top of page

කාළි යනු චාතුම්මහාරාජික දිව්‍ය තලයෙහි වසන විරූපාක්ෂ නම් මහ රජුගේ දියණියයි. ඇයගේ සත්‍ය නම කාලකණ්ණි නම් වෙයි. ඇය කාල වර්ණ සහිතව අප්‍රිය පෙනුමකින් සිට ඇතැයි ජාතක පාලියෙහි ඡක්ක නිපාත අටුවා විස්තරයේ ඇති සිරි කාළකණ්ණි ජාතකයෙනහි දක්නට ඇත.


එමෙන්ම ඇය ආනාචාරී, දුස්සීල ස්ත්‍රියක් බවත් එහිම සඳහන් වෙයි. ඇයට කියන තවත් නමක් ද ඇත. ඒ අලක්ෂ්මී යන්නයි.


ඇගේ ඇති කිපෙන සුලු බව නිසා ද, ක්‍රෝධ භාවය නිසා ද ඇයට "චණ්ඩී" යන නම දැමූ බව එහිම සිහිපත් කර ඇත.


ඇය කිනම් පුරුෂයෙක් ඇසුරු කිරීමට වඩා රුචි ද යන්න එකළ බරණැස් නුවර සිටි බෝසත් සුචිපරිවාර නම් සිටුවරයා ඇගෙන් විමසු විට ඇය විසින් "මා ගුණමකු වූ, අනුන්ගේ දොස් දකින, එකටෙක කරන, ඊර්ෂියා ගති ඇති, කපටි ගති ඇති, අනුන්ගේ දේපළ විනාශ කරන පුරුෂයන් ප්‍රිය ය" යනුවෙන් කියා සිටියේ ය.


"තව ද මා විසින් කිපෙන සුළු වූ, වෛරී වූ, කේලාම් කියන, අනුන් බිඳවන, සදොස් වචන ඇති, පරුෂ වචන ඇති, වැඩ හෙටට කල් දමන, අවවාද ලබන විට කිපෙන සුළු, උතුම් මිනිසුන් පහත් කොට සිතන, පස්කම් ගුණයෙහි වඩා ලොල් වූ පුරුෂයා වඩා ප්‍රියෙන් යුක්තව ඇසුරු කරන්නෙමි"යි ද ඇය විසින් ම එහි දී කියනු ලැබුවේ ය.


එම ගාථා පහත දක්වන්නෙමි.


මක්ඛී පළාසී සාරම්භී - ඉස්සුකී මච්ඡරී සඨො

සො මය්හං පුරිසො කන්තො - ලද්ධං යස්ස විනස්සති.


කොධනො උපනාහී ච - පිසුණො ච විභෙදකො

කණ්ඩකවාචො ඵරුසො - සො මෙ කන්තතරො තතො.


අජ්ජ සුවෙති පුරිසො - සදත්ථං නාවබුජ්ඣති

ඔවජ්ජමානො කුප්පති - සෙය්‍යං සො අතිමඤ්ඤති.


දවප්පලුද්ධො පුරිසො - සබ්බමිත්තෙහි ධංසති

සො මය්හං පුරිසො කන්තො - තස්මිං හොමි අනාමයා.


මේ කතාව ඇසු "සුචිපරිවාර" නම් වූ අප මහ බෝසතාණන් වහන්සේ විසින් ඇයට ;


අපෙහි එත්තො ත්වං කාළි - නෙතං අම්හෙසු විජ්ජති

අඤ්ඤං ජනපදං ගච්ඡ - නිගමෙ රාජධානියො.


යන ගාථාව පවසමින් "කාළිය, බෝසත්වරු ලග එවැන් අගුණයන් නම් නැත. සුදුසු කම් ඇති වෙනත් අයෙක්ව සොයා ගනුව"යි පවසමින් "කැමති රාජධානියකට පිටත්ව යව"යි එළවා දැමුවේ ය.


එම වචන වලින් මහත් අපහසුතාවයට පත් වූ කාළි බෝසතුන් හට "ඔබ සතුව ඒ ගුණ නැති බව අප දනිමු. ලොව බොහෝ ධනය තණ්හාවෙන් රැස් කරන, පින් නැති අය ඇත. අප දෙදෙනා එක්ව ඔවුන්ව විනාශ කරමු"යි නැවත ආයාචනා කලේ ය.


එයත් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඇය කිපී එතැනින් පිටත්ව ගියේ ය.


අනතුරුව එතනට පැමිණි "සිරී" හෙවත් ශ්‍රියා නමින් ද, ලක්ඛී හෙවත් ලක්ෂ්මී නමින් ද හඳුන්වන ධෘතරාෂ්ඨ දිව්‍ය රජුගේ දියණිය වන දිව්‍ය කාන්තාව පෙර කී අගුණ හැර විරුද්ධ වූ ගුණයන්ගෙන් යුක්ත අයව ඇසුරු කිරීමට රුචි ය යනුවෙන් සිහිපත් කිරීමෙන් බලාපොරොත්තුවෙන් ආ නො ඉඳුල් ආසනයත් පළගත් බෝසතුන් වෙතින් ලැබී ය.


ඇය සිටි යහන එදා පටන් "සිරියහන" නම් වූ බව එහි දක්වා ඇත.


මෙයින් පෙනී යන කරුණු කීපයක් ගෙන නැවත ඒවා විශ්ලේෂණය කරමි.


මේ සියල්ල පිරික්සා බැලූ කළ "කාළි" යනු "කාළකණ්ණී" නම් ඇතිව එවැනිම වැඩ කරන අය අතරට ගොස් ඔවුන්ව ක්‍රමයෙන් විනාශ මුඛයට ඇදගෙන යන දිව්‍ය කාන්තාවක් බවත් "ලක්ෂ්මිය" යහපත් ක්‍රියා ඇතිවුන් ලඟ දැවටෙන බවත් දක්වා ඇත.


එකක් සිහි තබා ගත යුතු ය. ලක්ෂ්මී යනු අද ඇතැම් තැන් වල ගසා තිබෙන අත්ලෙන් සල්ලි දාන යන්ත්‍රයක් නොවන අතර ඇයගේ ලංවීමෙන් කිසිවෙක්ට යහපත පමණක් උදාවිය හැකි බව පමණක් දත යුතු ය. නමුත් ඇය ලංවන්නේ එවැනි ගුණ ඇති අය ලඟට පමණක් බවත් තදින් සිහි තබා ගත යුත්තේ ය.


තව ද අප විසින් අපගේ මුරණ්ඩු දරුවන් ගැන මෙන්ම වෙනත් දෙවියන්ගෙන් කරන ඉල්ලීම් ගැනද සිතා බැලිය යුතු අතර, දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රධාන රජවරයෙක් බවට පත්ව සිටි විරූපාක්ෂ දෙව් රජුගේ දුවත් චණ්ඩ ගති පැවතුම් වලින් යුක්තව සිටි බවත් එහි සඳහන්ව ඇති බවද අමතක නො කළ යුතු ය.


එනිසා පිළියම දරුවා නිවැරදි කරවීම නොව, දරුවන් නිසා දුක් ගෙන දෙන සසරෙන්ම නික්මී යෑමම බවත් එයින්ම ගම්‍ය වෙයි.


අද මිනිසුන්ට මේ දෙවිවරුන්ගේ පිහිට රැකවරණය නැත්තේ ද, සසුනේ ඇති පොතෙන් නම පමණක් ගෙන බොරු ආටෝප දමන නිසා විය යුතු ය.


අද දේවාලයකට ගොස් පිළිම දෙස බැලූ කළ මිනිසුන්ගෙන් වැඩිම පූජාවට පාත්‍ර වන්නේ දරුණු ආයුධ සහ වැඩිම ආයුධ අතැතිව සිටින "කාළි" වැනි චණ්ඩ ගති පැවතුම් ඇතියන් ය.


මේ වර්ථමානයේ දුක විකුණන් කන ඇතැමුන් "කාළිගෙන් ලත් පැණි" ආදිය සමග ප්‍රමාද වන විට අපට සිතෙන්නේ කාළිට පැණි දෙන්නට පුලුවන් වූවා නම් කොරෝනා වැළක්විය හැකි නොවුණේ ඇයි යන්නයි.


පැණිය යහපත් වන්නට ඇත. ඒවා ඖෂධ ය. කාළි වෙදෙක් බව නම් මෙහි දක්වා නැත. කාළි මෙවැනි යහපත් වැඩ වල යෙදෙන බවක් ද එහි දක්නට නැත.


ඕරා සංකල්පය ගැනත් මදක් ලිවිමට කැමති ය. ඕරා පරීක්ෂණයෙන් ශරීරයක ඇති වැඩිම ඕරාවන් එළියට එන්නේ හිසෙන් බව සොයාගෙන ඇත. මේවා කල්පනාවට ගෙන ඇතැම් මිනිසුන් යමෙකුට කරදරයක් වූ විට ඒ ඕරාවන් හිසෙන් එලියට ඇද ගැනීමේ කල්පනාවක ප්‍රතිඵලයක් ලෙස "ඔලුව වටේ පොල් ගෙඩියක් කරකවා දෙවියන්ට ගැසීම" වැනි සිද්ධීන් දක්නට ඇත.


පොල් යනු විෂ අදින දෙයකි. කට්ටක් ඇනුණු විට අප විසින් පොල් සහ කහ එහි බඳින බව ඔබ දන්නවා ඇත.


මේ ලෙසම පොල් තෙල් ඔලුවේ තැවරීමේ පටන් නොයෙක් වෙදකම් වලට පොල් යොදාගන්නා බවත්, ඕරා වැනි පරික්ෂණ නිසාත් යමෙක්ට කරදරයක් වූ පසු ඔහුට පොල් ගෙඩියක් දී හිස වටේ තුන්වරක් කරකවා අර විෂ ඒ හරහා ඇදීමට යොමු කරයි.


අනතුරුව හිතේ ඇති දුක හෝ තරහව පිටවන්නට දෑතේ වෙර යොදා පොල් ගෙඩිය බිමට ගසයි. එයින් ඔහුගේ සිතට යම් සුවයක් තාවකාලිව දැනෙනු ඇත.


කාලය හරහා ගැටලු සියල්ලක්ම පාහේ විසඳෙන නිසා ඒ තාක් සිදු කළ යුතු ඉවසීම වෙනුවට ඒ ඉවසන කාලය ඔහුගේ ගැටලුව දෙවියන්ට භාර කර ඔහු පිටත්ව යයි. දෙවියන්ට භාර දුන් නිසා ඔහු ඒ කාලය ඉවසීමෙන් ගත කරයි.


කාලය හරහා පිළිතුර එන විට ඔහු දේව විශ්වාසයකට ගොස් අන්ධ බාල ලෙස ස්වකීය ජීවිතය විනාශ කර ගනියි.


සෙසු සියල්ලක්මත් එලෙසම ගත යුතු ය. මිනිසුන් තමන්ගේ ගැටලුවෙන් එන මානසික ආතතිය දේවාල වලින් පිටකර ගනියි.


මේවා වරදක් හැටියට සිදු වන්නේ මිථ්‍යා මතවාද සමග මේ දේවල් වල අන්ධ භක්තියෙන් පැටලීම නිසා ය.


නමුත් පෙර කී ජාතකයේම ලක්ෂ්මිය විසින් ඔවුන්ගේ හා අපගේ තත්වය දැක්වූ ගාථාවක් උපුටා තබමින් ඉතිරිය ඔබට කල්පනා කරන්නටද ඉඩ තබමින් සටහන නිම කරමි.


අත්තනා කුරුතෙ ලක්ඛිං, අලක්ඛිං කුරුතත්තනා;

න හි ලක්ඛිං අලක්ඛිං වා, අඤ්ඤො අඤ්ඤස්ස කාරකොති.


අර්ථය -


"කිසිවෙක්ට කිසිවෙක් කෙරෙහි වාසනාව හෝ අවාසනාව සකස් කළ නොහැක. තමන් විසින් ම තමන්ගේ දියුණුව හෝ විනාශය සිදු කරගනියි"


(අද කළ යුතු දේ හෙටට කල් නො දමා අදම කරන අය වැනි උට්ඨාන වීර්‍යයෙන් යුතු මිනිසුන් ජීවිතය සාරවත් කරගන්නා අතර කුසීතයන් තමන් විසින් ම ස්වකීය දිවිය අගාධයට ඇදගෙන යති)


මෙත් සිතිනි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero





bottom of page