top of page

පිටිදුවේ සිරිධම්ම හිමි සමග එක්වීම..

පිටිදුවේ සිරිධම්ම හිමි සමග එක්වීම..


දැන් සමාජයේ මාතෘකාව ය..


මා කිසිසේත් එය නැවත ඉල්ලා අස්කරගන්නේ නැත.. එමෙන්ම උන්වහන්සේ සමග ඇති ඇසුර නවත්වන්නේ ද නැත..


උන්වහන්සේ දරන ධර්ම මතය විවේචනය කළ යුතු තැන මා වෙනස් නැතිව උන්වහන්සේව වි⁣වේචනය කරනු ඇත.. නමුත් දැන් මට එය තවත් පහසු ය.. උන්වහන්සේ නැති තැන මුහුණු පොතේ තනියම කළ විවේචනය දැන් මට උන්වහන්සේ හමුවීම සිදු කළ හැකි ය..


එය ද උන්වහන්සේ යම් විදියකින් ධර්ම මතය හානි කරන තැන් වෙතොත් ධර්ම සාකච්ඡාවකින් එය නිවැරදි කර උන්වහන්සේ සමග සාකච්ඡා කොට නිවැරදි මාවතට ගැනීමේ අභිප්‍රාය සහිතව ය..


උන්වහන්සේ අධර්ම මතයක් දරන්නේ ය, එනිසා මා උන්වහන්සේ භජනයවත් කරන්නේ නැතැ ය යන අන්ධ දෘෂ්ඨියේ නම් මම නොසිටිමි..


මා හට නොයෙක් අවලාද මැසිවිලි නිතර නගන ඉන්දික තොටවත්ත වැනි අය සමග වූවද මා ඉතා කුළුපගව කථා කරන බව ඔවුන් විසින්ම සාක්ෂි දෙනු ඇත.


මා නිදසුනක් ගනිමි.. ඒ අද සමාජයේ ඉතාම ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ය..


උන්වහන්සේ විසින් නොයෙක් තැන්වල ධර්මයට විරුද්ධ මත කියා ඇති බව මා දැක ඇත.. ඒවා සුලු දේවලුත් නොවේ.. නමුත් එය අපි කළ්‍යාණ මිත්‍ර භාවයෙන් නිවැරදි කළා මිස, උන්වහන්සේ සමග වූ භජනය හැර නැත.. මෙසේ මා ලඟින්ම ඇසුර කරන භික්ෂුන් වහන්සේලාගේ වූව ද අපි අධර්ම මත ලෙන්ගතුව ⁣ඕනෑතරම් පෙන්වා දී ඇත..


සිරිධම්ම හිමියන්ද මා සලකන්නේ එලෙස ය.. නිවැරදි කරගත යුතු තැන් සුපුරුදු ලෙස නිවැරදි කිරීමත් කළ යුතු ම වූව ද භජනයෙන් වෙන් වීමත් අපෙන් ලැබිය යුතු පිළිතුර නොවේ..


කෙසේ නමුත් මා හ⁣ට වනගතව සිටි කාලයේ දී විවිධ විප්‍රකාර දොඩවන හිමිවරුන් මට හමු වී ඇත.. ඇතැමුන් රහත් කියාගෙන එයි.. ඇතැමුන් පෙර භවය පෙනේ යැයි කියයි.. ඒ සියල්ලෝම ධර්මය නොදන්නා කමට කී කථා යැයි සිතමු..


මෑත කාලයේ ලොකු හාමුදුරුවෝ අපවත් වූ විට උන්වහන්සේ සිටින්නේ අසවල් බඹ ලොව ය.. මෙපමණ සමාපත්ති ලැබ සිටියේ ය යන්න පුරම්බාමින් ලාභ සත්කාර උදෙසා ප්‍රතිපත්තීන් සවලක තබා දායකයන් ලඟ තැබූ ආයතන අප දැක ඇත.. ඒවා දැක ඇති අපට මේවා අරුම නොවේ..


ජාතික ශාසණික මෙහෙවර වෙන්ව හඳුණාගැනීමට සක්‍යතාවය නැතිව තැන තැන නන් දෙඩෙව්වාට අපට ඇත්තේ ඔවුන් ගැනත් මේ හිමිවරුන් ගැනම ඇති අනුකම්පාවෙන් කොටසක්ම ය..


පිටිදූවේ සිරිධම්ම හිමියන් කුමන දේශපාලන මතවාදය දැරූවද, කුමන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියද එය මට ඵලක් නැත..


ගරු නිකායක් ලෙස සලකන රාමඤ්ඤ මහා නිකායේ භික්ෂුන් වහන්සේලා පවා දේශපාලන පක්ෂ වලට කඩේ යන බව සක්සුදක් දන්නා මට එය ගැටලුවක් නොවේ.. උන්වහන්සේගේ දේශපාලනය උන්වහන්සේට ය..


මා පෙනී සිටින්නේ උන්වහන්සේගේ දේශපාලනය මතය වෙනුවෙන් නොව, කාලයේ අවශ්‍යතාවය වෙනුවෙන් ය..


මා සමාජය වෙනුවෙන් උන්වහන්සේ සමග හඳුනාගැනීමක් සිදු කළ ද, ධර්මය වෙනුවෙන් මාගේ පියතුමන් මීනි වලෙන් නැගිට ඇවිත් අධර්ම මතයක් කී තැන මමම එය පටිභාහනය කරමි..


උන්වහන්සේව ඇසුරු කළ ද උන්වහන්සේගේ Birthday පාටි වල ඌරුමස් බුදින්නට මා නොයමි. එය උන්වහන්සේ එසේ කළ හොත් හෙට ද අනිද්දාද විවේචනයට බඳුන් වනු ඇත..


එය අපගේ ධර්ම සංවාදය ය.. නමුත් මේ අපගේ මිනිසත් බව ය..


මෙතෙත් කල් මා සිරිධම්ම හිමියන්ව විවේචනය කළ විට එයින් ඇතැම් හිමිවරුන්ට නැති වූ ප්‍රමුඛත්වය සුදුසු තැන ආ විට ලබාගනිමියි සිතා උන්වහන්සේ සමග එක් වූ විට බණ දෙසන හිමිවරුන්ටත් ගිහියන්ටත් මට කීමට ඇත්තේ මෙපමණකි..

මා අධර්ම මත පටිභාහනය කරමි.. ධර්මය වෙනුවෙන් පෙනී සිටිමි.. නමුත් අප හට පුද්ගල බද්ද වෛරයක් නැත.. ඇති කරගන්නේද නැත..


දේවදත්තයන් නැවත ආවත් ඔහු අපේ බුදුන්ට ගල් පෙරලුවේය යන්න සිතා ඔහුට රැවීම පසෙකලා මම ඔහුට සිනාවක් හෙලනු ඇත..


පෙරලූ ගල පාදයේ වැදුණු බුදුරජාණන් වහන්සේගේ සිතේ ද අල්ප මාත්‍ර වෛරයත් ඇති නොවූ සේක..


පසෙක සිටින අප වෛර ඇති කරගන්නේ ඇයි ? 😊

ඉදිරියේ දි අපි පැතිකඩ කීපයකින් වැඩ රාශියක් කරමි.. දිගටම අධර්ම මතය ගැන සංවාද කරමි..


තවද කිව යුත්තක් ඇත.. මා දෙහිවල සිරි සදහම් ආශ්‍රමයට ගිය පසු සමාජය නොදන්නා දේවල් රැසක් මම උන්වහන්සේ ලඟ, එම විහාරය තුළ දුටිමි.. ඒවා ඔබ⁣ටද දැනගැනීමට ඉදිරියේදී සලස්වමි..


නමුත් උන්වහන්සේ පෙර දැරූ ධර්ම මතය ගැන මට පෙර විවේචනයම අඩු නැතිව ඇත..


මා පෙරද අධර්ම මත ඇති නාලිකාවලට විවිධ අවලාද මැදම වැඩම කොට එය කාලය සමග නිවැරදි තැනට ගත්තේ ය.. එදා මට දොස් කී හිමිවරු අද එහි බණ කියති.. 😊


එදා එය මිනිසුන්ගේ Bed Room Channel එක බවට පත් වී තිබුණි.. අද ඔබ මගේ බණ අසන්නේද ඒ දුෂ්කර ව්‍යායාමය නිසා බව මතක තබා ගත යුතු ය..


එනිසා මේවා ඔබට අමුතු දේවල් වුණාට මට නම් එහි ඇති අමුත්තක් නැත..


Siri Sadaham Ashramaya 😊


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 29.01.2023



bottom of page