කණු සහිත ගඩොල් ගොඩනැගිල්ලක්ද පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගෙන ඇත..
නැවත 1981දී පුරාවිද්‍යා කැණීම් සිදුකරන්නට පටන් ගැනීමට කටයුතු යොදා තිබුණු අතර එවක පුරාවස්තු විනාශයක් සිදුවී ඇත..
එකල අනවසරයෙන් ඇතුල් වුණු කිහිප දෙනෙකු පැරණි ගල්කණු මත උළු සෙවිලි ඇතිරුමක් සකසා, ඉපැරණි ප්‍රතිමා ගෘහය කෝවිලක් බවට පත්කොට ඇති බවත්, කොන්ක්‍රිට් සිමෙන්ති බදාම දමා ත්‍රිශූලයක් ගසා ඇති බවත්, කපුරු දල්වන්නට සිරිපතුල් ගලක් යොදාගෙන ඇති බවත් සී. මැතිව් විසින් ලියූ ලිපියක සඳහන් කොට ඇත..
තවද කුරුන්දන්කුලම් හෙවත් කුරුන්ද සහ තන්නිමුරිප්පු වැව්වලත් බිසෝකොටු වල ගල් කොටස් හින්දු කෝවිල් ඉදිකිරීමට යොදාගෙන ඇති අතර වෙල්ලමුල්ලි වයික්කාල් කෝවිල් පිවිසුමටත් කුරුන්දිමලේ කැටයම් සහිත ගල් කොටස් යොදාගෙන ඇති බවද 1985 දී ජේ.පී.ලුවිස් මහතා විසින් ලියූ Journal of Royal Asiatic Society of the Ceylon Branch යන පොතෙහි වන Archaeology of the Wanni යන 13වන පරිච්ඡේදය තුල විස්තර විග්‍රහ වශයෙන් දක්වා ඇත..
තවද ඊ.එල්.බී.හුරුල්ලේ මහතාට ලියූ ලිපියක එහි තිබූ පද්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස අතුරුදන් වී ඇති බව සඳහන් වෙයි..
උපස්ථම්භයක කොටසක් ලෙස සැලකෙන ගල් ටැඹක අද පොල් ගසන්නට තැනක් සකසා ඇත..
ලිපක් බැඳ එහි ගිනි මොලවා ඇත..
තවද එසමයෙහි උපස්ථම්භයක් පෙන්වා දමිළ විද්වතුන් එය අෂ්ඨ දාර ලිංගයක් හමුවුණේ යැයි ව්‍යාජ මවා පෑමක්ද කර ඇත..
පසුව නැවතත් 2009 දී බෙදුම්වාදී ත්‍රස්ත උවදුර අවසන් වූ සැනිණ් නැවත මෙම කුරුන්දි විහාරය පිලිබඳව කැණීම් හා නිරීක්ෂණ කටයුතුත් එහි වැදගත්කමත් සොයන්නට උත්සුක වූ අතර එහි වූ ප්‍රතිඵලයක් ලෙස 2013 අගෝස්තු මස මෙම ස්ථානය ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ගැසට් පත්‍රයක් යොමු කර ඇත..
2018 දී නැවත පූජනීය ගල්ගමුවේ ස්න්තබෝධි හිමියන්ගේ අනුශාසනා පරිදි සංරක්ෂණ කටයුතු අරඹන්නට අවසර ඉල්ලා එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මණ්ඩාවල මහතාට ලිපියක් යොමු කර ඇත.. කැණීම්, සංරක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය සියලූ පිරිවැය ගරු සන්තබෝධි හිමියන් විසින් දරන බවත් දැනුම් දුන් පසුව කෙටි කාලයකින් එම ඉල්ලීමට මණ්ඩාවල මහතා අවසර ලබා දී ඇත..
එහිදී ප‍්‍රථමයෙන්ම කුරුන්දි පුදබිමේ ආරක්‍ෂක මුර කුටියක් ස්ථාපිත කර පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙක් නතර කරන්න සැලසුම් කොට ඇත..
අනතුරුව තාවකාලික මුර කුටියක් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍යයත් රැගෙන 2018 සැප්තැම්බර් මස පුදබිමට පැමිණි නමුත් සැලසුම් කළ පරිදි මුර කුටිය හැදීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබී නැත..
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලූව නිරාකරණය කරගැනීමේ අදහසින් ආපසු පැමිණෙනවිට දෙමළ සන්ධානයේ ආධාරකරුවන් මඟ හරස්කර විශාල ආරවුලක් ඇති කොට ඇත..
පසුව ඔඞ්ඩුසුඩාන් පොලිසිය විසින් බී වාර්තාවක් යටතේ සාමය කඩවීමේ සිද්ධියක් ලෙස මුලතිව් දිසා අධිකරණයේ නඩු පැවරා ඇත..
කලක් එම නඩුව උසාවියේ කතා කොට ඇති අතර මේ අවනඩුව සහ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය ගැන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පැමිණිලි කොට සන්තබෝධි හිමියන් උපකාර ඉල්ලා ඇත..
එම සම්මේලනයේ එවකට සිටි සභාපති ජගත් සුමතිපාල, උප සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ යන මහත්වරු හිමියන්ගේ ඉල්ලීමට අවධානය යොමු කර නඩුවට අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දී ඇති අතර කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර කිසිදු බාධාවකින් තොරව පුරාවිද්‍යා කටයුතු කරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ..
පැවති ආණ්ඩුව බලයට පත්ව බුද්ධ ශාසන, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්තයා පත් වූවාට පසු හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා මහතා විසින් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වටිනාකම ගැන ලේකම්වරයා දැනුවත් කර ඇත..
අනතුරුව ගල්ගමුවේ සාන්තබෝධි හිමියන්ද කපිල ගුණවර්ධන මහතා හමුවී ඒ පිලිබඳව සාකච්ඡා කර ඇත..
එහා ප්‍රතිඵලයක් ලෙස නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිරීමට යොජනා වී ඇත..
එම පින්කමේ මූල්‍යමය දායකත්වය දැරීමට ජගත් සුමතිපාල මහතා එකඟ වී ඇත් අතර ඒ මහතාගේ පෞද්ගලික ධනයෙන් 2020 නොවැම්බර් මස කුරුන්දි පුරාවිද්‍යා භූමියේ මුර කුටියක් ඉදිකිරීමට අවසර ලබාගෙන 2021 අවුරුද්දේ ජනවාරි මස විදුර වික‍්‍රමනායක ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කරන ලදි..
ප‍්‍රථමයෙන් ස්ථූපයේ කැණීම් කටයුතු අරඹා එම වර්ෂයේ අපේ‍්‍රල් මස අවසන් කර ඇත.. අනතුරුව එහි සංරක්‍ෂණ කටයුතු ආරඹා ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු සිදු කරගෙන යන අතර පුරාවිද්‍යා නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීමට අවශ්‍ය ගොඩනැඟිලි කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය සන්තබෝධි හිමියන් සමඟ සිටි දායකයන් ලබා දී ඇත..
කුරුන්දි විහාරයේ අනෙක් කැණීම් සහ සංරක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය සියලූ ම මූල්‍යමය දායකත්වය බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් දරා ඇති බව සඳහන් ය..
කුරුන්දි විහාරය මෙතරම් වටින්නේ මන්දැයි ඔබට ගැටලුවක් පැන නැගිය හැකිය..
කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය වන්නේ මේ වන විට ලොව සොයාගෙන තිබෙන විශාලතම පද්මාකාර චෛත්‍ය වහන්සේත්, විශාලතම කබොක් සෑයත් නිසා මෙන් ම, කැණීම්වල දී හතරවෙනි උදය රජුගේ ශිලා ලේඛනයක් සොයාගෙන ඇති නිසාත්, ස්ථූප කෑණීමේදී ඉපැරැණි පුරාවස්තු රාශියක් ම සොයාගෙන ඇති නිසාත් පමණක් නොව, කැණීම් කරගෙන යන අතරතුර එම පුරාවිද්‍යා භූමිය තවත් පුළුල් කරන්න අවශ්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා තීරණය කර තිබීමත්, එහි අක්කර 420ක් පුරාවට විහිදුණු බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කොට ඇති නිසාත්, ඇස් පනා පිට බෞද්ධ ඉතිහාසය ඉස්මතු වෙමින් තිබියදීත්, හින්දු ජනතාවගේ උරුමය නැති වූ බවට දෙමළ ජනතාව චෝදනා නගන නිසාත්ය..
දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රිවරයා නැවතත් සන්තබෝධි හිමියන්ට විරුද්ධව අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති අතර දෙමළ ජාතික සන්ධානය සහ එම ප‍්‍රදේශයේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද මේ සංරක්‍ෂණ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට නොයෙක් අයුරින් බාධා කර ඇත..
කණගාටුවට කරුණ නම් කුරුන්දි පුදබිම සමීපයෙහි නාගචෝල රක්‍ෂිතය දෙමළ අන්තවාදීන්ගේ ග‍්‍රහණයට නතුව මේ වන විට අක්කර දහසකට වැඩි භූමි ප‍්‍රමාණයක් විනාශ කර තිබීම දෙමළ ජාතික සන්ධානයට හෝ කිසිද ලාංක්කයෙකුට නොපෙනීමයි..
ඔවුන්ට පෙනෙන්නේ කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු පමණය.. ඒ තුළින් ඉස්මතු වෙන්නේ ඔවුන්ගේ තියෙන ආත්මාර්ථකාමී ජාතිවාදී කුහක ගති පැවතුම් නොවේ ද ?
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු සාර්ථකව කරගෙන ගොස් ඇත..
2021 දී සිදුකළ එම කැණීම් මගින් මාබල් බුද්ධ ප‍්‍රතිමාවහන්සේ නමකගේ කොටස්, රජෙකුගේ යැයි සිතිය හැකි ප්‍රතිමාවක්, විවිධ දේව ප්‍රතිමා, ලෝකඩයෙන් නිමූ බෝසත් පිළිමයක් ඇතුළු පුරාවස්තු රාශියක්ම සොයාගන්නට හැකියාව ලැබී ඇත..
තවද එහිදී වටප්‍රකාරයට මායිම්ව 2mක් පමණ උස සමචතුරස්‍රාකාර මලුවක්ද එහි පැත්තක දිග 17mක් පමණ වන බවද, ගර්භයේ වටප්‍රමාණය 30mක් පමණ වන බවද, මළුවට පිවිසෙන්නට දෙපසට විහිදෙන ශෛලමය පියගැටපෙළක් ඇති බවද, දැනට ශේෂ ගර්භයෙහි මුදුන දක්වා ඇති උස ආසන්නව 8.5mක් පමණ වන බවද, පේසාව ඉන් ආසන්න 3mක් පමණ වන බවද බොරදම් රටාවන් පවා තිබූ බවද සාක්ෂි සහිතව සොයාගෙන ඇත..
පුරාවස්තු සොරුන් විසින් හාරන ලද විශාල වළක්ද එහිදී හමුවී ඇත.. තවමත් මලුවේ හුණු මිශ්‍ර බදාම කපරාරු කොටසක් ශේෂව පවතින බවටද සාක්ෂි හමුව තිබේ..
දෙමළ අන්තවාදීන් කුරුන්දි පුරාවිද්‍යා භූමිය ඉපැරැණි කෝවිල් භූමියක් යැයි කියනුයේ පිළිමගෙය මුල් කරගෙන වන්නට හැකිය..
නුමුත් පිළිමගෙයි කැණීම් තුළින් මේ වන විට බුදුපිළිම වහන්සේ ඇතුළු බෞද්ධ පුරාවස්තු රාශියක් මතුව තිබේ.. පිළිමගෙයි කැණීම් කටයුතුවලට පමණක් බෞද්ධාලෝක පදනමෙන් මිලියනයක මුදලක් වෙන් කර ඇති බව සන්තබෝධි හිමියන් තවදුරටත් සඳහන් කොට ඇත..
තවද චෛත්‍ය කැණීම් කටයුතුවලට මිලියන එකයි දශම හයක මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, චෛත්‍ය සංරක්‍ෂණ කටයුතු සඳහා මිලියන හයක පමණ මුදලක් වැය වෙතැයි ද ඇස්තමේන්තු කර තිබූ බවත්, ඒ සියලූ මුදල් බෞද්ධාලෝක පදනමෙන් ලබාදුන් බවත් එමෙන්ම කුරුන්දි පුදබිමේ සංරක්‍ෂණ කටයුතුවලට සමගාමීව කෙරෙන සෙසු කටයුතු සඳහා මිලියන පහක පමණ මුදලක් දෙස්, විදෙස් දායකයෝ ලබාදී ඇති බවත් තවදුරටත් උන්වහන්සේ විසින් සඳහන් කර ඇත..
ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව පරිදි කුරුන්දි විහාරයේ සියලූ සංරක්‍ෂණ කටයුතු අවසාන කර බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍ර කිරීමට පූජා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව මෙන් ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද, ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ ද දැඩි වෙහෙසක් මහන්සියක් දරා ඇත..
මේ සියලු තොරතුරු උන්වහන්සේ සමඟ මාධ්‍යවේදියෙකු කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සමාජගත වූවක් බව සැලකිය යුතු ය..
තවද ප්‍රතිසංස්කරණය කරන ලද සෑයෙහි සර්වඥ ධාතූහු තැන්පත් කරන්නට ගිය විට දෙමළ ජාතික සංධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් විරෝධතාවයක් මෙහෙයවා තිබේ..
එහිදී ඔවුන් කුරුන්දි විහාරය විහාරස්ථානයක් නොව තම නිජභූමියේ පවතින කෝවිලක් බවටත් එහි බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම හෝ පුද පූජා පැවැත්වීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවටත් දෙමළ ජාතික සංධාන දේශපාලන නියෝජිතයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් මෙහෙයවමින් විරෝධතාව පළ කර ඇත..
මෙම අවස්ථාව දැඩි උණුසුම් වූ අතර පවතින තත්වය අනුව අදාළ කටයුතු නවත්වා දැමීමට භික්ෂුන් වහන්සේලා ඇතුළු බෞද්ධ බැතිමතුන්ට සිදූවූ බව එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් තතු හෙළිකොට ඇත..
අන්තවාදීන් විසින් උතුර, නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කරන ආකාරය ගැන නිරන්තරයෙන් සමාජය දැනුවත් කළ යුත්තේ අපේ උරුමය ආරක්‍ෂා කරගැනීමටය..
භික්ෂුන් වහන්සේලා උතුර, නැගෙනහිරට වැඩම කිරීම සිදු නොවූවා නම් එම ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ වෙහෙර විහාරයක ගල්කණුවක් හෝ අපට දකින්නට නොලැබෙන බව දත යුතු ය..
යහපාලන ආණ්ඩුව සමයේ දී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ දෙමළ, මුස්ලිම් අන්තවාදය එතරම්ම ප‍්‍රබලය.. බිහිසුණුය..
ඉහත කී පරිදි අතිශය වටින ඉතිහාසයක් සහිත කුරුන්දි විහාරයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම ගැන නම් ජාතියක් වශයෙන් අප කම්පා විය යුතුය..
කුරුන්දි විහාරය බෞද්ධ උරුමයක් බව යළි යළිත් තහවුරු වෙමින් තිබියදී අධිකරණයේ නඩු ගොනු කරන කුහක බෙදුම්වාදීන් සහිත මේ රටේ ජීවත්වීමට ලැබීමද අභාග්‍යයකි..
බාධක පිට ශක්තිමත්ව ඉදිරියට යමි අන්තවාදයට කිසිලෙසකින් නොනැමෙන බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා විසින් ශාසනයේ දියුණුවට කරගෙන යන මෙහෙවර උතුම්ය..
උතුරේ බුදු උරුමය සංකේතවත්වන ජීවමාන සාක්‍ෂි කුරුන්දි විහාරයෙන් මතු වී හමාරය.. මෙම සිංහල බෞද්ධ උරුමය අනාගතයට සුරක්‍ෂිත කරදීම සියලූ බෞද්ධයන්ගේ වගකීම බව ද සිහිපත් කළ යුතුය..
බෙදුම්වාදය වපුරන්නට දරන වෑයම පරාජයට පත් කොට උතුරේ සිංහල බෞද්ධයන්ගේ පුනර්ජීවනය මේ වෙලාවේ අවශ්‍යම කරුණක් බව තරයේම සිහි කැඳවිය යුතුය..
මේ උදෙසා බෞද්ධ අප සැමගේ අවධානය යොමු විය යුතු අතරම බුදු පා පහසින් නිර්මල වූ පරම පවිත්‍ර වූ මෙවැනි පුදබිම් විවිධාකාර වූ නිර්ලබ්ධිකයනට කෙලෙසන්නට නොදී තනි ඇස් ඇත්තෙක් තම ඇස රකින්නා සේ මේ උරුමයන් රැකගැනීම නියම බෞද්ධයෙකු ලෙස ඔබ අප සතු පරම යුතුකමක් ය..
වගකීමක් ය..
✍ Author: Ven.Kirulapana Dhammawijaya Thero
Date: 17.07.2022