top of page

බණ දැනගෙන නිවන් නොයන්නේ ඇයි ?

මා මේ ලිපිය ලියන්නේ කිසිවෙක්ට උපහාසයට නොව.. යම් අවබෝධයක් කරා ගෙනයන්නට උපකාර කිරීමක් ලෙස ය.


අපි බෞද්ධ සමාජයක් දහමින් පෝෂණය කර සාංසාරික වශයෙන් ලබන දුක් කන්දකින් එතෙර වන්නට සමාජයට මග කියන භික්ෂුන් වහන්සේලා ය.


ඒ කැපකිරීමට අපි සිත් යොමු කරන්නේ කරුණු කීපයක් පදනම් කරගෙන ය.. මා අනිත් භික්ෂුන් වහන්සේලා ගැන කියන්නට නො දනිමි.. නමුත් මා ගැන දනිමි.


සමාජ වුවමණා එපාකම් වලට අනුව අයාලේ ගසා ගෙන ගිය ජීවිත තිබූ අප ස්ථීර ලෙසම සුවපත් විය හැකි මාර්ගය තථාගත දහමම යැයි දුටු දින ම ගත් අධිෂ්ඨාන සහිතව පැවිදි බිමට පිළිපන්නො වෙමු. පිළිවෙත් පිරුවෙමු.. සැක සහිත තැන් මතුවන විට මාර්ගය පිරිසිදු කරගන්නට පෙල දහම් හැදෑරුවේ ය.


කලක් යන විට දහමින් ලැබෙන ආධ්‍යාත්මික සංවරය ද, අට ලෝ දහමෙන් කම්පා නොවීමේ කුසලතාවය ද නිසා අප ජීවීත සන්සුන් වූ අයුරු, මේ ජීවිතයේම ලැබෙන සුඛ විහරණයන් ගැන සිතමින් "අනේ මේ අහින්සකයන්ටත් මේ ගැන කියා දිය හැකිනම්" යන සිතිවිල්ලෙන් එයට ඉඩ ධර්මයේ ඇත්දැයි සෙව්වෙමි.


එවිට දුටු අවකාශ ගෙන මිනිසුන්ට ධර්මය මතු කරමින් අධර්ම මත අවශ්‍ය තැනදි ඛණ්ඩනය කරමින් අපි සසුන් කිස කරමින් සිටිමු.


මේ බණ අහන, අපගේ ක්‍රියා දකින උපාසක මව්වරුන්ගේ පියවරුන්ගේ උපදෙස් අනුශාසණා වලින් නම් අපට කිසිම අඩුවක් නැත.


01. ලාභ සත්කාර වලට නම් අහු වෙන්න එපා අපේ හාමුදුරුවනේ.


02. බණ නම් හොඳයි, ඒත් අන්න අර වචනෙ වෙනුවට මේ වචනෙ දාගන්න පුලුවන් වුනා නම් නියමයි.


03. හිනා නොවී බණ කියන්න හාමුදුරුවනේ.


04. දැන්ම බණ කියන්න එලියට එන්න එපා හාමුදුරුවනේ.. තව ඉන්න.


05. කොහොම හරි මේ ජීවිතේ හාමුදුරුවො නිවන් දකින්න.


06. ගැටෙන්න යන්න එපා හාමුදුරුවෝ.


07. ඒ ගැටීම් වලින් වෙන්නෙ ඔබ වහන්සේ පිරිහෙන එක.


08. අඩුම ඉක්මණට ඔච්චර බණ දන්න එකේ ඔබ වහන්සේ සෝවාන් වෙන්න. 😊


ඔවැනි සිය දහසක් පෙන්වන්නට පුලුවනි.


පින්වත්නි.. මේවා අහන මට විටෙක මෙහෙම සිතෙයි.


දෙයියනේ මේ අම්මලා බණ දන්නවනි.. එතකොට නිවන් යන්නැත්තෙ ඇයි ? 🤔 දැන් අපි බණ කියන්න ඕන නෑ..නේ.


😊 පින්වත්නි.. අපි නිවන් දැක ඇත්දැයි නැත්දැයි ඔබ මැනපු නිර්ණායකය කුමක් ද ?


ඒවා ගැන ඔබ දන්නේ මොනා ද ? අපේ මානසික මට්ටමක් ගැන ඔබ විනිශ්චය කලේ කොහොමද ?


මේ මට එන ගැටලු ය.. මම ඕවා ප්‍රසිද්ධියේ අහන්නට නොයන්නේ සිත් රිදුම් ඇතිවේවි යැයි සිතා ය.


අපි සසර දුක දැක පැවිද්දට වන්නෝ වෙමු. අපි අපේ තරම ද සීමාව ද දනිමු.. ඒ ගැන මනා වූ සිහියක් ද ඇත.


ඔබ මෙතරම් බණ දන්නවා නම් මතුවට අපි ඔබට බණ කියා වැඩක් ද නැත. 😊


බණ දැන ගෙනම නිවන් නොයන්නේ ඇයි ? මේ මට ආ ගැටලුවකි.


අපි බණ කියන්නේ , අධර්ම මත ඛණ්ඩනය කරන්නේ සිහියෙනි.. වුවමණාවෙනි.. ලැබූ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ගැන තුට්ටුවකට මායිම් නො කරය.. අපට ඒවා ඵලක් නැත..වඩා වැදගත් වන්නේ සසුන ය.. අපි සසුන වෙනුවෙන් මිසක් දායකයන් වෙනුවෙන් සසුන් වැදුණෝ නොවෙමු.


එය සිහි නුවණින් දරාගෙන අපෙන් ගත හැකි යමක් ඇත්නම් එය ගනිත්වා.. නැතිනම් මේ භව දුක දන්නා ක්‍රමයකින් නිමා කරගනිත්වා යි මෙත් සිතින් සිහිපත් කරන්නේ භික්ෂුවක් සමග හැසිරෙන විට ඔබේ සීමාව තබාගත යුතු තැන ගැන නැවත සිහි කැඳවමින් ය.. ගුණ මහත් වීම නිසා විපාකය දරුණු වැඩි වීම සිදු විය හැකි බැවිනි.


අප බුදු පුතුන් වෙමු.. සසුන් කිස කරන්නෝ වෙමු.. අර්ථයක් මිස මෙයින් වන අනර්ථයක් නම් නැත.. ඉක්මීමක් නැත.. අප මෙහි ආවේ ඇයිදැයි අපිම දනිමු.. සීමාවේ ම කටයුතු කරමි.. තරමක් මුරණ්ඩු බව පෙනෙන්නේ කළ යුතු දේ, කිව යුතු දේ, කළ යුතු තැන, කිව යුතු තැන කියන, කරන නිසා විය යුතු ය.. ඒ ගැන අනුකම්පා කරන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.


තෙරුවන් සරණ පතමි.


මා සසුන් හිත කැමැති කළ්‍යාණ මිතුරෙක් වෙමි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero





bottom of page