top of page

ඔබට උතුම් ධර්මාවබෝධයම ලැබේවා..

හැම දෙනෙක්ටම තෙරුවන් සරණයි.


අලුත් අවුරුද්දක් උදාවෙනවා. ඉතාම සාමාන්‍ය දිනයක්. නමුත් මුලු රටක් අමුතු විදියට උද්යෝගිමත් වෙන බව දකින්න තියෙනවා. මෝහයේ විවිධ ප්‍රමාණයන් අද රාත්‍රි 12ට පමණ ඔබටත් අහසෙහි දකින්න පුලුවන් වේවි. ඔබ ඇතුළු සමස්ථ රටවාසීන්ම තවත් වසරකින් වයසට ගිය සතුට, ව්‍යාධියට පත් වීමට අත වනන සතුට මෙන් ම මරණය අභිනන්දය කරන සතුට අපි දකින්නෙ නම් විශාල ධර්ම සංවේගයකින්..


කෙසේ වෙතත් අලුත් පැතුම්, අලුත් බලාපොරොත්තු වලින් මනස් පුරවන මේ දවස ඔබට වටිනාකමක් එක් වෙන විදි⁣යට සරසව ගන්න එකත් ඔබට කරන්න බැරි කමකුත් නැහැ. අපි මේ ලිපිය ලියන්න කල්පනා කළෙත් අන්න ඒ වටිනාකම ඔබේ ජීවිතයට එකතු කර ගන්න ඔබට යම් කිසි සහයෝගයක් දෙන්න. පුංචි සිහි කැඳවීමක් කරන්න.. මේ අවස්ථාව ඔබේ අවස්ථාවක් කර දෙන්න..


ඔබ මතක තියාගන්න සංසාර ජීවිතයම අපිට වැරද්දුවෙ අපේ හිත.. ඔබට මේ පාරත් ඔබේ හිත වංචා කරන බවවත් ඔබ සමහර විට දන්නෙ නැතිව ඇති.. නිවන් දකිත්වා කිව්වාම සාධු සාධු කියන ඔබ කල්පනා කරලා බලන්න අඩුම මම තවමත් පංච ශීලයෙන්වත් යුක්ත ද කියලා.. තවමත් එහෙම නැතිනම් ඔබ මතක තියාගන්න මේ බුද්ධෝත්පාද කාලයෙත් ඔබව ඔබේ හිත රවට්ටලා කියලා. ඒ නිසා ඔබ කල්පනා කර ගන්න මේ අලුත් අවුරුද්ද මම සීලයෙන් පෝෂිත වෙනවා කියලා.. නිවන් දකින මාර්ගයේ පදනම ශක්තිමත් කර ගන්න බවට ගන්න ඔබ අධිෂ්ඨානයක්.. මොකද ඔබ දැන් අවුරුදු ගණනක් තිස්සෙ පතන සතුට සෞභාග්‍යය සැනසීම තවමත් ඔබට ලැබුණෙ නැත්තෙ ඔන්න ඔය අඩුපාඩුව නිසයි. ඔබේ හිතට සතුටු වෙන්න තරම් දෙයක් ඔබ කරලා නැති නිසා.. හිත රවට්ටලා යනකොට දාලා යන දේවල්ම හද හද හිටියා මිසක් හැබෑ සතුට එන විදියෙ දෙයක් තාම ඔබ කරලා නැති බව සිහි තබා ගන්න..අන්න ඒ හිස් තැන ඔබට මකාගන්න පුලුවන් ඔබ සීලයෙන් ශක්තිමත් වීම තුළින් පමණයි.. ඒ නිසා මේ අලුත් අවුරුද්දෙ ලොකු අධිෂ්ඨානයක් ගන්න.. මේ අවුරුද්දෙ ඉඳන් මම සීලයෙන් ශක්තිමත්, සීලයෙන් පෝෂිත මිනිසෙක් වෙන බවට අධිෂ්ඨාන කරගන්න. ඒ මානසික පරිවර්ථනය ඔබ තුළ ඇති කර ගන්න..


දැන් ඔබට හිතෙයි "අපේ හාමුදුරුවනේ, අපිටත් ඕක කරගන්න ඕන තමයි.. ඒත් කරගන්න බැරිවනෙ දඟලන්නෙ කියලා.. මම ඔබට කියලා දෙන්නම් ප්‍රායෝගිකව සීලය තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න ඕන විදිය. මේක හැබවින්ම කරගන්න විදිය මං ඔබට කියලා දෙන්නම්.. සිහියෙන් කියවලා ධාරණය කරගන්න.. පහත කරුණු ඔබට ඉතා වැදගත් වේවී..


සිල් රකිනවා කියන එක ලේසි කාරණයක් නෙවෙයි තමයි.. හැබැයි ගොඩක් අයට සිල් රකින්න වුවමනාවත් නැතිව නෙවෙයි. මොකද අපි දන්නවා අපි අපිව කොච්චර මොනවා කරලා රවට්ටගන්න හැදුවත් ඇත්තම කතාවනම් නම් අපිට කොහොම හරි සිල් ටික රැක ගන්නත් වෙන බව. මොකද එහෙම නැත්නම් සංසාර ජීවිතය විඳින්න වෙන දුක් කඳ පිළිබඳව ඔයාලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගෙන තියෙනවා. පුතේ මේ දෙවල් බොරු නෙවෙයි. දන්නවද.. බුදු කෙනෙක් සත්වයෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් කිසිම විදියකින් බොරු කියන්නෙ නැහැ.. අනික මුලු ත්‍රිපිටක බුද්ධවචනය තුළ තියෙන කිසිම දෙයක් තර්කයෙන් අහක දාන්න පුලුවන් කමක් නැහැ.. හොඳට මතක තියාගන්න.. ඔයාලට මේ ජීවිතේ යමක් ලැබුණනම් ඒ ඔයාලා පෙර ජීවිතේ කරගත්ත කුසල් නිසා.. දන් පින්කම් ආදිය කරපු නිසා අද කන්න බොන්න අඳින්න දේවල් ටික ඔහොම හරි ලැබිලා තියෙනවා. පුතේ ලංකාවේ දුෂ්කර පළාතකට ඇවිල්ලා බලන්න.. දන් නුදුන්න අයගෙ අයහපත් විපාක ඔබට අදහගන්නත් බැරිවේවි.. ඒ නිසා පිනට බය වෙන්න එපා. මේක මම කියන එකක් නෙවෙයි, 'මා පුඤ්ඤභායි' කියලා බුදුන් වහන්සේම කියලා තියෙනවා..


ඒ වගේමයි ඔයාලා දැකලා ඇති නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ඉන්න අයව.. පිළිකා හැදිලා, සුසුම්නාව කැඩිලා, අත පය කොරවෙලා ඉනින අයව.. ඇයි ඒ..? ඒ අයට එහෙම වුණේ ඇයි. දෙවියන්ගෙ කැමැත්තටද... නැහැ පුතේ.. තමන් දුස්සීලව වාසය කරපු ඒවගෙ අනිටු විපාක.. අනිත් අයට ගහලා බොරු කියලා අනිත් අයගෙ දේවල් හොරකම් කරපුවගෙ අනිෂ්ඨ විපාක විදියට මන්ද බුද්ධික වෙලා, අතපය කොරවෙලා උපදින්නෙ.. ඒ නිසා මේක ගැන සිහි උපදවා ගන්න. ඔතාගෙන ආපු බත් එක දිග ඇරගෙන සතුටින් කෑවට කමක් නැහැ.. ඊළඟ වේලට කන්නත් කෑම එකක් ඔතාගන්න... නැත්තං ඊළඟ වේල බඩගින්නෙ.. අන්න ඒ වගේ කරගත්ත කුසල් වල, රැකපු සීලයන්ගෙ විපාක අනුභව කරන්න දැන්.. නමුත් ඉස්සරහ ජීවිත වලට යමක් කරගන්න. නැත්තං එදාට අතපය කොරවෙලා කුණු වෙච්ච තුවාල එක්ක ජීවත් වෙන්න සිද්ධ වේවි විතරක් නෙවෙයි හුලං බිබී ඉන්න සිද්ධ වේවි.. ඒ නිසා සීලයට වැඩි අවධානයක් යොමු කරන්න. සිල් නොරැක දන් දුන්නත් ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද දන් දුන්න නිසා ඔයාලට කන්න බොන්න ලැබේවි. නමුත් සිල් නොරැක්කොත්, ඔබ ලැබෙන දේ කන්න බොන්න බැරි අසනීප කාරයෙක් වේවි. හරියට මේ වගේ. මෙහෙම හිතන්න. කෙනෙක් ඉන්නවා දිය වැඩියාව තියෙන. එයාට පෙර දන් දුන්න විපාකෙන් මොන තරම් රස අයිස්ක්‍රීම් එකක්, කේක් කෑල්ලක් ලැබුණත් කන්න විදියක් නැහැ. ඇයි දන් දීලා ලැබෙන්න කටයුතු කරගත්තට ලැබෙන දේ කන්න කුසල් කරලා නැහැ... අර අපි කියන්නෙ කට වචනෙට අතට ගත්ත දේ කටට දා ගන්න පින නැහැ කියලා.. අන්න ඒ දුස්සීල බවේ විපාක.. තේරුණා නේද.. මේක ලොකු කථාවක්. මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.. හැමදේම කියලා දෙන්නම් වෙලාව තියෙන විදියට..


දැන් ලොකු භයක් එන්න ඇති සමහර විට. බය වෙන්න එපා.. මොකද ඇති තරම් වැරදි අපේ ලඟත් කලින් තිබ්බා.. මිනී මරපු අංගුලිමාලට රහත් වෙන්න පුලුවන් කම තිබ්බනම්, චණ්ඩාශෝක ධර්මාශෝක වුණා නම් ඔබ මම එ් තරම් වැරදි කරලා නැහැ.. ඒ නිසා වුණ දේවල්, එහෙම නැත්නම් අතීතය ගැන කල්පනා කර කර ඉඳලා වැඩක් නැහැ.. වර්ථමානය හදාගමු. එතකොට දන්නෙම නැතිව අනාගතය හැදිලා.. තේරුණා නේද.. දැන් කියලා දෙන්න හදන්නෙ කොහොමද මේ සිල් ටික රැකගන්නෙ කියලා ප්‍රායෝගිකව.. හරිනෙ.. හොද සිහියෙන් මේ ටික අහගන්න..


මේ බලන්න. මම දන්නවා සිල් රකින එක ලේසි පහසු වැඩක් නොවන බව.. අපිත් කට කැඩෙන කම් කිව්වත් මේක Practical නැති බවත් මම දන්නවා.හිතේ ස්වභාවය බොහොම හොඳට අධ්‍යනය කරපු කෙනෙක් මේ ගැන හොඳටම දන්නවා.. ඒ නිසා මේ ගණුදෙනුව හිතත් එක්කම විසඳ ගන්න විදිය මම කියලා දෙන්නම්.. මේක අපි ප්‍රායෝගික කරමු. ඔයාලා දන්නවා දවසට පැය 24ක් තියෙනවා. මම ඔයාලගෙන් එක පැයක් ඉල්ල ගන්නවා.. ඔයාලට පැය 23ක් තියෙනවා.. මේ පැය ඔබ දෙන්න.. ඒ මං වෙනුවෙන් නෙවෙයි, ඔයාලා වෙනුවෙන්මයි.. දවසේ කැමති වෙලාවක පහසු වෙලාවක එක පැයක් වෙන් කරගන්න.. (හැබැයි රෑ නිදියන කාල සීමාව හැරලා) මේ පැයට අපි දාගමු නමක්.. "Good Boy Hour" ඒක හොඳයි. මෙන්න මේ පැය ඔයාලා සිල් සමාදන් වෙන්න.. අපි හිතමු 12 ඉඳන් 01 වෙනකම් ගත්තා කියලා.. 11.50ට සිහියෙන් සිල් පද පහ ගැන කල්පනා කරලා 'මේ මගේ මේ වෙන් කර ගත්ත කාලය ඇතුලත මම මේ සිල් පද පහ අනිවාරෙන්ම රකිනවා' කියලා අධිෂ්ඨාන කරගන්න. සිහියෙන්ම රකින්න.. සමාදන් වෙලාම රකින්න..


පුතේ මේක අනිවාරෙන්ම කරගන්න.. මේක හැර මේ ජීවිතේ වෙන අර්ථයක් නැහැ නැහැමයි.. මේක අනිවාරෙන්ම කරගන්න.. මේ පැය අැතුළත ඔබට මදුරුවෙක් නොමරා ඉන්න බැරිකමක් නැහැ. හොරකමක් නොකර ඉනින බැරිකමක් නැහැ. අනුන්ගෙ කොළයක් වත් ඇහිදින්න එපා මේ පැයේ.. එක පැයයි.. ඔයාලට පුලුවන්මයි. කාමය වරදවා හැසිරෙන්න තියා එහෙම සිතිවිල්ලක් වත් හිතන්න එපා එක පැයක්.. එකම පැයයි.. ඔබට පුලුවන් මයි.. සුරාවෙන් දුම් වැටියෙන් එක පැයක් වෙන් වෙන්න ඔබට බැරිකමක් නැහැ.. බොරුවක් නොකිය ඉන්න නම් ගොඩක් සිහියෙන් ඉන්න වෙනවා.. හැබැයි ඔබට බැරි නැහැ.. කථාව අඩු කරගන්න ඒ පැය ඇතුලත.. එකම පැයයි මම මේ ඉල්ලන්නෙ.. ඒකත් ඔබ වෙනුවෙන්මයි.. මේක අදම පටන් ගන්න.. ඔබ නිකං හිතන්න..ඔබ දිනකට එක පැයක් සිල් රකිනවා කියලා කියන්නෙ මාසේට පැය 30ක් සිල් රැකලා.. මාසේට සැරයක් සිල් ගන්න පන්සලට යන අය මාසේටම සිල් රකින්නෙ පැය 08යි. එ්කත් හරියටම ෂුවර් නැහැනෙ. ඒකනෙ ඇත්ත. හැබැයි ඔබ පැය බැගින් රැකපු නිසා ඔබට සීයට සීයක් විශ්වාසයි ඔබේ පැය 30 ගැන. දැන් ඔබට පුලුවන් සත්‍ය ක්‍රියාවක් වුණත් කරන්න. බය නැතිව යන්න බුදු පිළිම වහන්සේ නමක් ලඟට. සීලය ප්‍රත්‍යවේක්ෂා කරන්න.. මේ මාසේට මම ඒකාන්තයෙන් පැය 30ක් සිල්වත් කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න. ඔබට සීලයේ ආනිශංස එදාට බලාගන්න පුලුවන්.. ඔබට එයින් ලැබෙන නිරාමිස සතුට සල්ලි වලට කවදාවත් ඔබට ගන්න බැහැ. සල්ලි වලින් අපි ඇත්තටම සැප විඳිනවා කියලා හිතුනට කල්පනා කරලා බලන්න.. මේ විඳින බොහෝ දුක් වලට හේතුව ඔය සල්ලිම නෙවෙයිද කියලා.. ඔබට එදාට තේරෙයි. සතුට කියන්නෙ හැබවින්ම මොකද්ද කියලා.. ඔබ පතන සතුට සෞභාග්‍යය එදාට ඔබට ලැබේවී යම් තරමකට හෝ.. එහෙනම් දැනට මේ ඇති.. මොන දේ වුණත් මේක මේ අවුරුද්ද තුළම අතහරින්න එපා.. දිනපතාම දානය සහ භාවනාවත් ජීවිතයට එකතු කරගන්න විදිය ලඟදීම දවසක කියලා දෙන්නම්. ඉන්පසු ඔබට පුලුවන් වේවී ඔබ පැතූ සතුට සැබවින්ම අත්විඳින්න.. හෙට දවස ඉඳන්ම මේ පැය වෙන් කරගෙන මේක පටන් ගන්න..එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. නව වසර ඔබ පැතූ පරිදිම සතුට සෞභාග්‍යය සැනසීම පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි පතනවා.. ඔබට උතුම් ධර්මාවබෝධයම ලැබේවා..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 13.04.2018





bottom of page