top of page

ඔබ ජීවත් විය යුත්තේ සමාජයේ සිටින මෝඩයන් නැළවීමට නොව, ධර්මයට සහ සත්‍යයට එකඟ ව ය..

මේ දින වල ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ඉතා සාවද්‍ය කථාවකි. ඒ “මිය ගිය පසු මිනිසුන් ගේ ගෞරවය ලැබෙන පරිදි ජීවත් ව සිටින කාලය තුළ ජීවත් විය යුතු ය” යන්න යි.


මෙය ඉතා ග්‍රාම්‍ය, පෘථග්ජන කාම සුඛල්ලිඛානුයෝගය ප්‍රිය කරන අනාර්ය මිනිසුන් ගේ අනර්ථ කථාවකි.


සමාජයේ මිනිසුන් කොට්ඨාස දෙකකි. ඒ ප්‍රඥාවන්තයන් සහ දුෂ්ප්‍රාඥයින් වශයෙනි.


මේ දුෂ්ප්‍රාඥයන් ගේ ගෞරයට පාත්‍ර වීම සුදනන් ට කිසිසේත් ම කළ හැකි දෙයක් නොවේ.


භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයේ දී ද සතුටු වූ සුභද්‍ර වැනි දුෂ්ප්‍රාඥයින් එකලත් විය. මෙකලත් ඕනෑ තරම් ඇත.

එනිසා අප ජීවත් විය යුත්තේ විඤ්ඤූ පුද්ගලයන් ගේ ගර්හාවට බියෙන් මිසක්, දුෂ්ප්‍රාඥයන් ගේ මාළු කටවල් වලට බියෙන් නොවේ.


භාග්‍යවතුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී මේ බව මනාව දේශනා කොට තිබේ. ඒ “න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙ‍ය්‍යං” යනුවෙනි.


මෙහි අර්ථය 'විඤ්ඤූ පුද්ගලයන් ගේ හෙවත් ප්‍රඥාවන්තයන් ගේ ගර්හාවට බඳුන් වන කුඩා හෝ වරදක් නො කර යුතු ය' යන්න ය.


එ නිසා ඔබ ජීවත් විය යුත්තේ සමාජයේ සිටින මෝඩයන් නැළවීමට නොව, ධර්මයට සහ සත්‍යයට එකඟ ව ය. මේ බව සුදනන් තදින් සිතට ගත යුත්තේ ය.


එසේ ධර්මයට සහ සත්‍යයට එකඟ ව ජීවත් වූ පසු ඔබ විරුද්ධ වූ සමාජ මතයේ සිටි මිනිසුන් ඔබේ මරණයේ දී සතුටු විය හැකි ය. එය මෝඩයන් ගේ හැටි ය. ඔවුන් ගේ අගුණය ය.


තමන් ට ගල් පෙරලූ දේවදත්ත ගේ මරණය සැලවීමෙන් පවා සතුටු නොවී, මධ්‍යස්ථ වූ භාග්‍යවත් අප මුනිඳුන් ගේ මහා කරුණාව අප ධාරණය කර ගත යුත්​තේ ය. ඒ බුදුන් වහන්සේ සහ ඒ මග යන බුදු පුතුන් ගේ පිළිවෙත බව දත යුතු ය.


එනිසා ධර්මයට සහ සත්‍යයට එකඟ ව ජීවත් විය යුතු ය.


බොහෝ මිනිසුන් ජීවත් ව සිටින කාලය තුළ තමන් ගේ මළ ගෙදරට මිනිසුන් එකතු කර කර සිටී. යන තැනකට දෙයක් එකතු කර ගැනීමට අමතක කරයි.


මිය ගිය පසු කිරිබත් නොව, මළ මිනිය උයා පිහාගෙන කෑවත් අපට එයින් ඇති ඵලක් නැත්තේ ය.


මෙය පැවිද්දා ගේ පැත්තට හැරෙන විට තව විශාල අර්ථයක් ගනී. එය ද මෙහි ලියා තැබිය යුත්තේ අනාගතයේ මේ ලියමන වැදගත් විය හැකි බව සිතමිනි.


අප මරණයේ ඇති භයානකකම සහ ජීවිතයේ ඇති නිස්සාරත්වය දැක ම පැවිදි භූමියට වන්නො වම් හ. දැන් අපි පැවිදි කිස සාර්ථක කරගෙන මරණය පාගා ගෙන ජීවත් වන පැවිද්දෝ ය.


මරණය අද හෝ හෙට හෝ නුදුරු දිනක නිසැකයෙන් ම සිදු වනු ඇත. අප එයට ඇති බිය දුරු කර දැන් වසර කිහිපයක් පසු වී ඇත. දැන් මේ ස්කන්ධයෝ වැටෙන තුරු ඇඟිලි ගනිමින් කල් මරමින් සිටිමි.


එනිසා අප ගේ මරණයෙන් රට ම සතුටු විය යුත්තේ ය. කිරිබත් ඉවිය යුතතේ ය. ඒ අප ගේ පැවිදි කිස සාර්ථක කර ගැනීමේ සතුට නිමිති කර ගෙන ය. දුෂ්කර ස්කන්ධ පෙලීමෙන් නිදහස් වූ බව සිහිපත් කර ගෙන ය.


මිනියකට ගෞරව දැක්වීමෙන් අපට ඇති ඵලක් නැත. තමන් ගේ දෙමව්පියන් ව ටෝකන් බෙදා ගෙන බලා ගත් මිනිසුන්, තමන් ගේ මරණයෙන් පසු තමන් ට ලැබෙන ගෞරවය ගැන සිතමින් කටයුතු කරනු දැක, ඒ කුණු ගෞරවය උදෑසන පසෙක හෙළූ කෙළ පිඬක් සේ අප බැහැර කොට ඇත්තේ ය.


එවැන් ගෞරවයක් හෝ වර්ණනාවක් අප ගේ මරණයට නම් නො කරනු මැනවි. එය අපට කරන නින්දාවක් සේ සලකනු ලැබේ.


මිය ගිය පසු මිනිය උයන් කෑවත් අපට ඵලක් නැත. ඔය දුෂ්ප්‍රාඥයන් ගේ ගෞරවය ලැබීමෙන් නම් වළක්වනු මැනවි.


Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 26.01.24

138 views
bottom of page