Sujatha Puthra Meditation Center
Your Membership ID
තථාගත දහම අභියෝගයට ලක් කිරීමට කලින් කළ ධර්මවේශයෙන් අධර්මවාදීන් ලොව පහල වේ. එය ද මේ ධර්මය තුළ ම දේශණා වී ඇති තවත් එක් ධර්මතාවයකි. කෙලෙස් බර මිනිසුන් තථාගත විනයට අනුව හික්මීම හැර පියා තථාගත විනය තමන්ට ගැලපෙන ලෙසට නවා ගැනීමට තැත් කරන්නෙ ඉතා ම ලාමක ලෙසට ය. මෙකල ද මෙවැනි මානසික ආතතියන්ගෙන් පෙලෙන කීප දෙනෙකු ම සමස්ථ බුදු දහමම අභියෝගයට ලක් කරමින් මිථ්‍යා දෘෂ්ඨිය ලොව පුරා වපුරමින් සිටින බව දක්නට ලැබුණි. ඒ අතර මුනිවරුන් යැයි කියාගත් හිස් මිනිසුන් මෙන් ම ආර්‍ය භාවනා ලොවට හඳුන්වා දුන් බුදුන්ටත් එහා ගිය යතිවරුන් යැයි කියා ගත් අන්ධ බාල පෘතජ්ජනයෝ ද බුදුන් ලක්දිව උපන්නා යැයි කියමින් බඩ වියත රැක ගැනිමට තථාගත දහම උකස් කළ වුඩ්ඪ පබ්බජිත පුරා විද්‍යා ගවේෂකයෝ ද තමන්ගේ බඩ වියත රැක ගැනිම පිණිස තමන්ග් ව්‍යාපාර දක්ෂ ලෙස හසුරුවාගෙන යන බව දකින්නට ලැබුණි.. මෙම සටහන ලිවීමට සිතුවේ එබැවිනි.. මෙම සටහන ලියන්නෙ ඔවුන් සියල්ල වැරදි කාරයෝ කිරීමටවත් නිවැරදි කාරයෝ කිරීමටවත් නොව, මෙවැනි බඩගෝස්තර රක්ෂණවාදී මිථ්‍යා දෘෂ්ඨිකයන් නිසා සංසාර අගාධයේ තව තවත් ගැඹුරට කිඳා බහින අහින්සක මිනිසුන් ඉන් බේරා ගැනීම අරමුණු කරගෙන ය.
මෙකල සීඝ්‍ර ලෙස පැතිරෙමින් යන එක මතයකි බුදුන් ලක්දිව උපන්නා යන මතය.. පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය පරම අපවිත්‍ර කරන එ් හිස් මිනිසුන්ට දිය හැකි එකම අවවාදය : 👉 "මහත්වරුණි පුරා විද්‍යා ගවේෂණයට වෙනම පිරිසක් ඇත.. ඔබ පැවිදි වූවේ සංසාර දුක් ගිනි නිවා ගැනීමට නම් පැවිදි රස විඳිමින් එය කරගන්නා සේක්වා.. ඔබ වැනි ධර්මය නොදත් හිස් මිනිසුන් පැවිදි වේශයෙන් තථාගත ශාසනය සමූහ දූෂණය කරන තාක් බුදු කෙනෙක් නොව රහත් උතුමෙකුටවත් මේ පින් බිම සුදුසු පින් කෙතක් නොවනු ඇත..
මා මේ අනර්ථකාරී කරුණු පසු පස එතරම් හඹා නොයන්නේ නමුත් තත්වය පාලනයෙන් තොර වන විට මේ ගැන සොයා බැලුවෙම්. ඇසු පළවෙනි කරුණටම සිනාව ද පාලනයෙන් තොර විය.. සැවත් නුවර යනු අම්පාර වන බව ඔවුහු කියති. පින්වතුනි, එදා සැවත් නුවර කෝටි 07ක් සිටි බව ධර්මයේ සඳහන් ය.ඉන් පස් කෝටියක් එකළ වන විටම මග ඵළ ලබා තිබුණි. ලංකාවේ මුලු ජනගහනයම කෝටි 02ක් පමණ ය. ඉදින් අම්පාර සැවත්නුවර නම් එහි පමණක් එදා කෝටි 07ක් සිටිය යුතු වා නොවේද.? නමුත් මුලු ලංකාවේම ජනගහනය අදටත් එපමණ පිරිසක් නැත. අම්පාර පුරාවටම කුකුල් කූඩු තරමට නිවාස හදා පදිංචි කළත් හත් කෝටියක් මිනිසුන් එහි අදටත් දැමිය හැකි ද .? උගත් යැයි කියාගත් අණුවනයන් මෙි දුවන්නෙ කුමක් පසුපසදැයි සිතා ගත නොහැක.
ඡට්ඨා බුදු වූ කථාව සිහිපත් වේ. ඡට්ඨා යනුවෙන් මිනිසෙක් සිට ඇත. ඔහු දිනක් බුදු බණ අසා තමන්ද බුදු වෙමියි සිතා අභිනිෂ්ක්‍රමණය කළේය. කඩුව වෙනුවට සියතෙහි තිබූ මන්නා පිහියෙන් කෙස් කපා ඉවත් කරන ලදී. කන්ථක වෙනුවට ඡට්ඨාට සිටියේ මී හරකෙකුය. නියරෙන් පන්නාගෙන ගොස් සියල්ල සිදු කළෙමියි සිතා ගසක් යට නිර්වස්ත්‍රව හිඳ සිටියේ ය.. අවසානයේ මිනිසුන්ගෙන් හිතේ හැටියට ගුටි කා නැවත ගෙදර ආවේය.. මේ වෘද්ධ පබ්බජිතයන්ද ඡට්ඨාගේ පරම්පරාවෙන් විය හැක. නේරංජනා නදිය යැයි කුණු ඇලක් පෙන්වති. සැවත් නුවර යැයි අම්පාර පෙන්වති. මේවා සිනහවීමට නම් හොඳ ය. එදා දළදා මැදුරේ රන්කොත උඩ අසුණු මිණි කිරණේ හඬින් මුලු රටම අවදි වූ බව සඳහන් ය. අද ධර්මකාමී සිංහයන් නිදි ය. හිවලුන් දුව පැන නටති. කෙලෙස් නින්දෙන් අවදී වීමට පෙර පියවි නින්දෙන් අවදි විය යුතු ය. බුදුන් ලක්දිව උපන්නා යැයි කියූව්ට සාධු නද දුන් මිනිසුන් සිටින මේ බිම මුනිවරු යැයි කියාගත් පාපතරයන් ද ආර්‍ය මෛත්‍රී භාවනා සාමාජිකයන් ද තව කාලයක් සුව සේ මිනිසුන්ගේ දුක විකුණන් කා කුස පුරවා ගනු ඇත. සඟ සමාජය තවත් කාලයක් කට වහන් සිටිය හොත් නැවත කථා කිරීමට කටක්ද නො ඉතිරි වනු ඇත. ඉතිරි වූවත් ඵලක් ද නොවනු ඇත. යුද්ධෙට නැති කඩුව කොස් කෙටීමට ඵලක් නොවන්නාක් මෙනි. බුදුන් ගේ ධර්මය මෙලෙස කෙලෙසෙනවා දැක දැක ධර්ම විනය ධර භික්ෂූහු වනගතව කෙසේ බලා සිටිනවාදැයි සිතා ගතනොහැක. ප්‍රතිපත්තිය නො කෙලෙසාගෙන මෙයට අපට පියවරක් ගත නොහැකි ද ? එදා මහා කාශ්‍යප, මොග්ගලීපුත්ත තිස්සාදී මහ තෙරුවන් මෙවැනි හිවලුන් නින්දෙන් අවදි නොකළේ නම් අදටත් ඔබට මට මේ චීවරය නැත. පාරේ යන ගමන් කියූ බණ පදය අසා සංසාරය කෙළවර කර ගත් උතුමන් වහන්සේලා වැඩ සිටි පාරිශුද්ධ ශාසනය අද මළ බැඳී ඇත.. හෙට අනිද්දා වන විට මහා සෑ භූමිය ඩෝසර් කිරීමට ලැබෙන අනුමැති පත්‍රය ද ඔබ වහන්සේලාට අත්සන් කිරීමට ලැබෙනු ඇත.. එහි ඔබ වහන්සේලාගේ අත්සන් අනේක වර්ණයන්ගෙන් දිලිසෙනු ඇත.සම්බුද්ධ අධිෂ්ඨානයට පින්සිදු වන්නට එයද තවත් වසර ගණනක් මේ බිම දකින්නට ලැබෙන මුත් තව නොබෝ දිනකින්ම සෑ භූමියට මලක් පූජා කිරීමටද ටිකට් පතක් ගන්නට සිදු වනු ඇත.. එවිටත් මහ හඬින් සාදු නද තියා තියා අපි තව තවත් නිවනම ප්‍රාර්ථනා කරගනිමු. ඇස් ඇත්තො සියැසින් දකිත්වා.. නැත්තෝ මනසින් දකිත්වා...
මුහුණු පොතේ මා සමග සිටින හැම දෙනාටම මේ කාරුණික සිහිපත් කිරීම කරන්නෙ මෙවැනි මිථ්‍යා දෘෂ්ඨිකයන්ගෙන් ගැලවී සිටීමට ඔබ තුළ සිහි උපදවාගෙන තිබීම වැදගත් වන බැවිනි.ඔබ කිසිදු දිනක මෙවැනි මිථ්‍යා මතධාරීන්ට අසු නොවනු.. ඒ සඳහා ඔබට ඇවැසි සිහි නුවණ ලැබේවායි පතමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.05.2018