top of page

තුති පූජාව මහත් ආනිශංස ගෙන දෙන්නක් ය..

තුති පූජාව මහත් ආනිශංස ගෙන දෙන්නක් ය..


මේ අපූරු නිර්මාණය හරහා තමන්ගේ හදවත වචන කර ස්තූති පූජාවක් සිදු කළ #යසස් අම්මාට නො නවතින කළ්‍යාණ මිත්‍ර සේවනය කෙළවර උතුම් නිර්වාණය වේවා ! ඒ සඳහා මේ අසංඛාරික තුති පූජාව ඒකාන්ත පාරමිතාවක් වේවායි මෙත් සිතින් පතමි..


ස්තුති පූජාව යනු කුමක් ද ?


මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය.


ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති.


දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති.


ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි.


රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය.


එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක් වන්නාක් මෙන් ස්තුතියෙන් පිදීම ද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා, වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තුති පූජාවකි. ගුණ සිහි කරගැනීමට පමණක් නොව ස්තුති පූජාවක් වශයෙන්ද ඒ ගාථා වාක්‍ය‍යන් කිය හැකි ය. කිව යුතු ය.


බුදුන් වහන්සේ උ⁣දෙසා කළ ස්තූති පූජාවක අනුහස් මෙසේ ය.

අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමිභාගයක අසපුවෙක තව්සෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්ය‍යවරයෙකු සොයමින් වනයෙහි ඇති මූල ඵලයන් ආහාර කොට ගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අට වසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තව්සාට ද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය.


තුවං සත්ථා ච කේතු ච ධජො යූපො ච පාණිනං,

පරායනො පතිට්ඨා ච දීපො ච දීපදුත්තමො.

නෙපුඤ්ඤො දස්සනෙ වීරො තාරෙසි ජනතං තුවං,

නත්ථඤ්ඤො තාරකො ලොකෙ තවුත්තරීතරො මුනෙ.

සක්කා භවේ කුසග්ගෙන පමෙතුං සාගරුත්තමෙ,

නත්වෙව තව සබ්බඤ්ඤු ඤාණං සක්කා පමෙතවෙ.

තුළා දණ්ඩෙ ඨපෙත්වාන මහිං සක්කා ධරෙතවෙ,

නත්වෙව තව පඤ්ඤාය පමාණමත්ථි චක්ඛුම.

ආකාසො මිනිතුං සක්කා රජ්ජුයා අංගුලෙන වා,

නත්වෙව තව සබ්බඤ්ඤු සීලං සක්ක පමෙතවෙ.

මහාසමුද්දෙ උදකං ආකාසො ච වසුන්ධරා,

පරිමෙය්‍යානි එතානි අප්පමෙය්‍යාසි චක්ඛුම.


සුමේධ බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පූජාව පිළිගෙන මහසඟන මැද හිඳ ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසූ ඒ තවුසා ඒ පිනෙන් සත් සැත්තෑ කපක් දෙව් ලොව දෙව් සැප විඳින්නේ ය. දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේ ය. වාර සිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේය. ගණනින් නිම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේය. මොහු දෙව් වුව ද මිනිස් වුව ද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේ ය. මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නේ ය. එකල මේ තෙමේ මිනිස් ලොව ඉපිද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදීම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.


ඒ තාපස තෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප තිස් දහහසක් වූ අතිදීර්ඝ කාලයෙහි එක වරකුදු දුර්ගතියට නො පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයෙහි සැරිසරා අප බුදුන් කාලයේ දී මිනිස් ලොව ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේ දීම රහත් ව:


“තිංස කප්ප සහස්සම්හි - යං ඤාණමථවිං අහං,

දුග්ගතිං නාභිජානාමි - ඵලං ඤාණස්ස ථොමනෙ.”

යනුවන් මම කල්ප තිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කළෙම් ද ඒ පිනෙන් මේ වනතුරු දුර්ගතියට නො ගියෙමි. මෙය ඥානයට ස්තුති කිරීමේ ඵලයයි ප්‍රකාශ කළේය.


මේ කථාව ඤාණාතවිකතෙරාපදාන යන නමින් අපදාන පාලියෙහි එන්නේ ය.


තවද මෝඝරාජ නම් තෙරුන් වහන්සේ නමක් අතීතයේ එක් ජාතියක දී මහසඟන පිරිවරා මහ මඟ වඩනා අත්ථදස්සී බුදුන් වහන්සේ දැක පැහැදී වැඳ මෙසේ ස්තුති කළහ.


යාවතා රූපිනො සත්තා අරූපී වා අසඤ්ඤුනො,

සබ්බෙ තෙ තවඤාණම්හි අන්තො හොන්ති සමොගධා.

සුඛුමච්ඡිකජාලෙන උදකං යො පරික්ඛිපෙ,

යෙ කෙචි උදකෙ පාණා අන්තො ජාලෙ භවන්ති තෙ.

යෙසං ච චෙතනා අත්ථි රූපිනො වා අරූපිනො,

සබ්බෙ තෙ තව ඤාණම්හි අන්තො හොන්ති සමොගධා.

සමුද්ධරසිමං ලොකං අන්ධකාරසමාකුලං,

තව ධම්මං සුණිත්වාන කංඛාසොතං තරන්ති තෙ.

අවිජ්ජා නිවුතෙ ලොකෙ අන්ධකාරෙන ඔත්ථටෙ,

තව ඤාණම්හි ජොතන්තෙ අන්ධකාරා පධංසිතා.

තුචං චක්ඛුසි සබ්බේසං මහාතමපනූදනො,

තව ධම්මං සුණිත්වාන නිබ්බායති බහුජ්ජනො.


මෙසේ ගාථා කියා බුදුනට ස්තුති කොට අවසානයේ ගොටුවක් පුරා මී පැණි ද තථාගතයන් වහන්සේට පිළිගැන්වූහ.


තථාගතයන් වහන්සේ එය පිළිගෙන වළඳා අහසෙහි සිට ඔවුන්ගේ සිත් සතුටු කරවමින් මෙසේ වදාළ සේක.


මාගේ ඥානයට ස්තුති කළා වූ බුදුනට ස්තුති කළා වූ මොහු ඒ චිත්තප්‍රසාදය හේතු කොට මතු දුර්ගතියට නො පැමිණෙන්නේ ය. ඔහු මේ පිනෙන් තුදුස්වරක් දෙව්ලොව රජ කරන්නේ ය.


අටසිය වරක් පොළොවෙහි රජ වන්නේ ය. පන්සිය වරක් සක්විති රජ වන්නේය. ප්‍රමාණවත් නැති වාරවල ප්‍රදේශරාජ වන්නේ ය. අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිව මෝඝරාජ යන නාමයෙන් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.


ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වන්නා වූ මොහු බුදුන්වහන්සේ රූක්ෂචීවරධාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාරන්නාහ.


මේ කථාව අපදාන පාළියෙහි මෝඝරාජ ථෙරාපදාන නාමයෙන් ආයේය.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.03.2023

bottom of page