top of page

සත්‍යයට වඩා සමාජ මතයට පළමු තැන දී වෙනස්වන අඥාන ලෝකය සහ එසේ වෙනස් නොවන බුද්ධ ශ්‍රාවකයා..

මෙය තරමක් විස්තර කළ යුතු මාතෘකාවකි.


මා මෙය ලියන්නට ගත් හේතුවක් ද ඇත.


ඒ සත්‍යය සත්‍යය ලෙස දැකිය නො හැකි හීන පෞර්ෂයකින් යුත් සමාජයක් බිහි වනු බලන් සිටීම සත්‍යය දන්නා සත්‍යයට ගරු කරන උතුමන් විසින් කිසිසේත් ම නො කළ යුත්තක් බැවිනි.


යමෙකු සත්‍යය දැන දැන ම නිහඬ ව සිටී නම් ඒ ඔවුන් ගේ පෞර්ෂත්වයේ ම අඩුවක් බව පුද්ගලික ව සිතමි.. එකරුණ සංවාදයට විවෘතය.


නමුත් විනය පිටකය පුරාවට ම ඇති කරුණු වලින් එය එලෙස බව උකහා දැක්විය හැකි ය. විශේෂයෙන් ම භික්ෂුණි විනය පිටකය දෙස බැලූ කල වරද දැක සැඟවූ අය ද වැරදි කාරයන් ම ගණයට යොදා ඇති බව ඇතැම් තැන්වල මා දැක ඇත්තෙමි.. එනිසා එක් අතකට එහි ඇති සංවාදයක් ද නැත.


මෙයට බුද්ධ කාලීන සංඝ සමාජයේ පටන් ම නොයෙකුත් උපහැරණ දැක්විය හැකි වූවත් උක්ත මාතෘකාවෙන් ලිපිය පිට යනු නැවතීම සඳහා එයට මෙය අවස්ථාවක් කර නො ගන්නෙමි.


සත්‍යයට වඩා සමාජ මතයට පළමු තැන දෙන සමාජයක් අපට ඇත්තේ ද ? විමසා බලමු.


බුදු සසුනේ ලොකු කුඩා සෑම කෙනෙක්ට ම මතක ඇති අපූරු මහ රහතන් වහන්සේ නමක් ලොව සිටියහ.. ඒ අප ගෞතම බුදු සසුනේ පළමු ව සෝවාන් භාවයට පත් වූ අපූර්වත ම මනුෂ්‍ය රත්නයක් වන ⁣අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ය.


උන්වහන්සේ ගේ ජීවිත කථාව මේ කී මාතෘකාව ගැන කථා කිරීමට පාදක කර ගැනීම අන් කවරක⁣ටත් වඩා වටින බව සිතමි.


උන්වහන්සේ ගිහි කල තමන් වේදය හැදෑරූ දක්ෂ තාපසයෙක් බවට පත්ව ස්වකීය 16 වන වියේදී ම, එවකට ඉපදුණු සිද්ධාර්ථ මහ බෝසතුන් දැක අනික් ජ්‍යෙෂ්ඨ තවුසන් ගේ සියලු මතයන් වලට පසු ව වූවත් ඔවුන් ගේ වැනෙන මතය මත නැග එය උගුලා දමමින් "සිද්ධාර්ථ ඒකාන්තයන් බුදු වන බවත් ඔහුට ඇති ගිහි ගෙයි වැසීමක් නැති බවත්" එක එල්ලේ ම ප්‍රකාශ කළ හ.


ස්වකීය පුතු සක්විත්තෙකු වන බව අසනු ප්‍රිය පියරජතුමන් ගේ මෙන් ම මාළිගාවේ දහසකුත් දෙනා අතර මෙන් ම ජ්‍යෙෂ්ඨ යැයි සම්මත වූ වැඩිමහල් අනාවැකි කරුවන් අතර ද ඔවුන් ගේ මතය පාගා දමා එතරම් සෘජු ප්‍රකාශක් කිරීමට තරම් කොණ්ඩඤ්ඤ තවුසාණන් සතු ව තිබූ ⁣පුරුෂ ශක්තිය කොපමණක්දැයි සිතීමටත් කලක් ගත යුතු ව ඇත.


ඒ විශ්වාසය මත ම එම තවුසාණන් අප මහා බෝසතුන් දුෂ්කර ක්‍රියා කරන සමයේ ද ළඟින් සිට සය අවුරුද්දක් පුරාවට ම උපකාර කලේ ද ඒ විශ්වාසය මත ම පදනම්ව ම බවට අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැතැයි සිතමි.


නමුත් අප මහා බෝසතුන් කිසිදාක පාරමී පුරන බෝධිසත්ව අවධියේවත් සමාජ මතයට ඉඩ දී සත්‍යය හැරදා නැත.. ප්‍රබල වූ චිත්ත ශක්තිය කොපමණක්දැයි විවරණ ලබා දුන් බුදුරජාණන් වහන්සේගෙන් වත් පිරිය යුතු පාරමී කවරේදැයි නො විමසා තමන් විසින් ම තනියම අධිෂ්ඨාන කළ බව කියවෙයි.. ඇතැමෙක්ට එය හිතුවක්කාරකමක් ලෙස ද නිසැකව ම දැනෙනු ඇත.


කෙසේ වෙතත් බෝසතුන් මධ්‍යම ප්‍රතිපදාවට අනුගත වීමත් සමග ම එකල බැසගෙන තිබූ ප්‍රබල ම සමාජ මතයක් වූ දුෂ්කර ක්‍රියාවෙන් ම ලද යුතු සම්බෝධිය සිද්ධාර්ථට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් නො ලද හැක්කක් බව තමන්ගේ අනාවැකිය ගැන තිබූ විශ්වාසයද, ලැබුණු පරිණත භාවයත් සමග සත්‍යය දැන දැන ම වූවත්, සමාජ මතයෙන් එළියට ඒමට තිබූ බියගුලු බව හේතුවෙන් එදා කොණ්ඩඤ්ඤ තවුසා ද බෝසතුන් හැර ගිය බව ද අපි දනිමු.


නමුත් ඔහු ගේ සිත සත්‍යය දනී.. ඒ බව මනා ව පසක් වන්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දෙස බැලීමේ දී ය.. අනිකුත් තවුසන් ගේ අවධානය එදා භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට යොමු නො වන්නට ඇත්තේ අවිශ්වාසයක් ඔවුන් ගේ සිත තුළ තිබූ නිසා විය යුතු ය.


නමුත් කොණ්ඩඤ්ඤ තවුසා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට පූර්ණ අවධානය යොමු කර ඇත.. ඒ ඔහු ගේ අර සිත තුළ තිබූ සත්‍යය දන්නා බව වීම නිසා බව මා එහි අභ්‍යන්තරය විමසා බලන කල සිතා ඇත්⁣තෙමි.


මෙයින් ඉහත කී කරුණ පැහැදිලි ය.


මිනිසුන් බොහෝ විට සත්‍යයට වඩා පවතින සමාජ මතයෙන් මිදීමට කල්පනා කරන, බිය වන අය බවට පත්ව ඇත.


අදටත් නැකත් බැලීම, අණවිණ කැපීම, ඇස්වහ පිච්චීම, මොට්ටු තැබීම, සමහර දිනවල නො කර සිටින අවමගුල් වැනි දෑ ඊට වුවමනාවටත් වඩා සාක්ෂි ය.


මරණසතිය වැඩීමට බිය වෙති. ඔවුන් එය වඩා මැරෙයි යැයි සිතති.


නමුත් සත්‍යය දුටුවෝ කිසිදාක ලෝකයේ පවතින මතයේ පල් වූවෝ නොවෙති.


දෘෂ්ඨි බිඳ⁣ හෙලමින් ම දම්සක පවත්වා අනන්ත දෘෂ්ඨි නැවත කැටි කොට සත්‍යය එයින් වෙන් කොට භාග්‍යවත් බුදුරදුන් විසින් ලොවට එක එල්ලේ ම දේශනා කර ඇත්තේ ද එබැවිනි.. ඒ බව භාරතීය ඉතිහාසය දෙස බැලීමේ දී මනා ව පෙනෙන්නට ඇත.


ඉදින් යම් හෙයකින් මා එම සත්‍යය දකින්නෙක් නම් මුළු ලෝකයාට ම මා මෙය කියන්නට තැත් කරමි.


එසේ කියන විට ඔවුන් මාව හැර දමා වෙනත් පැත්තක් ගන්නේ නම් ඔබ විශ්වාස කරන්න.. මා වැන්නෙකුට එය පමණ කළ නො හැකි ලාභයක් ය.. බොරුවේ රාමුවෙන් එළියට නො එන ලෝකයා සමග කරන බොරුකාර ගනුදෙනුවට වඩා තනියම ගෙවන ඒ තනිකම විවිධ ආත්මයන් වල තනි මතයෙන් ජීවිතය දිනපු බෝසතුන්ට මෙන් ම මට ද සනීපයකි.


සත්‍යවාදීව ම මෙය මට ඇති අපූරු අත්දැකීමකි.. ඇතැම් විට සමාජ දැනුමින් පරිණත බවටත්, කාලය හරහා වයසක බවටත් පත් ව සිටින අය මාගේ ඇතැම් එවැනි ක්‍රියාකාරකමක් දැක "මුරණ්ඩුකමනෙ.. තරුණකමනෙ" යැයි මට ද නිතර කියති.


එවිට මා ඔවුන් ගේ ඒ අනාථ වූ පරිණත බවට, අසරණ වූ වැඩිහිටි බවට අනුකම්පා කරමින් කරුණු කීමට නො⁣ ගොස් නිහඬ වෙමි.


නමුත් කිසි විටකත් මා මාගේ සත්‍යය වටහා දීමේ ප්‍රයන්තයෙන් මිදෙන්නෙක් නො වෙමි.. එසේ බොරුකාර ලෝකයට බියෙන් සත්‍ය වසන්නෙක් වන්නේ නම්, නිහඬ වන්නේ නම් මගෙන් ඇති ඵලය කුමක් ද ? මා අනිත් අය වගේ ම ලැබූ නම රැක ගන්න, ලාභයන් ඉතිරි කර ගන්න මුණිවත රකින්නෙක් වනු ඇතිනෙ.


හදවත කෑලි කරන් කපාගෙන බීම මට එතරම් ලොකු දෙයක් නො වෙයි.. නමුත් සත්‍යයට පිටුපා සිටීම නම් මා මිය ගිය මළකඳක් සේ දැනීමකි.


එනිසා දිවි ඇති තෙක් එසේ නො කරම්.. දිවි ඇති තෙක් නො කරමිමයි.