top of page

කළගුණ දත් මිනිසුන් ලෝකයේ දුර්ලභය..

මා මේ ලියමන ලියන්නට කල්පනා කළේ වැදගත් කරුණු කීපයක් කැටි කරමිනි.


පහුගිය කාල වකවානුව තුළ ම පැවිදි දිවියට පත් වූ ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරු කීපදෙනෙක් ම සෙනසුනෙන් බැහැර වූ අතර ඒ සියල්ලන්ගේ ම ක්‍රියාකලාපය දෙස බලා සිටින විට, මා වටහා ගත්තේ මිනිසුන් නොමිනිසුන් වන වේගය ම ය.


ඔවුන් ගේ බැහැරවීම් වලට සාධාරණ හේතු මා සක්සුදක් සේ දනිමි. නමුත් ඔවුන් ඒ වැරදි මා හට විවර වූ පසු මා දුන් සමාව ගෙන නිවැරදි වීම පසෙක ලා ඔවුන් සෙනසුනෙන් පිට වෙයි.


පිට ව ඔවුන් ගියේ ඇයි දැ යි අසන හැමටම මා ගැන චෝදනා කීපයක් ගොනු කරන්නට උත්සහ කරන බව මා මැදිහත් සිතින් බලා සිටිමි.


මෙතෙක් ඔය ගිය ස්වාමීන් වහන්සේලා අතර එක් ස්වාමීන් වහන්සේ නමක් සෙනසුනට ආ ස්ත්‍රී දැරිවියක් සමග සම්බන්ධතාවයක් පටන් ගෙන නො ඇසිය හැකි පරුෂ වචන වලින් අදහස් හුවමාරු කරගෙන තිබූ අතර, එය හසුවීම නිසා සෙනසුනෙන් බැහැර වූයේය.


එලෙස විටින් විට ස්වාමීන් වහන්සේලා ව සෙනසුනෙන් බැහැර කරන අතර සමාන වරදවල් කල මෑණිවරුන්ටත් සුජාත දියණිය අහිමි විය. සඳහන් කලේ එක් සිදුවීමක් පමණි.


නමුත් අධික කාමුක ගැහැණුන් අලලා ඔවුන් දැන් අලුත් නාඩගමක් නටන්නට උත්සහ කරන බව මා සටහන් කර ගත්තත් තවමත් මට දරුවන් සේ හදා වඩා ගත් උන්වහන්සේලා ගැන වචනයක් කියන්නට සිත ඉඩ නො දෙයි.


නමුත් මට කීමට එක දෙයක් තිබේ. මා පැවිද්දේ ඇවිද ඇති දුර ඉතා ම දිග ය. දැන් මට කොතනත් කොහොමත් එක ය.


එළියට ගිය අසත්පුරුෂ අඥානයන් ගේ කණ්ඩායම දැන් ලොකු ය. 😅 ඒ අතර භාරකාර මණ්ඩලයේ ප්‍රධාන තැන ගන්නට පොර කෑ අයවළුන් ද සිටී. 😅


ඔවුන් ⁣ගේ පව් පින් නො දන්නා කටවල් වලට දිගක් පළලක් නැත. පින්කම් මුවාවෙන් මුදල් හම්බ කරන ඔවුන්ට හිරි ඔතප් දෙකක් නැත.. එනිසා මෙය එවැන් ලාබාල ගිහියන් පසෙක ලා, යමක් තේරෙන හිමිවරු අරඹයා සිහිපත් කරමි.


පාඩුවේ පුරන පැවිද්දට තව දුරටත් අසත්පුරුෂ ගති පෑමෙන්, ඔය ගිය ස්වාමීන් වහන්සේලාට සිවුර ද අහිමි ව ගෙදර යෑමට සිදු වෙනු ඇති බව ඔබ වහන්සේලා ම දන්නා බව මම දනිමි.


දුවලා සහ මෑණියන් ගෙදර එක්කන් ගිය මව්පියවරුන්ටත් කීමට ඇත්තේ එය ම ය. ඔවුන් ගේ පැටිකිරිය සමාජය ඉස්සරහා දිග හැරීම දුවට, අම්මට පමණක් නොව පවුලට ද හානිකර බව ඔබ ම ඔවුන්ගේ විස්කම් දැක, දන්නා බව මම සිතමි.


එනිසා ගිය පාඩුවේ පිළිවෙත් පුරන් නො සිට මට මේවාට පිළිතුරු බඳින්නට ඉඩ නො තියන මෙන් මෙත් සිතින් සිහිපත් කරමි. එසේ වුවහොත් සමාජයට පිළිතුරු බැඳීමේ දී මම සීමාවක් තබා නො ගන්නා බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.


මෙය ලියා තැබුවේ වැරදි කර සෙනසුනේ පහ කළ ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරු ගැන කරුණාවෙනි.. නො කර ගිය අය කලබල වීම අවශ්‍ය නැත. කළ අය කලබල වීම සාධාරණ ය. 😀 පුහුල් හොරු එයින් දැනෙනු ඇත.


ඒවාට හසු වූ ගැත්තන් ගැන ඇත්තේ අසූචි වලකට පෙරලුණු සූකරයන් ගැන මෙන් අනුකම්පිත හැඟීමක් වන අතර ඒ ඒ අය කී දේවල් වල වැඩි විස්තර මාගෙන් දත හැකි බව මෙත් සිතින් ම සිහිපත් කරනු ද කැමැත්තෙමි.


මාරයා තිරස් අතට නිවන් මග වැතිරී ඇත.. ප්‍රවේසම් වනු.


තව දුරටත් මා විසින් කළ පැවිදි කිරීම් වැනි දෙයෙහි වේගය බාල වනු ඇත.. එම බලවත් චිත්තයෙහි කළ කී ⁣සියළු දෙයෙහි විපාක දෙන සසර සුවපත් නො වනු ඇත.


කළ්‍යාණ මිත්‍ර භාවයන් ලැබෙන අවසන් ආත්ම භාවය සෙමින් පැමිණ, ඉක්මණින් ඉක්මවා යමින් තිබේ.


😊 ලොකු ස්වාමීන් වහන්සේ.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 10.04.2023




bottom of page