top of page

අවකාශ ධාතුව යනු කුමක් ද ?

මේ අවකාශ ධාතුව බොහෝ දෙනෙක් පටලවා ගන්නා ධර්ම කරුණකි. විවිධ අර්ථ ඇසෙන ධර්ම කරුණකි. ඒ පිළිබඳව යම් හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.


අවකාශ කථාවේ සියලුම වශයෙන් අවකාශ තුනක් දක්නට ඇත. ඒ මෙසේ ය.


01. අජටාකාශය / තුච්ඡාකාශය.

02. පරිච්ඡේද ආකාශය.

03. කසිණය ඉගිලූ ආකාශය.


ඒ බව කථාවත්ථුපකරණ අටුවාවේ "තත්ථ තිවිධො ආකාසො – පරිච්ඡෙදාකාසො, කසිණුග්ඝාටිමාකාසො, අජටාකාසො. “තුච්ඡාකාසො”තිපි තස්සෙව නාමං" යැයි දක්වා තිබෙන අතර ඒ අතුරින් පරිච්ඡේද ආකාශය සංඛත (හේතු ප්‍රත්‍යන්ගෙන් හට ගන්නා) වශයෙන් ද, සෙසු සියල්ල ප්‍රඥප්ති මාත්‍ර වශයෙන් ද "තෙසු පරිච්ඡෙදාකාසො සඞ්ඛතො, ඉතරෙ ද්වෙ පඤ්ඤත්තිමත්තා"

යනුවෙන් ද එහි ම වැඩිදුරටත් දක්වා තිබේ.


ඒවා එකින් එක විස්තර කරමි.


අජටාවකාශය..


මෙහි අජටාවකාශය යනු, ⁣හිස් ලෝක කුහරය ය. සියලු ම වස්තූන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය මෙතැන දී අජටාකාශ නමින් හැඳින් වේ. එය සෑම ද්‍ර‍ව්‍යයකට ම ස්ථානය වේ.


ලෝකයේ පවතින සියල්ල ම තිබෙන්නේ එම ආකාශ ධාතුව තුළ ය. ඒ ආකාශ ධාතුව ඉමක් කොනක් නැති තරමට විශාල වූවක් වේ.


නමුත් එය උප්පාද-වය ආදී ලක්ෂණ සහිත වූ පඨවි ධාතු මෙන් පරමාර්ථමය වශයෙන් ඇතිවක් නොවේ. එනිසා එය ඒකාන්තික පරමාර්ථ ධර්මයක් නො වන බව සඳහන් ය.


සරලව තේරුම් ගත යුත්තේ අජටාවකාශය යනු ලොව ඇති වස්තූන් වල පිහිටීමට භාජනය වූ හිස් කුහරය බව ය. තුච්ඡාවකාශය යනු ද එයට ම නමකි.


පරිච්ඡේදාවකාශය..


ලොව ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන හිස් අවකාශය මෙතැන පරිච්ඡේද ආකාශය නමින් හැඳින් වේ.


සත්ත්ව ශරීරාදිය රූප කලාප ගොඩවල් ය. ඒ සෑම රූප කලාපයක් වටේම ආකාශ ධාතුව ඇත්තේ ය. එම රූප කලාප ඔවුනොවුන් මිශ්‍ර‍ නො වී ඒ රූප කලාප වෙන් වෙන් වශයෙන් පවත්නේ තම තමන් අවට ඇති ඒ ආකාශ ධාතුව නිසා ය.


ඒ ඒකාබද්ධ රූප කලාපයන් අතර ඒවා එකිනෙකින් වෙන් කරමින් පවත්නා වූ ආකාශ ධාතුවට⁣ මෙහි දී පරිච්ඡේද ආකාශය යැයි කියනු ලැබේ. එය කිසි රූප කලාපයක් නො වේ. එහෙත් එය දැනගත හැක්කේ, පැණවෙන්නේ ඉපදෙන බිඳෙන රූප කලාපයන් අනුව බැවින් රූප කලාපයන් සේ ම සප්තරසායුෂ්ක රූපයක් සැටියට සලකනු ලැබේ. එනිසා ම අටවිසි රූපයෙන් එකක් වශයෙන් ද මේ පරිච්ඡේද ආකාශය ගණන් ගනු ලැබේ.

මේ ආකාශ ධාතුව ද වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ ය. එහෙත් රූප කලාපවල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය මෙහි දී එක් රූපයක් ලෙස ගණන් ගනු ලැබේ.


විශේෂයක් ලියමි.


සත්වයා විසින් අහස යැයි සලකනු ලබන ප්‍රදේශය රිසි සේ කරගත් පණවා ගැනීමක් මිසක් නියම ආකාශය නොවන බව දත යුතු ය. එය වායෝ ධාතුව අධික රූප කලාප සමූහයෙක් පමණි. නියම අකාශ ධාතුව නම් ඒ කිසිදු රූප කලාපයක් නොමැති හිස් අවකාශය විය යුතු ය.


කසිණුග්ඝාටිම අවකාශය..


මෙහි කසිනුග්ඝාටිම අවකාශය යනු රූපාවචර ධ්‍යාන ලාභියෙක් අරූපාවචර සමාපත්තියට පරිකර්ම කරන විට ආකාශය වශයෙන් ග්‍රහණය කරන කසිණ නිමිත්ත පැතිර තිබූ අවකාශ මාත්‍රය ය.


මේ කසිණ රූප නිමිත්ත නැති තැන ඇති අවකාශ ධාතුව හඳුන්වන නමකි. රූපාවචර ධ්‍යානයෙන් උපදවා ගත් ආලෝක ආදී කසිණ නිමිත්ත මෙනෙහි නො කොට එම අරමුණ උගුළුවා ඒ ආලෝකය පැතිරි පැවති අවකාශ මාත්‍රයම නිමිත්ත වශයෙන් ගැනීමේ දී එම ගන්නා අවකාශ නිමිත්තම මෙහි කසිණුග්ඝාටිම අවකාශය නමින් පෙන්වා ඇත. එය ඉගිලු කසිණ ඇති ආකාශ මාත්‍රය ම බව දත යුතු ය.


Author: Ven.Kirulapana Dhammawijaya Thero

803 views
bottom of page