Sujatha Puthra Meditation Center
Your Membership ID
භික්ෂුව පරපටිබද්ධ ජීවිතයකට (අනුන්ගෙන් යැපෙන අනුන් හා බැඳිච්ච ජීවිතයකට) උරුමකම් කීවත් පරපටිබද්ධ වීමට තරම් සුදුසු පරිසරයක් නැති තැන පත් වන අසරණභාවය කීමට වචන නැත. උපසපන් භික්ෂුවක් නම් ගිලන්පස එකක් පිළිගන්වා ගැනීමට තරම් වත් සාමණේරයෙකු නැතිව විකාලයේ සර්ව භෝජනයෙන් වැළකී ගෙවන භික්ෂු පිළිවෙතක් සිහිවන විටත් ඇඟ නළියන බවක් දැනේ. මාරයා ඉකි ගස ගසා ඒ දිහා බලන් කඳුලු සලනවා ඇත. කෙසේ නමුත් ඒ අසරණ භාවය ලෝකයා දුකක් ලෙස දකිති.. දූෂ්කරතාවයක් ලෙස සලකති.. නමුත් නිරාමිස සැප විඳින භික්ෂුවකට එය වචනයට පෙරළා ගත නොහැකි සතුටකි. උන් වහන්සේලා එයින් විඳින්නෙ සීමා වාරණ නොමැති සතුටකි.. රාගයෙන් තොර ආමිෂයෙන් තොර එම සතුට විරාගික මෙන් ම නිරාමිස නමින් ද ව්‍යවහාරයේ පවතී. ඇති තැන සුව සේ පිළිවෙත් පුරා ගන්නා භික්ෂුව නැති තැන හැකි සේ පිළිවෙත් පුරා ගනී. තථාගත සර්වඥයන් වහන්සේගෙන් ලෞකිකව ලැබුණු ශාසන දායාදය එය යි.
අන්‍යාගමික පරිසරයක් තුළ දීර්ඝ කාලයක් වැසී තිබුණු සේනාසනයක් වන මේ සේනාසනයේ භික්ෂුන් වහන්සේලාට පැන් පහසු වන්නට වත් ස්ථානයක් නිසි ලෙස නැති නිසා හැකි අයුරින් එයට සුදුසු ස්ථානයක් සකස් කරන්නට කටයුතු පහුගිය දිනක සූදානම් කළේ ය.. වැඩකිරීමට කෙනෙකු ගෙන ඒමට කැමත්තක් තිබුණත් එයට සුදුසු පසුබිමක් සකස් වූයේ ද නැත.. මේසන් හැන්දත්, ලඹ කැටයත්, මට්ටම් ලීයත් දෑතට නුහුරු වූවත් කෙලෙස් ලියලන්නට හිත හදා ගෙන ශාසනයේ පැවිදි වූයේ නම් මෙය ඒ තරම් දෙයක් නොවනු ඇතැයි සිතා එයට අවධානය යොමු කළෙමි. මේසන් හැන්ද අතට හුරු වීමට වැඩි වෙලාවක් ගියේ නැත.. සංඝයාගේ සුඛ විහරණය සඳහා දෑතින්ම මෙැවන්නක් සකසා දීම ජීවිතයේ මා ලත් භාග්‍යයකි.. ඔබටත් දැක බලා අනුමෝදන් වීම පිණිස මේ මතකයන් ඔබ වෙත තියමි.. දැක බලා අනුමෝදන් වේවා..
භික්ෂුව යනු කොයි ආකාරයේ කෙනෙක්දැයි සිතීමටද ඔබට මෙය අවස්ථාවක් වනු ඇත.. ඔබෙන් විය යුතු යුතුකම පැහැර හැර උන්වහන්සේලාට ඇඟිල්ල දික් කිරීමටද ඔබ මින් පසු දෙවරක් සිතනු ඇත..
හැමට තෙරුවන් සරණ වේවා.. උතුම් නිවනම වේවායි පතමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 07.06.2018