top of page

බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන්ටත් වැරදුණු තැනක්..

ලංකාවේ කොමියුනිස්ට් වාදය ආරම්භ වෙච්ච මුල් කාලෙයේ මේක මොකක්ද කියලා මා බොහෝ දෙනාගෙන් ඇහුවා.


ඒ දිනවල මා නිතර නිතර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටත් ගියා. නාරාවිල ධම්මරතන ස්ථවිරයන් ආදි ඇත්තන් හමුවෙලා මේ ගැන කතා කළා. මොකක්ද මේ කොමියුනිස්ට් වාදය කියන්නේ ? කියලා මා ඒ ඇත්තන්ගෙනුත් ඇහුවා.


ඒ ඇත්තන් කිව්වා ‘ලැබෙන ආදායම සමසේ බෙදී යාමයි’ කොමියුනිස්ට් වාදය කියලා. මාක්ස්වාදය කියන්නේ ඒකයි කිව්වා, ඒ විතරක් නෙවෙයි ඒ ඇත්තන් ඒක හොඳට වර්ණනා කළා.


මා ඒ වෙලාවේ හිතුවා සංඝයාට ලැබෙන දේත් සංඝයා අතර පොදුවේ බෙදන්න කියලා විනය නීතියක් තියෙනවා. එහෙම නම් ගිහියාටත් මේ ක්‍රමය හොඳයි කියලා.


ඔය අතර අදිකාරම් මහත්තයත් මා ඉදිරියේ මේ ගැන වර්ණනා කළා.


කොමියුනිස්ට් දර්ශනය උච්ඡේදවාදයක් කියලා මා හිතාගෙන හිටියේ නැහැ. ඔය අතර ‘සිංහල ජාතිය’ පත්‍රයේත් සෝවියට් පාලන ක්‍රමය වර්ණනා කරමින් ලිපි පළ කරලා තිබුණා. ඒ නිසා මා කල්පනා කළා මේකට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ කියලා.


මේක බුද්ධාගමටත් විරුද්ධ දෙයක් නොවෙයි කියලත් මා හිතුවා. සමාජවාදය පිළිබඳව නැත්නම් මාක්ස්වාදය පිළිබඳව මගේ අදහස් ලියා එව්වොත් හොඳයි කියලා ‘මගේ සඟරාවේ’ කතෘ මට දන්වා එවා තිබුණා.


ඉතින් මා ලිපි දෙක තුනක් ඒකට ලිව්වා. බෞද්ධයන් මේකට බයවෙන්න හේතුවක් නැහැ කියලත් ලිව්වා.


සංඝයාගේ දේපොල පාලනය පිළිබඳව, සංඝයාට අධිකව ලැබෙන දේ පිළිබඳව අනුගමනය කළයුතු ක්‍රමය බුදුහාමුදුරුවන් වදාරලා තියෙනවා. ඉතින් ගිහි ජනතාවගේ ආදායම පිළිබඳවත් ඒ ක්‍රමය හොඳයි. ඒකෙන් බුද්ධාගමට හානියක් නැහැ. බෞද්ධයන් මේකට බියවෙන්න එපා කියලත් පැහැදිලිව ලිව්වා. ලියුම් කීපයක් එක දිගටම ලිව්වා.


‘මගේ සඟරාව’ මාක්ස්වාදී පක්ෂයකින් පළ කරපු එකක්. ටික දවසකින් මා මේ ගැන තවදුරටත් සොයන කොට මට වැටහුණා මා කළේ දුරදිග නොබලා අපරීක්ෂාකාරී වැඩක් කියලා.


මේ කොමියුනිස්ට් දර්ශනය නැවත ඉපදීම, බුද්ධාගමේ උගන්වන කර්ම විපාක නීතිය, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එකක් බව පස්සෙයි මට වැටහුණේ.


ශාස්තෘවරයකුට ගෞරව නමස්කාර කිරීම පුද්ගලාභිවාදනයක් හැටියට ඔවුන් හෙළා දකිනවා. ප්‍රතික්ෂේප කරනවා.


බුදුහාමුදුරුවන්ට කරන වන්දන මානන ආදිය පුද්ගලාභිවාදනයක් හැටියටයි ඔවුන් කියන්නේ. ඉතින් මේ විදියේ දර්ශනයක් තමයි කොමියුනිස්ට් දර්ශනය.


මේ අතර බුද්ධාගමේ එන සමහර කාරණා හෙළා දකිමින් ‘අලි බොරුව’ කියලා පොතක් ඒ අය පළ කරලා තිබුණා.


ඒ පොතේ සැරියුත් මුගලන් මහ රහතුන් වහන්සේලාට, සුද්ධෝදන රජ්ජුරුවන්ට එහෙමත් නිග්‍රහ කරලා තිබුණා. මේවා ගැන හොයලා බලන කොට මට තේරුණා මා දුරදිග නොබලා එක පැත්තක් විතරක් බලා අර ලිපි පළ කරවපු එක වැරදියි කියලා.


'මගේ සඟරාවේ' මා පළ කළ ලිපි අවලංගු කිරීමට, අරූඪ නමකින් ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට ලියන්න පටන් ගත්තා. ඒවා ලිපි පෙළක් වශයෙන් පළ වුණා.


ඒවායේ භාෂා විලාසයත් අමුතු විදියටකයි මා යෙදුවේ. මේ රහස දැනගෙන සිටියේ කළුකොඳයාවේ නායක හාමුදුරුවන් විතරයි. ඒ හාමුදුරුවන් මේ ලියුම්කරු සොයමින් සිටියා.


මා හමුවී කතා කළාම මා කිව්වා ඔය මායි ලියන්නේ කියලා.


මේක කාටවත් දැනගන්න බැරි වුණා. ඉතින් මේ ලිපි පළ කරගෙන යන කාලේ පියදාස සිරිසේන මහතා මාක්ස්වාදයට විරුද්ධව ‘සිංහ හඬ’ කියලා පත්තරයක් පටන් ගත්තා.


මටයි, වල්පොල රාහුල තෙරුන්ටයි, උඩකැන්දවල සරණංකර ස්ථවිරයන්ටයි තුන්දෙනාටම ඒ පත්‍රයේ බැණලා තිබුණා. මට මතකයි ඒකේ තිබුණ කවියක්.


කවිය ආරම්භ කොට තිබුණේ මෙහෙමයි.


‘උඩකැන්දවලයා – ගලේ රාහුලයා – ආනන්ද බලයා’

අනික් පේළිය මට මතක නැහැ. ඔන්න ඔහොම අපට බැණලා දිගටම ඒ පත්‍ර යේ ලිපි පළ කළා. වැඩිපුරම බැණලා තිබුණේ මටයි.


ඒ පත්තරේ ලියුම් පෙළ පියදාස සිරිසේන මහත්තයයි තවත් ඇත්තනුයි ලිව්වේ. මා ඉතින් උත්තර ලියන්න ගියේ නැහැ.

ඒ අය දන්නේ නැහැ, කොමියුනිස්ට්වාදයට විරුද්ධව ලිපි පෙළක් මා වෙන පත්තරයකින් ලියන බව.


මා එහෙම ලියද්දිත් මගේ අර මුල් ලියුම බලාගෙන ඒ ගොල්ලෝ මට බැන්නා.


මා කළ මෝඩකමට නිහඬව ඉඳගෙන බැණුම් ඇහිය යුතුයි කියලා මට හිතුනා.”


බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි ග්‍රන්ථයෙන්..


 Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 21.01.24

227 views
bottom of page