top of page

රට යන අත යන මාතෘකාව තරමක් භෞතික මාතෘකාවක් නිසා ඔබ පමණක් විට විමසිල්ලෙන් මේ දෙස බලනු ඇත.. මේ ගැන කථා නො කරන්නට කීප විටක් දත කට විකාගෙන හිටියත්, ඇස් වල උණන කඳුලු වල රස්නය එන්නම එන්නම වැඩි වන නිසා මේ ගැන කථා කිරීමට සිතුවෙමි.. මා පුද්ගලිකව ටිකක් සංවේදී කෙනෙකි.. ඒ සංවේදී කම සංස්කාර වරදවා ගෙන ඇති කමකට එන සංවේදී කමක් නොව.. සංස්කාර වල පීඩාව දැන දැකම වූවත් එ පීඩිත සංස්කාරයන්ගේ පීඩාවෙන් තැලි තැලී පොඩිවන අහින්සකයින් දැක ඇති වන කරුණාව මුසු සංවේගයකි. එනිසා ඒ කඳුලට අකමැත්තක්ද සිතේ නැත.. භික්ෂුවක් කිසි විටක රොබෝ කෙනෙක් විය යුතු නැත.. එසේ නොමැති දිනක් ආ විට ලෝකයේ බුදු වරු පහළ වීමද නවතිනු ඇත.. මන්ද සූවිසි අසංඛ්‍යෙය ගණන් සත්වයන් එගොඩ කරවීමට මහා පුරුෂ චින්තාවක් එදිනට පහල නොවනු ඇති නිසා ය..


වර්ථමානය වන විට අප රට ඇද වැටෙමින් තිබෙන අගාධය සුළු පටු එකක් නොවේ.. රටේ රජය ඇතුලු සියලු පිරිස කරන්නේ කුමක්දැයි ඔවුන්වත් නොදන්නා තරම් ය.. අහවල් කෙනා අපිට එපා අහවලා අපට ඕනි යැයි මිනිසුන් තාමත් රණ්ඩු කර කර සිටිති.. ඔය කොයි කවුරුත් එකයි බව ඔබට නොදැනී ඇති අයුරු පුදුම සහගත ය.. රටට වැඩ ඇති යමක් රජයෙන් හෝ වෙනත් පක්ෂයකින් බලාපොරොත්තු නොවිය යුතු ය.. විකල්පයක් නැති තැන වඩා ම සුදුසු තීරණය ගැනීම ද වරදක් නොවේ.. ඒ කෙසේ නමුත් "මිනිසුන්ට අවශ්‍ය කන්න මාලුවෙක් නොව, මාලු අල්ලාගෙන කෑමට බිලිපිත්තක් බව" රජය තේරුම් ගත යුතු ය.. මේ සියල්ල රජය හරහා කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් බඳු ය.. ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිළධාරිනිය හරහා ගමට එන ස්වයං රැකියා, ඇය විසින් ම හිර කර ගනී.. තනිවම කර ඵල නෙලා ගැනීමට යයි.. තණ්හාවෙන් පෙලී පෝයට සිල් ගැනීමට වත් නිදහසක් ඇයට නැති වී ඇත. භව දුක ඇගේ දඬුවම වී ඇත..


වකුගඩු රෝගය හැදුණු රෝගීන්ට මුදල් දෙන ඔවුන් මිනිසුන්ට වකුගඩු රෝගය හැදීමට බලපාන හේතුව පානීය ජලය නොමැති බව දැනගෙන ඔවුන්ට බීමට වතුර ටිකක් දීමට උත්සහ නොගනියි..


අධ්‍යාපන ඇමති කොළඹ ළමයින්ට ටැබ්ලට්, පරිගණක ලබා දෙයි.. පදවි ශ්‍රී පුර ළමයින්ට බොන්නට වතුර ටිකක් දීමට ඔවුන්ට සිතක් නැත.. ඔවුන් එය දන්නේ ද නැත.. අච්චු පොත් හා සාරි ස්ටෝරුවේ ගොඩ ගසා ඇත.. ළමයින්ගේ අච්චු පොත් හා, ගුරුවරුන්ගේ සාරි හා ජාතික ඇඳුම් කඩෙන් අරන් දෙන්නට මෙවරද මට සිදු විය. උතුරු නැගෙනහිරට ඔවුන්ගේ කුරියර් සේවා අක්‍රීයව ඇත.. කොළඹ ළමයින් AC එකට රණ්ඩු වන විට මේ දරු පැටවු පොල් ඉති දෙකක් යට මුලු පාසලම ඉගෙන ගන්නට වෑයම් කරයි..


බලය නැති කෙනා බලයට ඒමට වෑයම් කරයි.. බලය ඇති කෙනා එය රැක ගැනීමට වෑයම් කරයි. මිනිසුන් වගා කළ කොමඩු ටික රැකගැනීමට රෑ එළි වෙනකම් හේනේ ය.. වගා කළ වී ටික තවමත් පෝර මලු වල එළිපත්තේ ය.. පාර්ලිමේන්තුවට ඉඳ ගැනීමට සැප පුටු ගන්න කුවිතාන්සිවල නම් අඩුවක් නැත.. කාර් පර්මිට් වල අඩුවක් නැත.. රට විකාර කරමින් සිටිති..


සමෘද්ධි වැඩ සටහන් හරහා මිනිසුන් නැති ප්‍රජා ශාලා ඉදිවෙති.. වගා කරන්නන්ට ලිඳක් කපා ගැනීමට රුපියල් ලක්ෂයක් දීමට කෙනෙක් නැත.. බ්ලොක් ගල් ටිකක් කපාගන්න යැයි කියා මැෂින් එකක් අරන් දීමට කෙනෙකුට හිතක් පහල වෙන්නේ නැතිමුත් තමන්ට එන සාමවිනිසුරු පත්වීම් ටික ඡන්දයට වැඩ කළ අයට දීමට ඔවුහු පැකිලෙන්නේ නැත.. දේශපාලනය නම් දැන් විහිලුවකි.. අධ්‍යාපනය ලද ළමයි රැකියා සොයමින් වයසට යති. එහෙත් ගැසට් කළ අයදුම්පත්‍ර වලට පිළිතරු ලැබෙන්නේ ඇමතිගේ සීල් එක දිහා බලාගෙන පමණි.. ඔවුන්ගේ අධ්‍යාපනය ආයතනයට අදාළ නැත.. ලක්දිව සමූහ දූෂණයට ලක්වෙමින් සිටිති.. නිවන් යන්නො කෙසේ බිහිවේද ? ඔලු විකාර වී අැත.. ඔබ සියල්ලෝද මේ උදාර මව කෙලෙසීමට උර දී ඇත.. ඔබ විසින් දිවිල්ල නවතා ධර්මයෙන් පෝෂිත, පටු පරමාර්ථ නැති, ආධ්‍යාශය පිරිසිදු නායකයෙකු සෙවීම ඔබ විසින් කළ යුතු ව ඇත.


එසේ නොමැති වූවොත් ඔබ විසින් කළ යුතු ව ඇති දේ අපට කිරීමට සිදුවනු ඇත.. ප්‍රාදේශීය මන්ත්‍රී වරුන් හරහා මිනිසුන් කොළඹට ගෙන ඇවිත් උද්ඝෝෂණ කිරීම මූඨ කමක් මිස වෙන කිසිවක් නොවේ.. බිම් මට්ටමින් ගම් වලට වැදී 16,400ක් පමණ ඇති ගම් වලට ඔබේ අත තැබිය යුතු විට, ඔවුන්ව පෙළා උද්ඝෝෂණ කරවීම අමනුස්සකමක් මිස වීරකමක් ද නොවේ..


රටට කළ යුත්ත රජයට මෙන් ම ඔබට ද අමතක වී ඇති සේ ය..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 12.09.2018





bottom of page